සමාජීය අසමානතාවෙහි ඓතිහාසික මූලයන්

 ඡායාරූපය:

සමාජීය අසමානතාවෙහි ඓතිහාසික මූලයන්

සමාජ අසමානාත්මතාව විවිධ පරිමාණවලින් යුත් ප්‍රපංචයකි. එනම් එය දේශපාලනික, ආර්ථික සහ දෘෂ්ටිවාදාත්මක යන පරිමාණවලින් යුක්ත වන අතර ඒවා අත්‍යන්තයෙන්ම එකිනෙකට සමාන නොවේ. අසමානාතාමතාවෙහි ඓතිහාසික මූලයන් පිළිබඳ සහ එය ඓතිහාසිකව ආයතනගත වූවේ කෙසේද යන්න පිළිබඳ වොෂින්ටන් රාජ්‍ය විශ්වවිද්‍යාලය සහ තවත් ආයතන 13ක් එකතු වී මෑතකදී සිදු කරන ලද පර්යේෂණයකින් මිනිසුන්ගේ සමාජ-ආර්ථික අසමාන බවෙහි මූලයන් ප්‍රාග් ඉතිහාසය තුළ ප්‍රභවය වූ බව තහවුරු කරන ලදි. එහිදී හෙළිදරව් වී තිබුණේ, සම්පත් බෙදීයෑමේ විසමතාව කෘෂිකර්මාන්ත කටයුතුවලට සමාන්තරව ඓතිහාසිකව වර්ධනය වූ බවත්, විශේෂයෙන්ම ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයින් අතර ශාක සහ විශාල සතුන් ගෘහාශ්‍රිත කිරීම වැනි කටයුතුවලදී පටන්ම සමාජ-ආර්ථික අසමානතා වර්ධනය වීම ආරම්භ වූ බවත්ය.

මෙම අධ්‍යයනය සඳහා පුරාවිද්‍යාත්මක ස්ථල (site) 63ක දත්ත එකතු කරන ලදි. එකී සෑම ස්ථලයකම ඇති ඉපැරණි නිවාසවල ප්‍රමාණ පර්යේෂකයන් විසින් සංසන්දනය කරණු ලැබු අතර ඔවුන් ඒ සඳහා ‘ගිනී සංගුණකය’ (Gini coefficient) ආදේශ කර ගනු ලැබීය. ‘ගිනී සංගුණකය’ මීට ශතවර්ෂයකට පමණ පෙර ඉතාලියේ ජීවත් වූ සංඛ්‍යානඥයෙකු හා සමාජවිද්‍යාඥයෙකු වූ කොරාඩෝ ගිනී විසින් සංවර්ධනය කරන ලද්දක් වන අතර න්‍යයායිකව එය ගණනය කරන්නේ මෙසේය: සම්පත් බෙදීයෑමේ පූර්ණ සමාන තත්ත්වයක් ඇති රටකට ලබාදෙන ගිනී සංගුණකය 0 අගයක් වන අතර රටක සම්පූර්ණ සම්පත් එකතුව එක් කුටුම්බයක් සතු වුවහොත් ඒ සඳහා ලබාදෙන අගය 1කි. මෙහිදී පර්යේෂකයන් විසින් සොයාගත්තේ දඩකරු-අන්නගවේශී (hunter-gatherer) සමාජ තුළ සම්පත් බෙදීයෑමේ විසමතාව අඩු අගයක් ගන්නා බවත්, එය ගිනී 0.17ක මධ්‍යන්‍ය අගයකින් යුක්ත වන බවත්ය. ප්‍රාග් ඓතිහාසික මානවයාට නිරන්තරයෙන් ආහාර සොයා සංචාරය කරන්නට සිදු වූ නිසා වස්තුව රැස් කර තබා ගැනීමට හැකියාවක් නොතිබුණු අතර එනිසාම පසු පරම්පරාවට පවරාදීමට කිසිවක් තිබුණේද නැත. පසුකාලීනව කුඩා ප්‍රමාණයේ ගොවීන්ට හිමි වූයේ ගිනී 0.27කි. මහාපරිමාණ කෘෂිකාර්මික සමාජයේ මධ්‍යන්‍ය ගිනී අගය 0.35 කින් යුක්ත විය.

