තේ කඳුළු

 ඡායාරූපය:

තේ කඳුළු

නාගම්මා හෙමි හෙමින් සාරිය අඳිමින් ලෑස්ති වූයේ ගමේ යන්නටයි. එහෙත් ඇයට යන්නට කිසි ප්‍රියතාවක් තිබුණේ නැත. කොඳු ඇටයේ ප්‍රශ්නයට අඳින ගර්ඩල් එකත් ඊට උඩින් සාරියත් පටලවාගෙන ඇය වතුකරයේ ඇගේ නිවස වෙත යන්නේ ක්ලිනික් කාඩ් සහ එක්ස් රේ කාඩ් රැගෙන නැවත පැමිණීමටයි.

"මම නෝනා ළඟ මැරෙනකම් වැටිලා ඉන්නම්. දුව ළඟට නම් යන්න බෑ"

ඇය මගේ මව හා පවසයි.

නාගම්මා මෙහි පැමිණියේ නිවසේ මෙහෙකාරියක ලෙස සේවය කිරීමටය. එහෙත් ඇය කොන්දේ අපහසුතාවකින් පෙළේ. ගමේ යා යුතු බව කියයි. පරණ සායනික සටහන් රැගෙන පැමිණෙන බව කියයි. එහෙත් ඔවුන්ගේ කතා ඔහොමය. නැවත පැමිණෙන්නේ නැති බව අපි සක්සුදක් සේ දනිමු. ඇගේ කොන්දේ ආබාධයට හේතුව ඇය නොකියා කියයි. කිලෝ ගණනක තේ කූඩ පිට බැඳගෙන කඳු පුරා ආගිය හැටිද දරුවන් සාරිවල දවටා බාල්කයෙන් එල්ලා සුරැකුමේ තබා යන හැටිද ඇය අප හා කියයි. කූඩැල්ලන් කා තුවාල වූ දෙපා විටින් විට ඇය අපට පෙන්වයි. වතුකරයේ බහුතරයක් පිරිස තේ කම්හල්වල කම්කරුවන් ලෙස සේවය කරති.

අප හමුවේ නිරන්තරයෙන් මෙවැනි කතා දිග හැරේ. වයස්ගත බොහෝ ගැහැනු වෙනත් නගරවල මෙහෙකාරකමට පැමිණෙති. බොහෝ වයස්ගත අම්මලා තාත්තලා තවමත් හරි හම්බ කරන්නේ තම දරු මුණුපුරන්ටය. ඔවුන් කොළඹ රටේ රස්සාවලට පිටමං කරන්නේ අත පය හතර හොඳින් තිබෙන ඔවුන්ගේම දරුවන්ය. එක්කෝ තිබෙන්නේ වත්තේ දලු කැඩීමය. නැත්නම් මෙවැනි මෙහෙකාරකම් සොයා පැමිණීමය. මෙහෙකරුවන් ගෙන එන පිරිසක්ද මේ ගම්වල සිටිති. තැරැව්කරුවන් මෙන් ඔවුන්ද රුපියල් පන්දහසක් හෝ දස දහසක් එක් මෙහෙකරුවෙක් සැපයීම් වෙනුවෙන් ලබා ගනී. ඇතැම් අය ගෙන එන්නේ ලෙඩ ගානේ ඉන්නා ගෙවල්වලට බරක් වූ වයස්ගත වූවන්ය. ඔවුන් පැමිණි විට ඔවුන්ගේ සියලු ලෙඩ දුක් කරදරවලට බේත්හේත් කරන්නටද සිදුවේ.

මගේ මවට නම් මා සිටින නිසා මෙහෙම පැමිණෙන අයට බෙහෙත්හේත් කිරීම් ආදිය පහසු වේ. මම ඉතින් ඔවුන්ට අපේ රෝහලෙන් ක්ලිනික් කාඩ් සාදවා සියලු රෝගාබාධවලට බේත්හේත් සහ රසායනික පරීක්ෂණ පහසුකම් සියල්ලද සිදුකර දෙමි.

මෙසේ පැමිණෙන තවත් පිරිසක් වන්නේ තනිව දරු බර දරන සැමියා අත් හැර දැමූ ගැහැනුන්ය. එවැනි කීප දෙනෙක්ද නොයෙක් වර මෙහෙකාරකම් කරන්නට අප වෙත පැමිණියහ.

