ඉගෙනීම යනු...

 ඡායාරූපය:

ඉගෙනීම යනු...

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යපනයේ මෑත කාලීන ඉතිහාසය තුළ නොයෙක් ව්‍යුහමය වෙනස්කම් ගණනාවක් සිදුවුණි. එනම් මධ්‍ය විදුහල් සංකල්පයේ සිට ජාතික පාසල් සහ අනූව දශකය තුළ හඳුන්වා දුන් නවෝද්‍යා පාසල්, ආදර්ශ පාසල් සහ නූතනය වන විට හඳුන්වාදී ඇති ‘ළඟම පාසල හොඳම පාසල‘ හෝ සුහුරු පාසල් යන සංකල්ප යටතේ පාසල් අධ්‍යාපනය ව්‍යුහමය වශයෙන් වෙනස් කිරීමට ලක් කිරීමයි.

එහෙත් වඩාත් වැදගත් වන්නේ ප්‍රාමාණික වර්ධනයක් නොව ගුණාත්මක වර්ධනයක් සඳහා පිඹුරුපත් සැකසීමයි. මේ සඳහා මෑතකම කළ යෝජනාව වූයේ පහවසර ශිෂ්‍යත්වය අහෝසි කළ යුතු බවයි. ශිෂ්‍යත්වය යනු ප්‍රාථමික වසරවල සිටින ළමුන්ගේ බුද්ධි මට්ටම මැනීම සඳහා යෝග්‍ය නොවන වැඩසටහනක් බව අමුතුවෙන් කිවයුතු දෙයක් නොවන්නේ ශිෂ්‍යත්වය සමත් අසමත් අතිබහුතරයක් වූ අප සියලුදෙනාම එයට මුහුණදී සිටින නිසාය. ශිෂ්‍යත්වය යනු මධ්‍යම පංතිකයන්ට අවවරප්‍රසාදිත ළමුන් පෙන්වා තම ළමුන් වඩාත් සංවර්ධිත පාසල් සඳහා ඇතුළත් කරගැනීමේ ක්‍රමයක් බවට පත්ව තිබීම නොරහසක් වන අතර, ජනාධිපතිවරයා විසින්ද මෑතකදී අදහස් දක්වා තිබුණේ ශිෂ්‍යත්ව විභාගය ඇරඹීම සඳහා හේතු වූ ඓතිහාසික අරමුණුවලින් අද වන විට එය විශාල වශයෙන් වියුක්ව ඇති බවයි.

ළමාකල ලබන සෑම අත්දැකීමක්ම සහ අන්තර්ක්‍රියාවක්ම පුර්ව ළමාවිය සංවර්ධනය සඳහා බලපාන අතර ළමුන්ට විඳීමට සිදු වන අත්දැකීම් සහ අන්තර් ක්‍රියා ඔවුන්ගේ මොළයේ ප්‍රජානනාත්මක ව්‍යුහයේ සැකස්ම ගොඩනැඟීම සඳහා දායක වන බව ස්විස් ජාතික අධ්‍යපනඥ ජීන් පියාජේගේගේ මතයයි. පියාජේගේ ප්‍රජානනාත්මක වර්ධනය පිළිබඳ න්‍යායන් බෙහෙවින්ම පදනම් වූයේ ගුරු අධ්‍යාපනයේ ව්‍යුහමය වෙනස්කම් මත වන අතර එමඟින් වර්ධිත අවධි සතරක් පිළිබඳ සඳහන් කර ඇත. එම වර්ගකිරීම්වලට අනුව අප රටේ ළමුන් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන වයස් මටම්ම අයත් වන්නේ පියාජේගේ වර්ගකිරීම අනුව වඩාත් සංයුක්ත ක්‍රියාකාරී අවධියටය. (concrete operational stage ) එනම් එම අවධිය තුළදී ළමුන් අතට හසු වන ගැටුලු තාර්කිකව විසඳීමට යොමු වන කාල පරිච්ඡේදයයි. ශිෂ්‍යත්ව විභාගය මඟින් මේ සඳහා ගුණාත්මක දායකත්වය කිසිසේත් ලබා නොදෙන බව අපි දනිමු.

එනම් ළමුන් කෙතරම් දක්ෂ වුවද ළමුන්ගේ ප්‍රජනානාත්මක වර්ධනයේ සංක්‍රාන්ති කාල වකවානු වන මාස 18, අවුරුදු 7 සහ අවරුදු 11ත් 12ත් අතර කාලය ඉතාම සංවේදී කාල වකවානු වන අතරම අධ්‍යපානයේ ගුණාත්මක භාවය ඇති කිරීමට නම් පුර්ව ළමාවිය සංවර්ධනය කෙරෙහි රටක් වශයෙන් මීට වඩා උනන්දු විය යුතු අතරම ශිෂ්‍යත්ව වැනි විකෘති සහගත විභාග ක්‍රමයක් වෙනුවට වඩා විධිමත් අධ්‍යාපන ක්‍රමයක් ඒ සඳහා සැකසිය යුතුය.

