කටු කොහොල් මැද පිපුණු කුසුම

 ඡායාරූපය:

කටු කොහොල් මැද පිපුණු කුසුම

අවුරුදු ළං වන සෑම විටකම මගේ මතකයට එන්නේ එක් පාසල් දැරියකි. මොරවක පෙදෙසේ ඈත ගම්මානයක දුෂ්කර පාසලක 7වැනි වසරේ ඉගෙනුම ලැබූ ඇය දිළිඳුකමින් හා අන් අයගේ සමච්චලයෙන් මිරිකෙමින් සිටි බව මට මතකය.

2019 ළමයින්ගෙන් පිරී ගිය පන්ති කාමරය නිසල විලක් වැනිය. ළමයින් ගැන හරියාකාර අවබෝධයකින් තොරව එයට පිවිසීම විවිධ ආපදාවන්ට මුහුණ දීමට සිදුවන්නකි.

සම වයස් කණ්ඩායම් ලෙස පෙනී ගියද ස්වරූපයෙන් සමාන වුවද එහි වාඩිවී සිටින්නේ විවිධ සමාජ ස්ථරවලට අයත් ළමයින්ය. නාගරික ගම්බද හා කොලනිවලට ඔවුන් අයත්ය. ඒ අයද තවත් කුඩා කණ්ඩායම්වලට බස්රියෙන් එන අය, දුම්රියෙන් එන අය, ‍දිළිඳු හා ධනවත් අය යනුවෙනි.

මේ බව නොදැන පන්ති කාමරයට ඇතුළු වන ගුරුවරයා වැටෙන්නේ ලොකු අමාරුවකටය. මෙම කණ්ඩායම් නිසා ඔවුන්ගේ අතවරවලට ගොදුරුවන ළමයිද නැත්තේ නැත. ඉහත සඳහන් කළ කුසුමලතා එවැන්නියකි. ඇය පිළිබඳ පුවත මාවෙත ගෙන ආවේ ඇගේ පාසලේ ගුරුවරියකි.

අපගේ අධ්‍යාපන ඩිප්ලෝමා පන්තියට පැමිණ සිටි ඕ මගේ දේශනය නිමවූ වහාම මා වෙත ආවාය.

“සර්, සර්ට කියන්න කාරණාවක් තියෙනවා. සර් අපේ පාසලේ හුඟාක් අසරණ වුණු ළමයෙක් ඉන්නවා. හරිම දුප්පත්. එයාගේ තාත්තා නෑ. අම්මා විතරයි ඉන්නෙ. අම්මා තරමක් මානසික රෝගී බවකින් පෙළෙන කෙනෙක්. පවුල පහත් කුලයේ නිසා ඇයට කරදර වැඩියි. ඉතින් ඇයට පාසලේ අනෙක් ළමයි නිතරම ගඳයි ගඳයි කියලා ළඟට ගන්නේ නෑ කොන් කරනවා.”

පාසලේදී පන්ති භේදය හා කුල භේදය ගැන අප කොතෙකුත් දේ ළමයින්ට උගන්වා තිබේ. නවකතා කෙටිකතා හා උසස් ගණයේ කවිවලින් කියවෙන්නේද සෑම මනුෂ්‍යයෙකුටම සමානව සැලකිය යුතු බවය. බුදු දහමේ කියවෙන්නේද ඒ දෙයමය. මම ඇගේ දුක් කතාව ගැන කුඩා සටහනක් සති අන්ත පුවත්පකට යැවීමි. පුවත පුවත්පතේ පළ වූ පසු ලැබුණු ප්‍රතිඵල මා විස්මයට පත් කරවීය. දස දෙසින් ආධාර තෑගි බෝග ඇඳුම් පැළඳුම් පත්තර කන්තෝරුවට එවා තිබිණ. සටහන ‘ඉරිදා දිවයින’ වට රවුමේ පළ කළ කර්තෘ කරුණාදාස සූරියආරච්චි මහතා කියා එව්වේ ඇයට ශිෂ්‍යත්ව ප්‍රදානයක්ද ප්‍රංශයෙන් ලැබී ඇති බවය. එය එවා තිබුණේ පූජ්‍ය මණ්ඩාවෙල පඤ්ඤාවංශ හිමියන්ය.

