හොර නැති හෙරලිය

 ඡායාරූපය:

හොර නැති හෙරලිය

කොස් කන්නට හොර ඇත්තො ඉන්නවා නම් ඒ අකලට කෙනෙක් දෙන්නෙකි. මොනා නැතත් කිරි කොස් වෑංජනේ තියේ නම් බත් ඩිංගක් නොකා පුළුවන්දැයි අසා මඩක්කුවට හරි බෙදා දෙන අඩුක්කුව හිස් කරන්ඩ අපේ ගම් තුලානවල උන්දැලා පැකිලෙන්නෙ නැත්තෙ ඒ හින්දාය. කොස් කෑම ආරේ ගතියක්ව ඇති හින්දා අතාරින්නට අමාරු වග කොළඹ රටෙත් පාරවල් අයිනේ කොස් තියාන කපන කැපිල්ලෙන් පෙනේ.

නැගෙනහිර පොතුවිල්, අක්කරපත්තු පැත්තේ කොස් ගස් හිඟය. ඒ හින්දාම කොස් වාරේ ගලබැද්ද සියඹලාණ්ඩුව හරහා පානමට යන බස්සෙක කොස් ගොඩවල් ගාව නවත්තලා කොස් පටවන හැටිද ගමට යන උන්දැලා බසයෙන් බැහැලා වැල වරකා ගිලින හැටිද දැකපු මතකයක් මට තියේ.

කිතුල්දෝව හන්දියෙ පොඩි කඩ කෑල්ලක් දමාගෙන වෙළඳාම් කරන වික්කරේ මාමා පහුණු දොහක මේ ලිවිල්ල කියවලා කොස්ගොල්ලෙ විස්තරෙන් කෙනා කවුදැයි අඳුනාගත් බව කිව්වා. ඒ ගොල්ලත් හොඳහැටි දන්නවා අපේ ගම්වල ජනප්‍රියම කෑම අතරෙ කොසුයි, රොටියි තිබ්බ බව. අදටත් රෑ කෑමට කොස් ඉව්වොත් රොටී කබලටත් වැඩ තියෙනවා.

ඒ හින්දා ඇල්ල හරහා වැල්ලවායට යද්දි අඩියෙන් අඩිය රොටී කඩ. අතින් ඇඳපු බෝඩ්වල ඇද අකුරු කතා කරනවා කොස් එක්ක රොටී කමු කියලා. කාලා බලන්ඩකො පංකාදු පහයි. මාත් එක්ක එහෙම කෑමකට ගියපු බලංගොඩ මහේෂ් තන්තිරිවත්තගේ දොස්තර මහත්තයා සාක්කි.

ඉතිං අපේ අම්මලා කොස් කපද්දි වෙනම වට්ටියකට කොස් හිඹිඩි නැත්තං සිබිඩ්ඩ එක්කහු කරනවා. ඒ කට්ට අව්වෙ වේලාගන්ඩ. වේලෙව්වම අඩුක් කරල තියාගන්ඩ පුළුවන්නෙ අහේනි වෙලාවක මාළුවක් උයාගන්ඩ. මේ මෙහෙමයි උයන්නෙ. වේලාපු කොස් හිඹිඩි උණුවතුරෙන් පොඟවා ගන්නවා අටුකොස්වලට කරන්නැහේ.

ඊට පස්සෙ දුරු, තුනපහ, කහ, මිරිස්, කරෝල කට්ටක්, නැත්තං හාල්මැස්සො කීපදෙනෙක් එක්කාසු කරලා තෙල් දා ගන්නවා. උණු සුදු කැකුළු බත් මරන්ඩ බැරියැ කොස් හිඹිඩි තෙල් දාලා ගත්තම. අටුකොස් නම් රස මැල්ලුමට නොවැ නේද? අටු දෙලුත් එහෙමනෙ. ඒ හැටි අව්රහක් එන්නෙත් නෑ පොලුත් යහමින් දාලා මැල්ලුමට උයා ගත්ත නම්.

කොස් කපද්දි අහක දාන ඉරිත් කන්ඩ පුළුවන්නෙ යස අගේට. එව්වත් අව්වෙ වේලගන්ඩ ඕන. ඊට පස්සෙ ගැඹුරු තෙලේ බැදගෙන සීනි උණුකරපුවා වක්කරනවා හරියට සිල්ලර මොටයි වගේ වෙන්ඩ.

