සාහිත්‍ය ගෝරණාඩු

 ඡායාරූපය:

සාහිත්‍ය ගෝරණාඩු

මේ කාලයේ සාහිත්‍ය ගැන වැඩි වැඩියෙන් කතාබහ කරන්නට පටන් ගෙනය. පොත් පත් ගැන, කවි ගැන නෙක නෙක කතාය. ඇතැම් පොත් කරඩුවක් මෙන් හිස් මුදුනින් ගෙන පුදද් දී තවත් පොත් ගැන අවි අමෝරාගෙන යුද පිටියට බැස ඇත්තේද මේ කාලයේ ය. 'අයං සාහිත්‍යං කාලෝ' කිව්වත් ඒ කාලයේත් විපරිත දේ බොහෝ වන්නේය.

මේ කාලයේ මාස ගණනාවක් නිදා සිට අවදි වූවක් මෙන් සාහිත්‍ය ගැන තලු මරමින් කතා කළ හැකිය. මාස කිහිපයකින් නැවත සාහිත්‍ය වියළී යන්නේ ගලේ වැනූ මී මල් සේය. කොහේදෝ සිට කොබෙයියෙක් 'මී බෝයි මී බෝයි' කියා කෑ ගසන්නක් මෙන් සැප්තැම්බර් ඔක්තෝම්බර් වන විට නැවත සාහිත්‍ය කතා වේදිකාවට ගොඩ වෙයි.

මේ කාලයේ වැඩියෙන්ම දකින්නට ලැබෙන්නේ සාහිත්‍ය උත්සව කලකෝලාහාලය. හැම තැනකම සාහිත්‍ය උත්සවයන්ය. ඉහළින් එවන මුදල් පහළින් ගසා කෑමේ උප්පරවැට්ටිය. ඒවායේ ඇතැමක මුලසුන දරන්නේ පොලිසියේ ස්ථානාධිපති තුමාය. තවත් එකක ඇමැතිතුමාය. තවත් එකක ආණ්ඩුකාරයාය. සාහිත්‍යකරුවෙකු ඇත්තේම නැති තරම් ය.

මේවා සංවිධානය කිරීමේ දී ද අරුම පුදුම දේ දැකිය හැකිය. ආරාධිත අමුත්තාගේ හිත දිනා ගන්නට ආලවට්ටම් බොහෝය. කන්‍යාවියන් දෙදෙනකු පා නමැද පිළිගත යුතු ය. මල් මාලා දමා පිළිගත යුතුය. බෙර වයමින් පෙරහැරෙන් ඔවුන් රැගෙන යා යුතුය. ඔහු ගැන හිත පිරෙන්න ප්‍රසස්ති ගායනා කළ යුතු ය. සරස්වතී නර්තනයකින් උත්සවය ආරම්භ කළ යුතු ය.

එයට නම ගිය නැටුම් කණ්ඩායමක් ගෙන්විය යුතුය. ප්‍රාදේශීය මන්ත්‍රීතුමාලාගේ සිට ඉහළට සිටින සැම දෙනාටම උත්සවයේ දී කතා පැවැත්වීමට ඉඩ දිය යුතුය. සිංහල ගීතයකට නැතත් හිංදි ගීතයකට දෙකකට ගැහැණු ළමුන් ටිකක් නැටවිය යුතුය. තවත් කතා කිහිපයක්, නැටුම් කිහිපයක් අතර තුර සම්මාන කිහිපයක් දිය හැකිය.

කෑම්-බීම්, සිනා හඩවල් හා ඕපා-දූප හා තවත් මැති ඇමතිවරුන්ගේ කතා මැද තවත් සම්මාන කිහිපයක් දිය හැකිය. උත්සවය අවසන් කර, කරටි කැඩෙන්න අමුත්තන්ට සංග්‍රහ කළ යුතුය. ඔවුන් ගිය පසුව ඉඩ තිබුණ හොත් ලේඛක ලේඛිකාවන්ට ශාලාවේ කොනකට වී වචනයකින් දෙකකින් දොඩමළු විය හැකිය. ත්‍යාග ලබා ගත් උදවියට රාත්‍රියේ බසයක් එන තෙක් රැඳී සිට ගෙදර යා හැකිය.