අප ඒ සියලු තෑගි බෝග රැගෙන ඇය සොයා මොරවක අලපලාදෙනිය බලා ගියේ අවුරුදු දිනට දින දෙකකට පමණ කලිනි. ඇය තම මව සමඟ පාසලට පැමිණ සිටියේ ඇගේ ගමට යාම ඉතා දුෂකර බැව් අපට දන්වමිනි.

වයසට වඩා වැඩුණු පෙනුමකින් යුතු කුසුමා රතු මල් වැටුණු චීත්ත ගවුමක් ඇඳ කොණ්ඩය කොටට කපා ගෙල දක්වා දමා අප දෙස බලා සිටියේ තමා සිහිනයක් දකින්නේ දැයි සැක සිතින් බවක් පෙනිණ. සාරියකින් සැරසී සිටි ඇගේ මව සිහි‍න් සිරුරක් ඇති මැදි වියෙහි කාන්තාවක් විය. සියලු තෑගි කුසුමාට බාරදුන් අතර මුදල් ශිෂ්‍යත්වය සඳහා වූ ලිපිය විදුහල්පතිතුමා දෙන ලෙස බාර දුන්නේ එහි පැමිණ සිටි ඇගේ ගුරුතුමියටය. සතුටෙන් ඉහවහා ගිය කුසුමාගේ මුහුණ පිපුණු කුසුමකි.

“අනේ මහත්තයා මේක ලොකු පිංකමක් කියලා හිතා ගන්න. දැන් අලුත් අවුරුද්දට කෙල්ලට හොඳ ඇඳුමක් අඳින්න පුළුවනි. බඩ පිරෙන්න කටට රහට කෑම ටිකක් කන්න පුළුවනි.” ඇගේ මව කීවේ දෙඇසේ කඳුළු පුරවාගෙනය.

මට සිතුණේ මල්වැනි දරුවන්ගේ සිත් මේ අන්දම්න් කිළිටි කිරීම ඉතා අසෝබන දෙයක් බවය. ජාති කුලමල ආගම් භේදවලට පන්ති කාමරයේ ඉඩක් නැත. මෙවැනි අසාදු ධර්මතාවනට එහි ලැගුම් ගැනීමට ඉඩ හසර ලබා දුන්නේ කවුරුන්ද?

අධ්‍යාපනය යනු විෂයානුබද්ධ කාරණාවලින් ළමා හිස් පුරවනවාට වඩා වැඩි යමක් කළ යුතු දෙයක් හා වඩාත් මුවහත් මනසකින් ළමා ජීවිත වටහා ගතයුතු දෙයකි. විෂම සමාජ ස්ථර හමුවේ අසරණ වෙන දරුවන් ගැන අවධානය යොමු කිරීම යහපත් ගුරු චර්යාවක මහඟු ලක්ෂණයකි.

දැන් ඉතින් ඇය අලුත් ඇඳුම් ඇඟලාගනු ඇත. හිස පීරා ප්‍රීතිමත්ව සිටිනු ඇත. මාසිකව ඇගේ අතට මුදලක් ලැබෙනු ඇත. අලුත් පොත්පත් මිලට ගනු ඇත. ඇයට අවමාන කිරීමට කිසිවෙකුට ඉඩ නොලැබෙනු ඇත.

මේ සංවේදී සිදුවීම මට කිසිදාක අමතක වන එකක් නොවේ. සෑම අවුරුදු දිනකම කුඩා කුසුමා ළදැරියගේ සිතුවම මගේ සිතේ ඇඳී මැකී යන්නේ නිතැතිනි.

 

මාතෘකා