ලිංගික සබඳතා සහ සතුට

 ඡායාරූපය:

ලිංගික සබඳතා සහ සතුට

ශිෂ්ටාචාරය ප්‍රධාන වශයෙන්ම ගොඩනැඟුණේ වාරණය කළ, සාන්ද්‍ර, එකතු කළ සහ ප්‍රත්‍යාවර්තිත අනුරාගී ජවය මතය

- සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්

ක්‍රිස්තු වර්ෂ 1ත් 4ත් අතර භාරතය තුළ වාසය කළා යැයි උපකල්පනය කර ඇති කාම සූත්‍ර රචක වාතස්‍යයන ගෝත්‍රයේ මල්ලන්ග කාමය යන්න අර්ථ නිරූපණය කළේ මනස සහ ආත්මය උපකාරක කරගනිමින් ශ්‍රවනය, දැකීම සහ රස බැලීම මෙන්ම ආඝ්‍රානය මගින් යොග්‍ය වස්තූන් පිනවීමක් ලෙසිනි. එය පරිපූර්ණ දිවියක් ගෙවීම සදහා පූරණය කළ යුතු ‘ධර්ම’, ‘අර්ථ’ යන ගුණ හැරුණු විට සඳහන් ‘කාම’ ගුණය වශයෙන් හැඳින්විණි. වාත්ස්‍යන ගේ කාම සූත්‍රය ඔහුගේ කාලයට ශතවර්ශ කිහිපයකට පෙර සිටි ඕවිඩ් නම් රෝමානු කවියාගේ ආදරය නම් කලාව (art of love) නම් ආඛ්‍යානය මෙන් අනුරාගී ඉඳුරන් පිනවීමක් හෝ විමෝචනයක් නොව - ස්ත්‍රී පුරුෂ ලාලනත්වය, විවාහය සහ වෛවාහික සුඛය මතු කොට දැක්වීමකි. එනම් ලිංගිකව හැසිරීම හෙවත් අනංග රංගය පිළිබඳ පෙර අපර දෙදිග යථාදර්ශනය එකිනෙකට වෙනස්ය.

පරිනාමීය ගමන්මග තුළ සත්ව ලෝකය තුළ රමණය යනු රමණය පමණක් විය. අදින් වසර මිලියන 400 කට පෙර ස්කොට්ලන්තයේ විලක විසූ -මයික්‍රොබැචියස් ඩිකී නම් මත්ස්‍ය යුවළ ප්‍රථම වරට අත්දුටු දෙයට ඔබ්බෙන් අපූර්ව වූ යමක් වසර මිලියන ගණනක් ගියද සත්ව ලෝකය තවමත් අත්නොවිඳින බව සැකහැර පැවසිය හැකිය. එහෙත් මානව වර්ගයාට එය එලෙස නොපවතී, සැබවින්ම ලොව වෙසෙන අන් සතුන් අතුරින් මානවයා තරම් උනන්දුවෙන් නිරන්තරව, නිර්මාණාත්මක රමණයක යෙදෙන අන් ජීවියෙකු නොමැත. වාතස්‍යන හෝ ඕවිඩ් විසින් අලංකාරීත්වයට නංවන ලද්දේ එකී ප්‍රයාසයයි.

අප කවුරුන්ද, අප මේ තත්ත්වයට කෙසේ පත් වීද යන ගැටලු අවබෝධ කර ගැනීම හා විසඳා ගැනීම සඳහා දරන උත්සාහය ඇරඹිය යුත්තේ මානව වර්ගයාගේ පරිනාමීය වූ ලිංගිකව හැසිරීමට දක්වන ළැදිකම පිළිබඳ අවබෝධයත් සමඟ බව පිරිනාමීය ජීවවිද්‍යාඥ මතයයි. එකී අනුරාග රංගය මේ දක්වා පරිනාමය වෙමින් පැවතියේ කුමක් සඳහාද යන්න තවමත් ඥානනය නොකළ අඳුරු කලාපයක් තුළ පවතී. චාර්ල්ස් ඩාවින් පවා එයින් වියවුලට පත් විය. “අප තවමත් රමණයෙහි පරම අරමුණ ගැන නොදනී. නව ජනතියන් ලිංගිකයන් දෙදෙනෙකුගේ සංයෝගයෙන් බිහිකරන්නේ කුමක් සඳහාද යන සමස්ත විෂය තවමත් ඥානනය නොකළ අඳුරු කලාපයක් පවතී.” යනුවෙන් ඔහු ලියා තැබුවේය.