නැවත ජීන් පියාජේ මෙලෙස ප්‍රශ්න කරයි. "ඕනෑම සංස්කෘතියක සිටින ළමුන් තම පාසල් අධ්‍යාපනය ආරම්භකිරීමට මත්තෙන් කොපමණ ප්‍රශ්න අසනවාද? එහෙත් පාසල් අධ්‍යාපනය ආරම්භ වීමත් සමඟ ඔවුන් ගේ එම ප්‍රශ්න ඇසීම වහා නැවතේ." එයට හේතුව පාසල් තුළදී ඔවුන් අසන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු හමු වීම නිසාද? කෙලෙසකවත් නැත. පාඩම් ඉලක්ක සපුරා ගැනීමට වෙහෙසෙන ගුරුවරුන්ට විෂය නිර්දේශයට පිටතින් ඇති ළමුන් සතු ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට ප්‍රායෝගික හැකියාවක් නොමැත. එහෙත් පාසල් ප්‍රශ්න අසන මධ්‍යස්ථාන සහ ප්‍රහර්ශය සපයන මධ්‍යස්ථාන කළ යුතු බවට පාවුලෝ ෆියරේ නම් අධ්‍යාපනඥයා යෝජනා කරයි. කුතුහලෙන් තොරව සතුටක් නොමැත. එපමණක් නොව විමුක්තිය සඳහා ඉගෙනීම යන සංකල්පය යටතේ ඉගෙනීම යනු හොඳ ප්‍රශ්න ඇසීමටත් වැරදි පිළිතුරු ප්‍රතික්ෂේප කිරීමටත් හැකියාව ඇති කර ගැනීමයි. විමුක්තිය උදෙසා ඉගෙනීම හැරෙන්ට වඩා වටිනාකමක් තිබෙන අන් මානුෂීය අධ්‍යපනයක් නොමැත. නිවැරදි ප්‍රශ්න ඇසීමට ඇති අයිතිය වළකාලුවහොත් සහ වැරදි පිළිතුරු ප්‍රතික්ෂේප නොකළහොත් එතැන සැබෑ අධ්‍යාපනයක් නොමැත.

ක්‍රිෂ්ණමූර්ති පඬිවරයාගේ Does School prepare you for Life? නම් දේශනයද ශ්‍රී ලංකාවේ වත්මන් අධ්‍යාපනය අර්බුදය විසඳාගැනීම සඳහා අන්තර්ඥානයක් ලබාගත හැකි මූලාශ්‍රයකි. ඊට අනුව, සෑම දෙයක්ම කිසිදු විකෘතියකින් තොරව පැහැදිලිව දැකීම බුද්ධිමත් භාවයේ එනම් ප්‍රඥාවේ ආරම්භයයි. පාසල් මට්ටමේදීම අපට එය කරන්නට හැකි නම්, එනම් අප විදුහලට ඇතුළු වේද්දී අප කරන්නේ කුමක්ද, සම්ප්‍රදාය යනු කුමක්ද, අප එය අනුගමනය කළ යුත්තේ මන්ද, අප කීකරු විය යුත්තේ මන්ද යන්න ප්‍රශ්න කරන්නට පටන් ගන්නේ නම්, අපට අප සතු සැබෑ ශක්තිය මුදා හැරිය හැකිය. එමඟින් පොත ඉක්මවා යෑමට, ගුරුවරයා ඉක්මවා යාමට අපට හැකිවාක් ලැබෙනු ඇත. මේ ජීවිතයට මුහුණ දීමට එබදු බුද්ධියක්, සැබෑ සජීවී ප්‍රබල බුද්ධියක් අපට අවශ්‍ය වන බව ඔහු අවධාරණය කරයි.

ගුරුවරු පොතකින් දැනගත් දෙයකින් අපට උගන්වති. එහෙයින් අප අතරමං වේ. අප මේ කුරිරු චක්‍රයට අසු වී තිබේ. එහෙයින් අපේ පාසල් ජීවිතයේ ආරම්භයේ සිටම අපට සටන් කිරීමට සිදු වේ. අපට ප්‍රශ්න කිරීමට සිදු වේ. අපට විමසන්නට සිදු වේ. පොතෙන් ඔබ්බට සහ ගුරුවරයාගෙන් ඔබ්බට යෑමට අපට ශක්තිය තිබිය යුතුය. එසේ නොවුණහොත් අප වහලුන් වනු ඇත. දැනටමත් පරිහානියට යමින් තිබෙන රටක මෝඩයෙකු වීමට අපට සිදු වේ. එහෙයින් වටහා යුතු දෙය නම් අතිවිශිෂ්ට බුද්ධියක් අපට තිබීම අවශ්‍ය වන බවයි, ඒ බුද්ධිය නම් තර්ක කිරීමට, සාකච්ඡා කිරීමට, සොයා ගැනීමට, පොතෙන් ඔබ්බට යාමට ඇති හැකියාවයි. මෙම හැකියාවෙන් යුතු දරුවෙකු නිර්මාණය කළ හැකි අධ්‍යාපන ක්‍රමයක් සැකසිය හැකිනම් රටක් වශයෙන් අපට ඉදිරිගමනක් තිබෙනු ඇත.

.[දිනේෂ් දේවගේ]

මාතෘකා