ආයේම නොවැටෙමු!

 ඡායාරූපය:

ආයේම නොවැටෙමු!

අවුරුද්දක් ගෙවිලා නව වසරක් ලබද්දී සංක්‍රාන්ති සමයක් පසු කරනවා. ජීවිතයේදීත් විවිධ අවස්ථාවලදී සංක්‍රාන්ති සමය පසුකරන අපි ඉන් මනත කුමන වෙනසකින් යුතුව ගතකරනවාදැයි 'පෙර තීරණ' ගන්නවා. කෙනෙක් වෙනස් කරන්න කලින් තමන් වෙනස්වෙලා ආදර්ශයෙන් පෙන්නන්න කියලා කියන්නේ එහි අසීරුකම නිසයි. හෙට ඉඳන් වෙනස් වෙනවා, මෙහෙම කරනවා, අරහෙම කරනව කියලා කල් දාන්නේ නැතුව හැබෑවටම සුන්දර වෙනසක් කරා යන මඟ ගැනයි මේ.

ජීවිතය ගිරි මුදුනකට ඔසවා තැබුවත් කඩා වැටෙන්නට තියෙන ඉඩකඩ ඕනෑ තරම්. කවදාවත් තමන්ට අභියෝගයක් හෝ අවදානමක් නොමැතියැයි සිතමින් උකටලීව සිටියොත් වෙන්නේ තිබුණු දෙයත් නැති වෙන එකයි. තිබෙන දේ ආරක්ෂා කරගෙන එය වර්ධනය කරගෙන ජයග්‍රාහීව වැජඹෙන්න නම්, කරන්න ඕන කාර්යයන් කිහිපයක් තියෙනවා.

'යමක් ලබාගන්න පහසුයි. එය රැක ගැනීම ඉතාම අපහසුයි' කියන්නේ මෙන්න මේ නිසයි. දුක් මහන්සියෙන් හා ඉමහත් කැපවීමෙන් වැඩ කරලා උපයාගන්න කීර්තිය, ජයග්‍රහණ සියල්ල එක මොහොතකින් අවදානමේ වැටෙන්නේ අවධානය ගිලිහී ගිය මොහොතටයි.

දෙයක් ලැබුණු පසුව එය රැකගන්නත්, මොහොතකින් වැටුණද නැවත නැඟී සිටින්නට අවශ්‍ය මානසික ශක්තිය වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳව කියාදෙන පාඩම් හරි අපූරු ගුරුවරයෙක්. අයෙක් සාර්ථකත්වය ළඟාකරගත් ආකාරය පිළිබඳව කතාකරන සමාජයට වඩා ඔහු වැටුණු පසු එදෙස උපහාසයෙන් සිනාසෙන පිරිස වැඩියි. එහෙම නැතුව එවන් පුද්ගලයන් ඇදවැටුණු සැබෑ හේතු සොයාගන්න එම කාලය ඵලදායීව යොදාගතහොත් එය නම් ජීවිතයට ලොකු තල්ලුවක්.

හැමදාම එකම සාර්ථකත්වයක් දක්වන්න ඉඩ ලැබෙන්නේ කලාතුරකින්. ඉතින් ඇදවැටෙන වාර ගණන අවම කරගන්නත් එකම විදියට නැවත නැවත අසාර්ථක නොවන්නත් උගත් පාඩම් හරිහැටි උපයෝගී කරගන්න අවශ්‍යයි. "රෑ වැටුණු වළේ දවල් වැටෙන්නේ නැතුව" ඉන්නව කියන්නේ නිකං නෙවෙයි. ඔබ හරියට පාඩම ඉගෙන ගත්තේ නැතොත් වෙන්නේ මේ දෙයයි.

එක අඳුරු මොහොතක සියල්ල සුනුවිසුනු වෙලා අහිමි වී ගිය මිනිසෙක් නැවත අභිමානවත්ව නැඟීසිටින්නට ගත් උත්සාහයක කතාවයි මේ.

කාල් කවදාවත් හිතුවේ නැහැ තමන්ට මෙවැනි ඉරණමක් අත්වෙයි කියලා. වසර කිහිපයකට කලින් ඔහු ප්‍රකට ව්‍යාපාරිකයෙක්. ඔහුගේ වත්කම් දිනෙන් දින ඉහළ යමින් තිබුණා. එතරම් ඉහළට අධ්‍යාපනයක් නොලැබූ තමන් ඉන්න තත්ත්වය ගැන ඔහු මිතුරන් සමඟ උදම් ඇනුවා. සමකාලීන මිතුරන් ඒ කිව්වේ හොඳට අධ්‍යාපනයේ නිමග්න වෙලා දොස්තරලා ඉංජිනේරුවෝ වුණු අය පවා පුදුම කරන්න ඔහුට හැකියාව ලැබුණේ සියුම් ව්‍යාපාරික ඥානයකින් හෙබි නිසා බව පිරිස අතරේ කියවුණා.