එතැන් සිට ඇත්තේ සම්මාන ගත් කෘතිවලට හා විනිශ්චය මණ්ඩලයට දෝෂාරෝපණය කිරීමේ වාරයයි. ඇතැම් එකක විනිශ්චය මණ්ඩලය සුදුසුකම් ඇත්තවුන් නොවේ යැයි චෝදනා නගයි. ඇතැම් එකක තෝරා ගත් කෘතිය සුදුසුකම් සපුරා නැත. සුදුසුකම් සපුරා තිබෙන කෘති කුණු කූඩයේය. එකිනෙකාට බැණ අඬ ගැසීම් මෙන්ම එකිනෙකාගේ පිට කසා ගැනීම් ද ඒ අතරතුර සිදුවේ. අපට ඇත්තේ එවන් සාහිත්‍ය උත්සවයන්ය. දක්නට ඇත්තේ සාහිත්‍ය ගෝරනාඩුවක්ය. මේ මාස දෙක කම්මුතු වී ගිය පසුව නැවතත් පෙර පරිදිම කාලය ගෙවී යයි.

පොතක් පතක් ගැන සාහිත්‍යයක් ගැන වගේ වගක් නැත. නැවත සාහිත්‍ය ගෝරණාඩුව ආරම්භ වන්නේ අනෙක් වර්ෂයේ සැප්තැම්බර් මාසයේය. මේ අව් අස්සේ කාට කාටත් සාහිත්‍ය කියන්නේ මොකක්දැයි හරිහැටි සොයාගත නොහැකි වීම ගැන පුදුම නොවිය යුතුය.

කෘතියකට ත්‍යාග දිනා ගැනීම හෝ නොගැනීම එම කෘතිය උසස් හෝ පහත් කියා සැළකිය හැකිදැයි සිතා බැලිය යුතුය. කිසිම සම්මානයක් නොගත් කිසිම අගය කිරීමකට ලක් නොවුණු කෘතියක් වසර ගණනාවකට පසුව ඉතා උසස් කෘතියක් ලෙසින් සම්භාවනාවට පාත්‍ර විය හැකිය. ලෝක සාහිත්‍යයේ එවැනි දේ කොතකුත් සිදු වී ඇත.

නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ලැබූ කතුවරුන් පවා යම් යම් හේතු නිසා එම සම්මානය හා තෑගි මුදලත් ප්‍රතික්ෂේප කළ අවස්ථා ද ඇත. සම්මාන බලාගෙනම සාහිත්‍යකරණයේ නියලෙන්නේ නම් එය සාහිත්‍ය කෘතියක් වන්නේ කෙසේද?

ලැබෙන්නා වූ ජයග්‍රහණය තම නිර්මාණය කෙරෙහි යම් අගය කිරීමක් ලෙසත් බෝනස් එකක් ලෙසත් සැළකීම වැරැදි නැත. එසේ සිතන විට සාහිත්‍ය කෘතියකට යම් ජයග්‍රහණයක් නොලැබුණත් හිත රිදවා ගැනීමට අවශ්‍ය වන්නේ නැත. ලංකාව වැනි රටවලවල බොහෝ විට සම්මාන දීම සිදුවන්නේ ප්‍රතිරූප ආරක්ෂා කර ගැනීම සඳහා පුද්ගල බද්ධ ආකාරයෙනි. එය ගෞරව උපාධි පිරිනැමීමටද අදාළ කර ගත හැකිය. එසේ නොවන්නේ නම් ගස් බැන්ද ඇමතිවරුන්ට උපාධි පිරිනැමෙන්නේ නැත.

පොත් කියවන, පොත් ලියන, සාහිත්‍ය ගැන සැබෑ ලෙස කතා කරන මිනිසුන් බිහිවන තෙක් මෙන්ම, සැබෑ සාහිත්‍ය උන්නතිය වෙනුවෙන් සම්මාන දෙන සාහිත්‍ය උත්සව පවත්වන තෙක් මෙම ගෝරණාඩු දෙස අප බලා සිටිය යුතුය. එසේත් නැතිනම් එවැනි දිනක් උදාකර ගැනීම වෙනුවෙන් වැඩ කළ යුතුය.

[ගාමිණි බස්නායක]

මාතෘකා