මේ අනුව පැහැදිලි වන්නේ අප සමාන්‍යයෙන් සිතා සිටින ආකාරයට දැනටමත් දඩකරු අන්නගවේශී කණ්ඩායම් ලෙස ජීවත්වන (අප්‍රිකාවේ කුන් බුෂ්මන්වරු සහ ඕස්ට්‍රේලියාවේ ඇබොරිජින්ස්වරු වැනි) සමාජවලත් පූර්ණ සමාජ සමානාත්මතාවක් දක්නට නොමැති බවයි. ඔවුන් තුළද සාපෙක්ෂ වශයෙන් සම්පත් බෙදී යෑමේ විසමතාවක් සහ ධුරාවලිගත සමාජ ව්‍යුහයක් ක්‍රියාත්මක වන බවයි. සැබවින්ම ඉහතින් දක්වන ලද අධ්‍යයනයට ප්‍රාත්‍ර වූ නූතන දඩකරු-අන්නගවේශී ප්‍රජා තුළ දක්නට ලැබෙන සමාජ අසමානතාවයෙහි ප්‍රභවය හඳුනාගත හැක්කේ, ඔවුන්ගේ පූර්ව සමාජ චර්යා මඟිනි. එහෙයින් මෙම අධ්‍යයනය අත්‍යන්තයෙන්ම පුරාවිද්‍යාත්මක විෂයපථයට හසුවෙයි. ඒ අනුව බලන විට අපගේ මානව අතීතයේ දීර්ඝකාලීන ඉතිහාසය පුරාම සමාජීය අසමානබවෙහි ප්‍රභවය හැරෙන්නට වෙනත් මූලික සංක්‍රාන්තියක් සොයාගැනීමට නොහැකි තරම්ය. ලෝකයේ විවිධ කලාපවල මෙම ප්‍රධාන විතැන්වීම් සිදුවුණේ ලිඛිත ඉතිහාසයට සහ ‘ශිෂ්ටාචාරයට’ පෙරදීය. එහෙයින් මෙම විෂය ක්ෂේත්‍රය පිළිබඳ සිදු කරන සොයා බැලීමක් අත්‍යන්තයෙන්ම ප්‍රාග්ඓතිහාසික පුරාවිද්‍යාවේ විෂය පථයද ආශ්‍රය කර ගනී. එහෙත් කෘෂිකර්මාන්තයේ සම්භවය සහ රාජ්‍යයේ නැඟීම යන කාරණා කෙරෙහි දැක්වූ උනන්දුවට සාපේක්ෂව එහි ප්‍රාග්ඓතිහාසික ප්‍රභවයන් සෙවීම සඳහා මුල්කාලීනව යොමු කෙරුණේ ඉතා අඩු අවධානයකි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද මෙය පොදු තත්ත්වයකි.

ලොව පුරා විසිරී ඇති මානවවිද්‍යාඥයින් සහ පුරාවිද්‍යාඥයින් වසර ගණනක් තිස්සේම උත්සාහ කළේ සමානාත්මතාවාදී සහ අසමානාත්මතාවාදී සමාජ වෙන් කර හඳුනා ගැනීමටයි. මේ සඳහා මුල්කාලීන පර්යේෂකයන් විසින් ගොඩනංවාගෙන තිබුණේ වඩා සාමාන්‍යකරණය කරන ලද රළු ආකෘතිය. එකී රළු ආකෘතිවලට අනුව දඩකරු -අන්නගවේශී කණ්ඩායම් සහ කුඩා පරිමාණයේ කෘෂිකාර්මික සමාජ පිළිබඳ මේ දක්වා නිර්මාණය කර තිබුණේ, වඩා සමානාත්මතාවාදී ලක්ෂණ සහිත සමාජයක් පිළිබඳ චිත්‍ර‍යකි. එමඟින් එම සෑම අතීත මානව කණ්ඩායමකම සමාජ කාර්යභාරය වඩා සමාන වූ බවත්, ඔවුන්ට සමාන අයිතිවාසිකම් සහ වරප්‍රසාද බුක්ති විඳින්නට හැකියාව පැවති බවත් හැඟවිණි. මෙම සමානාත්මතාවාදී කණ්ඩායම් පිළිබඳ විස්තරවලින් පැහැදිලි වුණේ, එම සමාජවල සිටි මානවයින්ට සතු කරගැනීමට බොහෝ දේ සහ අවස්ථා පැවති බවකි. මීට ප්‍රතිපක්ෂව ගොඩ නැඟුණු, නව දැනුම ඔස්සේ අසමානාත්මතාවාදී සමාජ විස්තර කර දැක්වූ අතර, එහිදී ඈත අතීතයේ පවා විශාල වශයෙන් ධූරාවලිගත සමාජයක් පැවති බවත්, එවැනි සමාජවල ජීවත් වූ සමාජිකයෙකුට සමාජය තුළ ඔහුට හිමි ස්ථානය, තරාතිරම සහ ස්ථරායනය වැනි යාන්ත්‍රණ තුළ නිර්වචනය වූ බවත් අනාවරණය විය.

සමාජ අසමානතාව ප්‍රභවය වූයේ කවදාද, සමාජ ස්ථරායනය ප්‍රභවය වූයේ කෙසේද යන්න පිළිබඳ එතෙක් පුරාවිද්‍යාඥයින් සතුව පැවති පර්යේෂණ ගැටලුවලට වඩා පසු යුගය තුළදී දියුණු කරන ලද පර්යාවලෝකන මඟින් සමාජය තුළ එය විධිමත් වූයේ හෝ ආයතන ගතවුයේ කෙසේද යන්න සොයා බැලීමට හැකියාව ලැබිණි. ඒ අනුව යමින් මෑතකාලීනව විවිධ ක්ෂේත්‍රවල සිදුකරන ලද පර්යේෂණ මඟින්, සමාජ-අසමානාත්මතාව මානව සමාජ තුළ දක්නට ලැබුණු සාර්වත්‍රික තත්ත්වයක් බව තහවුරු කරනු ලැබිණි.

[දිනේෂ් දේවගේ]

මාතෘකා