නාමල පරවූ වගයි

 ඡායාරූපය:

නාමල පරවූ වගයි

එය අවසානයේදී රස්තියාදුවක් පමණක්ම විය. මුලින්ම අරක්කු බෝතලයට, බත් පැකට්ටුවට කොළඹ ගෙන ආ ජනතාව නන්නත්තාර කළ ඒකාබද්ධ විපක්ෂයත් ඒ රස්තියාදුවෙන් පසුව නන්නත්තාරම විය. සැප්තැම්බර් පස්වැනිදා කොළඹ නගරය වටලා පසුදා ආණ්ඩු බලය ලබා ගන්නා බවට පාරම් බෑ අයවලුන්ට මේ රස්තියාදුවෙන් පසු රාත්‍රී දොළහටත් කලින්ම අකුළාගෙන ගෙදර යන්නට සිදුවිය. නමුත් ඔවුන් කීවේ මෙරට ඉතිහාසයේ දීර්ඝතම විරෝධතාව කොළඹදී පැවැත්වූ බවය.

රාජපක්ෂලාට සහ ඔහුගේ හෙංචයයියන්ට එය මහා විරෝධතාවක් වුවද ඉතිහාසය දන්න අය කතා කරන්නේ 1953 දක්වා අතීතයට දිවයන ආණ්ඩු විරෝධයක් පිළිබඳවය. 1953 හර්තාලය දින ගණනාවක් කොළඹ අල්ලාගෙන කැබිනට් මණ්ඩලය මහ මුහුදේ නැවකට පලවා හැරීමට තරම් සමත් වූ ජනතා සටනකි. ඉතිහාසයේ එතරම් අගනා අත්දැකීම් තිබියදී රාජපක්ෂලා කළ රස්තියාදුව රටටත් අපහාසයකි. එසේම ආණ්ඩු විරෝධී අරගලවලට කරන නිග්‍රහයකි.

රාජපක්ෂ කල්ලියේ මේ රස්තියාදුවෙන් වුයේ කොළඹ නගරය පුරාම ජරා ගොඩක් ඉතුරු වීම පමණය. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මෙතරම් උසුළු විසුළුවට ලක් වූ රංචු ගැසීමක් තිබුණේ නැත. පසුගියදා සිදුකළ ඒකාබද්ධයේ රස්තියාදුව ඒ තරමටම අප්‍රසන්නය. ලංකා ඉතිහාසයේ පැවැත්වුණු ආණ්ඩු විරෝධී රැලිවලින් අදාළ පාර්ශ්වයේ නායකයාගේ ජනතා ඇමතීම විනාඩි තුන හතරකට සීමා වූ එකම විරෝධතාව ලෙසින් නම් මේ ඒකාබද්ධයේ කොළඹ රස්තියාදුව ඉතිහාස ගත වනු ඇත. ඉන් මෙහා කිසිවක් ඇත්තේම නැත. වරෙක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා කියා සිටියේ මේ පාගමනින් වාසි ලැබෙන්නේ තෙල් බෙහෙත්කාරයන්ට පමණක්ය කියාය. ඒ කතාව ඇත්තය. ඒත් දුමින්ද දිසානායක ඇමතිවරයා මීට බාර් හිමියන්ද ඇතුළත් කළා නම් ඔහුගේ කතාව 100 % ක්ම නිවැරදිවනු ඇත.

මේ රස්තියාදුවේ ප්‍රධාන සංවිධායකයා වන්නේ වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ලොකු පුතාය. ඔහු නමින් නාමල් රාජපක්ෂය. නාමල් මේ විරෝධතාව සංවිධානය කරන්නේ අරමුණු කීපයක් පෙරදැරි කරගෙනය. පළමුවැන්න නම් මේ විරෝධතාවට විශාල ජනතාවක් ගෙන්වාගෙන ආණ්ඩුව බියවද්දා තමන්ට එරෙහිව තිබෙන නඩු යටගසා ගැනීමය. දෙවැන්න නම් ඒ තුළින් ඒකාබද්ධයේ නායකත්වය ලබා ගැනීමටය. මේ රස්තියාදුවෙන් පසු ඒ සිහින සැබෑ කරගන්නට සූදානමින් සිටි නාමල් රාජපක්ෂගේ සිහින තිඹිරිගෙය තුළදීම ඔහු විසින්ම මරා දැමුණි. ඒවා දිට්ඨධම්මවේදනීය කර්ම හැර වෙනත් කිසිවකුත් නොවේ.