තම එකම දරුවා නැන්දම්මා ළඟ නවත්වා පැමිණි ලතා විඩෙන් විඩේ ගම දිව්වේ දරුවාට සිදුවූ අලකලංචි නිසාය. අවසානයේ වත්තේ රැකියාවක් හොයාගෙන ඇය එහිම සිටියේ දරුවා රැක බලා ගැනීමටය. මෑතකදී දුරකථනයෙන් අප ඇමතූ ලතාගේ සොයුරියක කීවේ ඇයට ක්ෂය රෝගය වැලඳී තිබුණු බවත් කකුල්වල තුවාල නිසා බොහෝ අපහසුතා ඇති වූ බවත්ය. එවැනි තුවාලයක් පැසවා ඔඩු දුවා නිසි ප්‍රතිකාර නොවූයෙන් අසාත්මිකතාවට පත් වී ඇය මරු මුවට පත්වූ බවත් දරුවා ළමා නිවාසයකට බාර දුන් බවත් පසුව ආරංචි විය. ඔවුන්ගේ සමාජ සුබ සාධනය වෙනුවෙන් මහා ලොකු කාර්යභාරයක් ඉටු කළ යුතු බව ඇසෙන කතාවලින් මට වැටහේ. බොහෝ අය මත්පැන්වලට ඇබ්බැහි වී තිබේ. දරුවන් එක දිගට පාසල් යන්නේ නැති බව කියයි.

දලු කැඩීම පසෙකලා මෙහෙකාරකමට පැමිණි සීලා දරු තිදෙනකුගේ මවකි. ඇය දරුවන් තම මවට බාරදී පැමිණ තිබුණේ ඇගේ සැමියා යැයි අපට හඳුන්වා දෙන ලද මිනිසෙක් සමඟය. පසුව ආරංචි වූයේ සැමියා ඇය අතහැර ලැයිමේම සිටින බාල වයස්කාර කෙල්ලක හා පවුල් කන බවය.

තව කෙනෙක් පැමිණියේය. "මිනිසුන් හා නිදියලා හරි මට සල්ලි හොයන් වරෙන්." යැයි පැවසූ බීමත් සැමියාගෙන් බේරීම සඳහාය. ඇය උපයන සියල්ල හූරා කෑවේ ඒ මිනිසාය. දරුවන් තිදෙනා නැන්දම්මා ළඟ දමා පැමිණි මේ අයගේ කඳුළු ගංගා අප හමුවේ ගලා යයි. අපි සංවේදී වී ඔවුන්ගේ දුකට පිහිටවන්නට හැකි සියලු උදවු උපකාර කරන්නෙමු.

“වත්තේ වැඩ නෑ නෝනා.. අතේ සල්ලිත් නෑ. ඒත් කොහොම එන්නද? දුව ලොකු ළමයෙක් වුණා. දාලා එන්න බයයි.” වත්තේ දලු කඩා කෙසේ හෝ දරුවන් රැක ගන්නා බව ඇය අප හා පවසයි. ඔවුන්ගේ ජීවිත කතා මසිත කම්පා කරයි.

මොවුන්ද මිනිසුන්ය. පණ ගැහෙන ලේ මස් ඇට සහිත මිනිසුන්ය. ඔවුන්ටද සුරක්ෂිත නිවෙස්, හොඳ ආහාර, පිරිසුදු ජලය, රැකියා සහ නිසි අධ්‍යාපනය ලැබිය යුතු නොවේද?

දිනක දීමනාව රුපියල් 1,000ක් කර දෙන ලෙස සිදු කෙරෙන්නාවූ අරගලය තවමත් එසේමය. ඔවුන්ගේ කඳුළු නොදකින පාලකයන් ඔවුන් ගත කරන දුක්ඛදායී ජීවිත දෙස එබිකම් කරන්නේ නැත. අපා දුක් විඳිමින් සීතලේ ගැහෙමින් කොඳු රිදෙන තරම් විශාල කූඩා පිට බැඳගෙන තේ දල්ලෙන් උපයාගන්නා සොච්චම ඔවුනට නොසෑහෙන බව කෙසේ නම් වැටහේදැයි මම සිතන්නෙමි. තේ කෝප්පයේ අඳුරු රත් පැහැය මට මතක් කරන්නේ ඔවුන්ගේ මේ නිමක් නැති කඳුළුය.

වෛද්‍ය [බෝධිනී සමරතුංග]

මාතෘකා