හොර ලියුං

 ඡායාරූපය:

"දැං හැදෙන එවුං ඇළේ දාලා මඩේ පෑගුවත් හදන්ඩ බෑ බණ්ඩයියෙ."

"ඒ ගමන මොන වින්නැහියක්ද මලේ?"

"මුං ඉස්කෝලඔලට ගෙහුං කොරන්නෙ හොර ලියුං ලියනේක"

නිමලෙ ඩබල් රූල් කොළේක ලියපු ලියුං කරදහියක් දුන්නා.

"මං මොකද කරන්නෙ මේකට"

"කියෝල බලල බණ්ඩයියගෙ අදහස කීවනං ඇති. ඕක අපේ බාල කොලුවට නෑම්බියක් දුන්නු එකක්."

මේම් මෙහෙමයි ලියුම.

චේතනා කල්පනී

සංවේදනා මැඳුර,

සංතාප මාවත,

කඳුළුපුරය.

සූකිරි කන්දකින් පහළට ගලන ඉබේ

මී පැණි බිඳක් වේවා ජීවිතය ඔබේ

ආදර රුවන්, හොරා! මං ලියුමක් එවනකම්ම බලා ඉන්නොව නේද? මේ දවස්වල ගෙදර ගියාම කම්මැලියි. වහිනවා. එළියට බහින්න විදියක් නෑ. වාරිමාර්ග එකෙං වැහි පිරිතක් කියලා කඩවර පූජාවක් තිබ්බට පස්සෙ වහින්න පටන්ගත්ත කියල තමයි හැමෝම කියන්නෙ. ඇමතිතුමත් ආවනෙ කඩවර පූජාවට. ඒක නෙමේ. ඔයා තාක්ෂණවේදය තෝරගත්තෙ නව නිර්මාණ තරගෙටවත් දාන්ඩද? දානවනං හොඳම එකක් දාන්ඩ. ලෝක මට්ටමෙං දිනන එකක්. ඉස්කෝලෙ ලොකු උස්සවයක් තියල ජනාදිපති තුමාත් ගෙන්නුව නම් ඒක දියුණු කරගන්ඩ ලොකු මුදලකුත් ලැබෙයි. අර තඹුත්තේගම ඉස්කෝලෙ නාමල් අයිය මතකයි නේද? එයත් තාක්ෂණවේදෙනෙ කළේ. ඔයා වාගෙනං නෙමේ. දක්ෂයා. හැන්ඩියා. ඔන්න කේන්ති ගියා නේද ඔයාට? එයාගෙ තාත්ත කුඹුර උගස් තියල දුන්නු සල්ලිවලින්නෙ බහුකාර්ය මැෂින් එක හැදුවෙ. ඒක ලෝක සම්මාන දිනුවනෙ. ඒ කාලෙ හිටපු ජනාදිපති එයාගෙ මන්දිරේට ගෙන්නල සුබ පතලත් තිබුණා. ඔයා දන්නවද අන්තිමට මොකද වුණේ කියල? මැෂින් එක ඉඩමෙ මළකඩ කන්න පටන් ගත්තා. නාමල්ට ඉගෙනීමත් නැතුව ගියා. දැං ඔය නව නිර්මාණ ගැන එක එක සිංදු දැම්මට එයාලට ඇහෙන්නෙවත් නෑ ඒවා. ඒ හින්ද තාක්ෂණවේදෙ කරන ගමන් නව නිර්මාණ කරනව නම් රෝයල් එකට හරි ආනන්දෙට හරි යන්න බලන්න. අඩු තරමෙ ගම්පහ බණඩාරනායක විදුහලටවත් යන්න. නැත්නම් කවුරුවත් ඕව දිහා බලන්නෑ.

ඉතිං පැටියො, ඔයා තාම නියපොතු කනවද? ඉක්කේයියා. හරිම කැතයි. ඔහොම ගිහිං ඔයා මගෙ නියපොතු ටිකත් හපල දායි දවසක.

ඔයා ඊයෙ ටී.වී. බැලුවද? අරගොල්ලන්ගෙ මාද්ය හමුව? රූපවාහිනියෙ දිලංක අයිය ඇහුව ප්‍රශ්න ටිකක් කටඋත්තර නැතිවෙන්ඩ. විමල් ශිරාණි ඇන්ටිගෙ නඩුව අහපු එක ගැන... ලසන්ත, තාජුඩීන් ඝාතන ගැන... අන්තිමට ලොක්කට මල පැන්න. ඔයා මොන චැනල්ලෙකේද ඇහු‍ෙව. රූපවාහිනියෙ කියපුවම මූණ රතු වුණා. හොඳයි බලාගමුකො කියලා නොකීවට එහෙම පෙනුණා. මේ දිලංක අයියලටත් පිස්සුද මන්ද. මෙයලා කෑලි ටිකක් කඩාගෙන ආණ්ඩුවක් අටවගත්තොත් පණ බේරගන්ඩ ප්‍රංසෙට තමා යන්ඩ වෙන්නෙ.

ඒක නෙමේ අනේ, ඔයා ජාතියේ පියා බැලුවද? මට ආසයි බලන්න. කැප්පෙකක් දාලා උස සපත්තු දෙකක් කාගෙං හරි ඉල්ලගෙන එන්න. ඔයා කාටවත් අඳුනන්න බෑ එතකොට.

ජාතියෙ පියා බලන්නැති ජාතියෙං ඇති වැඩේ මොකද්ද? හොරා. මේ සැරේ ආවෙ නැත්තං තරහම තරහයි.

කවද හරි දවසක අර බැසිල් අංකල් ගම්පහ හදපු පුංචි ගේ වාගේ ලොකුම ලොකු කන්දක් උඩ පුංචිම පුංචි මාලිගයක් හදල ඔයාට තනියම තමයි ඉන්ඩ වෙන්නෙ..

ඔයා මේකට උත්තරයක් එවනකං මම මූණ හෝදන් නැතිව, දත් මදින් නැතුව ඉස්කෝලෙ එනවා... සත්තයි. ඔයාට ගන දෙයියන්ගෙ පෑන සරණයි...

මං අදරැති,

චේතනා.

ලියුං කරදහිය කියෝල ඉවරවෙද්දි අලි හුටං පහක් ගිල්ලා වාගෙ ඔලුව කැරකෙන්ඩ පටන්ගත්තා ආයිබොවන්ඩ. අපොයි රටකට ගිය කලක්.