රාජපක්ෂලා යනු ලැජ්ජාවක් ඇත්තවුන් නම් නොවේ. පසුගියදා කොළඹ රස්තියාදුවෙන් පාඩම් ඉගෙන ගත්තේ නැති මොවුන් මීළඟ රස්තියාදු ගැහිල්ල දිස්ත්‍රික් මට්ටමින්ද කරන්න සූදානම් වෙයි. ඔවුන්ගේ මීළඟ රස්තියාදුව මහනුවර නගරයේය. කොළඹ ආර්ථික මර්මස්ථාන අල්ලාගෙන රට අරාජික කිරීමට ගත් උත්සාහය විගඩමක් පමණක්ම විය . මහනුවර වටලන්න ආර්ථික මර්මස්ථාන නැත. ඔවුන්ට අවශ්‍ය නම් දළදා මාලිගාව වැටලීම කළ හැකිය. විදේශ නළඟනන් ගෙන්වා හෙළුවැලි නැ‍ටුම් නටවා රේස් පැද්දා වගේ මාලිගාව වටේ ඕනෑම ජරා වැඩක් කිරීමේ ලැජ්ජා නැතිකම රාජපක්ෂලාට තිබේ.

ඒවා කෙසේ වෙතත් නාමල් මේ දඟලන්නේ තමන්ට මුහුණදීමට සිදුවන නඩු යටගසා ගැනීමටය. නමුත් නඩු වැලක එල්ලී සිටින නාමල්ට එය නම් ලේසි වන්නේ නැත.

ගවර්ස් කෝපරේටඩ් සමාගමේ මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ රුපියල් මිලියන 30ක මුදලක් අයුතු ලෙස උපයා ගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පස්දෙනෙකුට නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.

එසේම 2016 ජූලි මස 11 වන දින මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලබන්නේ ක්‍රිස් ගෲප් නැමති සමාගමෙන් ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනයට පිණිස ලබාගන්නා කෝටි 70ක මුදලක් පෞද්ගලික බැංකු ගිණුමක තැන්පත් කිරීමක් සම්බන්ධ චෝදනාවකටය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් සංවිධානය කළ කාල්ටන් 7 රග්බි සැණකෙළිය හා රාත්‍රී මෝටර් රථ ධාවන තරග වෙනුවෙන් ශ්‍රී ලංකන් එයාර් සමාගම රුපියල් මිලියන 86ක් වැයකර ඇති බවටද වාර්තා වෙයි.

තාරුණ්‍යයට හෙටක් සංවිධානය මගින් තරුණ තරුණියන්ට කොටස් වෙළඳපොළ පිළිබඳව අවබෝධයක් ලබා දීමට යැයි කියමින් විනිමය කොමිසමේ මුදල් රුපියල් මිලියන 50ක් හෙවත් කෝටි 5ක් නීති විරෝධීව නාමල් රාජපක්ෂගේ ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානයට ලබාදී ඇති බවටද වාර්තා වෙයි.

එසේම හිටපු ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක්ෂගේ දේශපාලන කටයුතු සඳහා යයි කියමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවිකාවක ගුවන් සේවයේ වැටුප් මත මුදාහැර ඇති බවත්, ගුවන්යානය තුළ සිදුකරන කටයුතු සඳහා ලබාදෙන දීමනා ඇතුළුව ඇයට රු. ලක්ෂ 42ට වඩා වැඩි මුදලක් නියමිත වැටුපට අමතරව ගෙවා ඇති බවත් පසුගියදා එළිදැක්වූ වැලිඅමුණ වාර්තාව මගින් එළිදරව් විය.

මේ නාමල්ලා ඔහුගේ පියාගේ පාලන කාලයේ සිදුකළ විගඩම් කීපයක් පමණි. තවත් ඒවා ඕනෑ තරම් ඇත. නාමල්ලා ඒ විගඩම් නැටුවේ රටේ ජනතාවගේ බදු මුදල්වලිනි. ඒවාට වැරදිකරුවන් නම් නාමල්ලා දඬුවම් ලැබිය යුතුව ඇත. ඒ දඬුවම්වලින් මිදෙන්නට නාමල්ලා මේ රස්තියාදු කොතරම් ගැසුවත් කියන්නට තිබෙන්නේ නාමල් රාජපක්ෂ ගැන අමාත්‍ය මංගල සමරවීර කී කතාවමය. ඒ "නාමල් බබෝ

යූ විල් වී ඩිසපොයින්ටඩ්" කියා පමණි.

[දිලංක ගුණතිලක]

මාතෘකා