එමෙන්ම එය ශිෂ්ටාචාරය වෙත පියමංකළ මොහොතේ සිටම ඒකවෛවාහික ලිංගික සේවනය පවත්වාගෙන යෑමට නිරන්තරයෙන් ක්‍රියාත්මක වන සමාජීය හා විද්‍යාත්මක බලකිරීම මඟින් හෝ ආගමික නායකයන් හෝ දේශකයන් හෝ මහැදුරන් විසින් නිරන්තරයෙන් ගෙනහැර දැක්වූ මාංශමය පාපය හෝ රාගාග්නිය වැනි රූපකවලින් පවා ඥානනය කළ නොහැකි වූ ප්‍රහේළිකාවකි. එහෙත් රමණය නම් වූ පරම තෘප්තභාවයට පත්වීම සඳහා පරිණාමීයව උරුම වූ මානව චර්යාව ඓතිහාසික හා සමාජීය වශයෙන් මෙතරම් ප්‍රතිරෝධනයට ලක්කොට ඇත්තේ ඇයි? එකී චර්යාව සඳහා සමාජ සම්මත ව්‍යුහයක් වන සාම්ප්‍රදායික විවාහ සංස්ථාව අසාර්ථක වන්නේ මන්ද?

Why Is Sex Fun? කෘතියේදී ජාරෙඩ් ඩයමන්ඩ් විසින් මානවයින්ගේ ලිංගික චර්යාව ප්‍රජනනයට ඔබ්බෙන් ඇති විශාන්ත්‍රික හෙවත් විනෝද ක්‍රියාවක් වන බව දක්වයි. එහෙත් නිරන්තරයෙන් සිදුකරන ජනප්‍රියවාදී සුරතාන්තමය හා කාම සුත්‍ර අනුගාමී සර්වාංග විකාර වැනි අවධාරණවලින් එකී ප්‍රකෘතිය විකෘතිසහගත තත්ත්වයක් කරා උෟනනය කොට ඇත. එහෙත් සතුන් විසින් ක්ෂණ නියමයන් මත සිදු කරන ලිංගික චර්යාවට වඩා ප්‍රජනනය උදේසා අනංග රංග ආලිංගනයක යෙදෙන්නේ මානවයා පමණි. එනම් මානවයා තුළ කාමසූත්‍ර මනෝභාවයට වඩා පරිනාමීයව දියුණු කළ ‘ප්‍රජනන සවිඥානිකත්වයක්’ අන්තර්ගතය. ලිංගික ආශ්‍රය (sex drive) මානවයාට ඉබේ ඇතිවන්නක් නොවේ. සැබවින්ම එහි නියැලීමෙන් පසුව සිදුවන දේ පිළිබඳ ඇති සවිඥානිකත්වය පෘථිවිය තුළ වෙසෙන අරුම සහගත ජීවියා බවට මානවයා ඔසවා තැබූ එක් සාධකයකි .එනම් එවන් ‘ප්‍රජනන සවිඥානිකත්වයක්’ සහිත වීමෙන් මානවයා පරිනාමීය ගමන් මග තුළ එකිනෙකාට ඥාතිත්වයක් දක්වන්නේය යන අවබෝධයට පත්විය .එනම් ලිංගිකව හැසිරීම දරුවන් තැනීම සමඟ තුල්‍ය වවන්නේය දරුවන් තැනීම ඥාතිත්වය හා තුල්‍ය වන්නේය යන සවිඥානිකත්වය මානව පරිනාම ඉතිහාසය තුළ හැරවුම් ලක්ෂයක් බවට පත්විය.

පිරිමියෙක් ගැහැනියක ගේ පෙනුම ගැන සැලකිලිමත් වනවිට පිරිමියෙකුගේ පෙනුමට වඩා ගතිගුණ කෙරහි ආශක්ත වන බව පිරිනාමීය මනෝවිද්‍යාව පිළිබඳ ප්‍රවීණයන්ගේ අදහසයි. සැබැවින්ම ගැහැනිගේ ජීව විද්‍යාත්මක සැකැස්ම ඕනෑම පිරිමියෙකුගේ හා නිදිවැදීමට පෙර යම් පමණකට සවිඥානිකය. සැබැවින්ම සම්භෝග චර්යාවකදී ස්ත්‍රිය සහ පුරුෂයා අතර පවතින සබඳතාව ගිනිනිවන්නා සහ ගින්දර අතර සම්බන්ධයට සමානය. ‘පිරිමියා ගිනිනිවන්නාය, ඔහුට ලිංගිකව හැසිරීම යනු කඩිමුඩියකි. ඔහුට ඕනෑම මොහොතක ක්‍රියාකාරී වීමට හැකිය. එහෙත් ගැහැනිය එසේ නොවේ. ඇය ගින්දර මෙන් විශ්මයාවහය. එහෙත් ඇය දැල්වෙන්නේ යම් නිශ්චිත තත්ත්වයන් පූර්ණ වීමෙන් පමණකි’ ය යනුවෙන් බෙරී සෙයින්ෆීඩ් නම් ප්‍රහසන ශිල්පියා දැක්වූ අදහස එකී අනංග රංගය පිළිබඳ විසම ලිංගික මනෝභාවයෙහි හැසිරීම පිළිබඳ කදිම සමෝදානයකි.

මාතෘකා