අපේ ගෙවල්වල ඉස්සරම ලිප්බොක්ක තිබ්බෙ බිම. හතරවටේ කණු හිටවලා බැඳගත්ත දුම්මැස්සකුත් ළිපට තිබ්බා. දුම්මැස්ස එක විදියක ගබඩාවක්. කරෝල මුටිටිය, වේලිච්ච ඉරුංකරල්, තව ඇට බැට ජාති විතරක් නෙවෙයි, සමහර ගෙවල්වල දුමේ පැණි වට්ටකයක් දෙකක් හෙමත් ලැගලා හිටියා.

සමහරු පැණිමුල් එල්ලුවෙත් දුම්මැස්සෙ. ළිප කිට්ටුව ඉඳගෙන කොස් කපනවා නම් කොහිල්ල ටික එක්කහු කරගෙන හදාගන්න කොහිල්ල බබා ඇලෙව්වෙත් දුම්මැස්සෙ කණුවක. කණු පුරාම කොහිල්ල ගුලි එල්ලිලා තිබ්බා. කාලයක් ගියාම ඒවා ඇලෙන්නෙ නැතුං යනවා. එතකොට කුඩු වෙනවා පිටි වගේ. ආං එහෙම වුණාමලු කොහිල්ල ඉව්වෙ පරිප්පු උයනවා වගේ.

අද ඉතිං කොහේ කන්ඩද කොහිල්ල මාළුව දුම්මැහිත් නැතිකොට? ඉතිං මෙහෙම කොස් කාගෙන ගිහිල්ලා අන්තිමේදි ඉදුණම වැල වරකත් කනවානේ. වරකා බැදලා පැණි දාලා හදාපු අතුරුපසක් මං කෑවා උණවටුනෙදි. ඒ විදියට ඉදුණු කෙහෙල් බැදලා පැණි දාලා කෑවා ඉන්දියාවෙ බැංගලාරුවෙදි. වැල ගෙඩියෙ නම් මදුලු එල්ලිලා තියෙන නාරටිය නැත්තං නහල්ලත් උයලා කනවා මිරිසට.

අපේ ඉවුම් කලාවෙ මහ අප්පුච්චා පබිලිස් මහත්තයා කොළඹ රටට සේන්දු වුණු හැටියෙ ඔය නීලගිරියෙන්ද කොහෙද වැල නහලු මාලුවක් කාලා මසක් කියලා රැවටිලා තියෙනවලුනෙ. එදාලු උන්නැහේ හිතාගත්තෙ කවදා හරි උයන කප්පිත්තෙක් වෙන්ඩ ඕනමයි කියලා.

තව ඉතිං කන්ඩ තියෙන්නෙ කොස් ඇට ටික තමයි. කොයි හොද්දත් උකුවෙනවා කොස් ඇට තලලා දැම්මම. පුරාණ ගෙවල්වල වැලි මුල්ලක් තිබ්බා. වැලි යට කොස් ඇටයො හැංගිලා හිටියා. එහෙමයි එව්වා කල් තියාගත්තෙ. වැලි කොස් ඇටවල ළා පැණි රහකුත් තිබ්බා. පැළ වෙන්ඩ ළංවෙද්දි පිටි සීනි වෙලා වෙන්ඩෑ. ඉස්සර අපි වැහි කාලෙ හැන්දෑවට මුට්ටියක් පුරෝලා චවු ඉරුයි කොස් ඇටයි තම්බනවා. බඩ පුපුරන්ඩ තැම්බිච්ච කොස් ඇටයි චවුයි පොලුයි පුදුම රහයි.

අම්මලා උයද්දි ලිබ්බොක්ක ළඟ කොලොම්බක් තියාන වාඩිවෙලා ළිපට කොස් ඇට දානවා පිච්චෙන්ඩ. පිච්චිලා සුටුස් ගාලා පුපුරන කොස් ඇට හරි පුසුඹයි. පුච්චපු කොස් ඇට රහ කෑමක්. කොස් ඇට කබලෙ බැදලත් කන්ඩ පුළුවන්. බැදපු කොස් ඇට පෙති ගහලා බැදුමක් ඉවුවම රහයි. මීගමුවෙ කොස්ඇට බයිට් තියෙනවා මං දෑහින් දැක්කා. කොස්ඇට බැදලා සීනි පොල් එක්ක වණේ කොටලා හදන අග්ගලාත් කදිම අතුරුපසක්.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා