සේලයින් ඉල්ලන අම්මලා

 ඡායාරූපය:

සේලයින් ඉල්ලන අම්මලා

සේලයින් එකක් දැම්මොත් හරියනවා ඩොක්ටර්... ගිය පාරත් එහෙමයි කළේ"

දරුවා සමග හිඳගත් සැනින් මව පවසයි. මුල සිට දරුවාගේ රෝග ඉතිහාසය ගැනීම දුෂ්කරය. මේ මව සේලයින් ගැනම කියවයි. බොහෝ අය ඒ වගෙයි. එනමුත් මේ තරම්ම සේලයින් ඉල්ලා කරදර නොකරති.

"මේ දරුවාට මීට කලින් තිබුණු රෝගාබාධ මොනවද අම්මේ?"

"මීට කලින් එක පාරක් උණ හුදුණා. වමනේ ගියා.. සේලයින් දීලා හොඳ උනා... සේලයින් එකක් දානවද ඩොක්ටර්..."

"ඇදුම, උණ, වලිප්පුව එහෙම ?"

"නෑ. නෑ... හැබැයි ඩොක්ටර් සේලයින් එකක් දීගත්තොත් හරි"

"සේලයින්වල තියෙන්නේ මොනවද කියලා දන්නවද අම්මේ?" මම බැරිම තැන ඇසුවෙමි.

"ම්.. නෑ" එවිට ඇය නිහඬ වේ.

"සෝඩියම් ක්ලෝරයිඩ්... ඒකියන්නේ අපි පාවිච්චි කරන ලුණු"

"වමනය හෝ බඩ එළිය නිසා විජලනය වුණොත්, ඒ කියන්නේ දරුවෙක්ගේ ඇඟෙන් වතුර ගොඩක් පිටවුණොත් සේලයින් දාන්නම ඕනේ. නැත්නම් ඒ දරුවාගේ ඇඟේ තරල ප්‍රමාණය, ලවණ සහ ජලය අඩුවෙලා ප්‍රශ්න ඇතිවෙන නිසා" යැයි මම පවසද්දී අම්මා පුදුමයෙන් බලා සිටී.

"සේලයින් නිකම් හෙම්බිරිස්සාව කැස්සට නම් හරියන එකක් නෙමේ අම්මේ"

“මම හිතුවේ සේලයින් කියන්නේ විටමින් වගේ බෙහෙතක් කියලා” අම්මා සෙමින් මුමුණයි.

සමහර අම්මලාට දරුවාට එන්නතක් විදින තුරු නින්ද යන්නේ නැත. ඇතැමුන් එන්නත් විදිනවාට විරුද්ධය. ඒ සියල්ලටම හේතුව මේ දේවල් ගැන දැනුම අල්ප වීමය. අසාධ්‍යම තත්ත්වයේ දරුවන් ගොඩ ගන්න වෙහෙසෙද්දී අම්මා තාත්තා ඇතුළු නෑ සනුහරේම අය වාට්ටුවෙන් එළියට හෝ හදිසි ප්‍රතිකාර අංශයෙන් එළියට දමන්නේ එහෙයිනි.

රාත්‍රී එකොළහට වාට්ටුව ඇමතූ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයා කීවේ වහා එහි එන ලෙසය. හිතුවා වගේම අවුරුදු එකහමාරක පමණ දරුවෙක් උණ වලිප්පුව සෑදී පැමිණ තිබිණි. එහිදී ගුද මාර්ගය ඔස්සේ ඇතුළු කරන ආකාරයෙන් එම ඖෂධය රෝහලේ නොතිබුණු නිසා එයම එන්නත් මගින් රුධිර නාලගත කර තිබුණි. වලිප්පුව පාලනය වුණු නමුදු දරුවාගේ ශ්වසනය කෙමෙන් කෙමෙන් අඩු වී ගියේය. මෙහිදී ඉක්මනින් ක්‍රියාත්මක වුණු එම වෛද්‍යවරයා කෘත්‍රිම ශ්වසනය සහ අඛණ්ඩ ඔක්සිජන් සැපයුම මගින් දරුවාගේ ශ්වසනය එලෙසම පවත්වාගෙන, වැඩි උදව්වට අප අමතා තිබුණේය. දරුවා ගැන කියමින් අවශ්‍ය උපදෙස් අසමින්, අපෙන් දුරකථන ඇමතුම් එක පිට එක එන නිසා පාන්දර තුන හෝ හතර වන තෙක් විශේෂඥ වෛද්‍යතුමියටවත් නින්දක් නැති විය. අප හැම සතුටු කරමින් පැය කිහිපයකින් පසු දරුවා දෑස් විවර කර බලා අඬමින් අප දමා තිබූ ශ්වසන බට ආදිය ගලවන්නට විය. ඒ ඖෂධය නිසා දැඩි නිද්‍රාශිලී ගතියක් ඇතිවේ.

උණ සහිතව හෝ උණ රහිතව ෆිට් එක සෑදුණු දරුවන් අනන්ත අප්‍රමාණව දැක ඇත්තෙමි. ප්‍රතිකාර කර ඇත්තෙමි. එහෙත් වාසනාවකට අපට හමුවූ දෙමාපියන් අපි දරුවා ප්‍රකෘති කර කෘත්‍රිම ශ්වසනය දෙනකම් ඉවසන් බලා සිටි අය වූ අතර අපි වෙහෙසුණ හැටි ගැන ස්තුති කර පින් දුන්නෝය. උණ වලිප්පුව පාලනයට දෙන ඖෂධය නිසා ඇතැම් විට ශ්වසනය යම් තරමක අඩාල වීමක් සිදු වේ. මෙතැනදී ප්‍රකෘති කිරීම සහ ශ්වසනාධාර සපයමින් ඔක්සිජන් සපයමින්, ඒ ඇතිවුණු තාවකාලික ශ්වසන අපහසුතාව මගහරවාගත හැකිය. එම අවස්ථාවේ ඇත්තටම මේ පිරිස ක්‍රියාකළ යුත්තේ ගහ මරාගන්න නොවේ. දරුවා ගැන සිතා දරුවාගේ ජීවිතය බේරාගැනීම අරමුණු කරගෙන ය.

පැය ගණන් අත් දෙකෙන් කෘත්‍රිම ශ්වසනය දෙන මෙවලම ක්‍රියාත්මක කරමින් ඒ අතර දැඩි සත්කාර ඒකක සොයමින් ඒ ගත කරන පැය ගණන දැඩි ආතතියකි. ප්‍රකෘති කිරීම් කරද්දී රෝගියා වටේ ඉන්න පිරිස ඉවත් කරන එක ඒ තරම්ම අමාරු දෙයකි. රෝගියාගේ ඥාතීන් කලබල වීම සාමාන්‍ය නමුත් මෙසේ රෝහලක් වැහෙන්න තරම් කළහකාරී වීම පසුපස තිබෙන ගැටළුව අපි හඳුනාගත යුතුයි.

මෙතනදී ආවේගශීලී වීම තුළින් බොහෝ දේ මග හැරේ. ඒ සිදුවීම යළි නොවෙන්නට රටේ මහජනයා මේ සම්බන්දව දැනුවත් කිරීම ජනමාධ්‍ය සතු වගකීමකි. වෛද්‍යවරුන් ලෙස අපිත් හැකි තරම් රෝග සහ ඖෂධ ගැන ප්‍රජාව දැනුවත් කිරීමට වග බලාගත යුතුයි කියන දේ මේ සිදුවීමෙන් තවත් පැහැදිලි විය.

[වෛද්‍ය බෝධිනී සමරතුංග]

මාතෘකා