ටික කාලයක් ගෙවෙනකොට ඔහුට හරිම සුව පහසු තත්ත්වයක් දැනෙන්නට වුණා. ඇස් පියාගෙන හිටියත් ඔහුට ආදායම් ගලා එනවා කියලා තේරුම් ගිය නිසා ඔහුගේ අවධානය වෙන වෙනත් පැති කරා යොමු වුණු අතර ව්‍යාපාරය සේවකයන්ගේ පාලනය යටතේ ක්‍රියාත්මක වුණා.

මිතුරන් සමඟ ප්‍රීතිවෙන්නත් සැපවත් පහසුකම් ලබාගන්න කාලය ගතකරන අතරතුර ඔහුට ව්‍යාපාර පිළිබඳව හිතන්නට කාලයක් තිබුණේ නැහැ. කළමනාකරුවන්ගේ ඉදිරිපත් කිරීම් සියල්ල යහපත් නිසා ඒ මත විස්වාසය තබමින් ඔහු කටයුතු කළා.

එකවරම ඔහුගේ ව්‍යාපාරික ලෝකය බිමටම සමතලා කරමින් විශාල වංචාවන් රාශියක් හෙළිවෙන්නට පටන්ගත්තා. බැංකු සහ සැපයුම්කරුවන්ට ගෙවන්නට තිබෙන ණය ගෙවාගන්නට නොහැකිව ඔහු බංකොලොත්භාවයට පත්වුණා. සිර දඬුවම් නියම වූ ඔහුට එහි කොටසක් ගෙවන්නට උසස් තාක්ෂණ විදුහලක පිරිසුදු කරන්නකු ලෙස කටයුතු කරන්නට සිදු වුණා.

දිනක් එහි විදුහල්පතිතුමාගේ කාමරය පිරිසුදු කරන අතර ඔහු හා කතාබහ කරන්නට තරම් එතුමා කාරුණික වුණා.

"පුතා ඔයා පරාද වුණා කියලා හිතන්න එපා" සාවධානව කාල්ගේ කතාව අසා සිටි විදුහල්පතිතුමා අවවාද කළා.

"ඔයා හැදෙනවනම් මං කැමතියි ඔයාට අවස්ථාවක් දීලා බලන්න" විදුහල්පතිවරයා කාල්ගේ සිතේ බලාපොරොත්තු දල්වමින් විමසුවා.

"සත්තකින්ම ලොකු මහත්මයා" කාල්ගේ දෙනෙත් දීප්තිමත් වුණා.

එතැන් පටන් පරාජිතයාගේ ජීවිතය ඉමහත් විපර්යාසයකට ලක්වුණා. පියෙක් වන් පුද්ගලයාගේ අවධානය යටතේ කාල් ඉගෙනීමට යොමුවුණ අතර වසර හතරකට පසු ඔහු ඉංජිනේරුවකු ලෙස උපාධියක් සහිතව සිය සිර දඬුවම නිමාවට පත් කළා. නැවත නැඟිටින්නට ලැබුණු අවස්ථාව ඔහු උපරිමයෙන් භාවිත කරනු ලැබූ අතර සියලු ණය ක්‍රමිකව ගෙවමින් ස්ථිරසාර ගමනකට ඔහු යොමු වුණා.

වරදින සහ පරදින තරමට මනසින් නොවැටී නැවත නැඟීසිටින්නට හැකියි. ඔබ පරාජිත යැයි සිතුවහොත් සෘණාත්මක සිතිවිලි ඔබේ මනස අඩපණ කරමින් ශරීරය දුර්වල කරමින් ගලායනු ඇති.

නව ආරම්භයක් ගන්නට ඔබ වැටෙනතුරු ඉන්නට අවශ්‍ය නැහැ. නව හුස්මක් අරන් ඉස්සරහට යන්න නැකැත් ලබනකම්ම බලන් ඉන්න ඕන නැහැ. නැකැත මොක වුණත් කැමැති නම්- කැපවෙනව නම් දිනුම් කණුව අත ළඟයි.

[මේනක මදුජිත්]

 

මාතෘකා