ලංකාව වෙනස් බ්‍රෝ

 ඡායාරූපය:

ලංකාව වෙනස් බ්‍රෝ

මේ වන විට ලෝකයේම අවධානය යොමුවී තිබෙන්නේ තුර්කියට සහ සෞදි අරාබියටය. ඒ අන් කිසිවක් නිසා නොව වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ තීරු ලිපි රචක මාධ්‍යවේදී ජමාල් කෂෝගී තුර්කියේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි තානාපති කාර්යාලය තුළදී ඝාතනය කිරීම නිසාවෙනි. ජමාල් කෂෝගී යනු සෞදි පුවත් ආයතන කිහිපයක් වෙනුවෙන් ප්‍රබල පුවත් ආවරණය කළ ප්‍රකට මාධ්‍යවේදියෙකි. ඔහු සෞදි රජයේ උපදේශකයෙකු ලෙසද සේවය කර ඇති අතර පසුකාලීනව රජයේ උදහසට ලක් වී තිබේ. පසුව ඔහු පසුගිය වසරේ ඇමෙරිකාවට ගොස් වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාසික තීරු ලිපියක් පළ කළේය. එම තීරු ලිපියේ අවසන් තීරු ලිපිය කෂෝගී වෙන් කර තිබුණේ අරාබි ලෝකයේ මාධ්‍ය නිදහස වෙනුවෙනි. කෂෝගීගේ අකුරුවලින් සෞදි රජයද දැඩි ලෙස විවේචනයට ලක්විය.

තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනය කළ කෂෝගී ගැන ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා සිය කනස්සල්ල පළ කර ඇත. ‘මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගැන මම ඉන්නේ කනස්සල්ලෙන්. ඔහුට වුණේ කුමක්දැයි දැන ගන්න ඕනෑ. කවුරුත් හරිහැටි කිසිවක් කියන්නේ නැහැ. කියන දේවල් පරස්පරයි. විශ්වාසයි අපට සිදුවුණේ කුමක්දැයි දැනගන්න ලැබේවි’ යැයි ජනාධිපති ට‍්‍රම්ප් කියා සිටියේ ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් හමුවුණු අවස්ථාවේදීය.

එදා ට්‍රම්ප් විශ්වාස කළ පරිදිම කෂෝගීට සිදුවූයේ කුමක්දැයි මේ වන විට හෙළිදරව් වී අවසන්ය. තුර්කි රජය කෂෝගීගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි රජයට සෘජුවම ඇඟිල්ල දිඟු කරමින් චෝදනා එල්ල කළ නමුත් සෞදි රජය එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. නමුත් එම මරණයට සෞදි ඔටුන්න හිමි කුමාරයාට අතිශයින් සමීප බුද්ධි නිලධාරීන් සම්බන්ධ බවට තුර්කිය චෝදනා කරද්දී සෞදි රජය කළේ මුනිවත රැකීම පමණි. ඒ කෙසේ වෙතත් අවසානයේ තුර්කියේ පිහිටි සෞදි කන්සියුලේට් කාර්යාලයේදී ඇතිවූ ගැටුමකින් පසුව කෂෝගී මිය ගිය බවට සෞදි රජය නිවේදනය කළේය. එසේම එම මරණය ගැටුමක් නිසා නොව සැලසුම් සහගතව සිදුකරන ලද ඝාතනයක් බවටද තොරතුරු හෙළිවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වැදගත් වන්නේ බලපෑම් හමුවේ වුවද අවසානයේදී මෙම ඝාතනයේ වගකීම භාරගැනීමය. දැන් ඉතිරිව තිබෙන්නේ සැබෑ ඝාතකයන් සොයාගෙන කෂෝගීට යුක්තිය ඉටුකිරීම පමණි.

නමුත් මේ සිදුවීමෙන් ශ්‍රී ලංකාව උගත යුතු කාරණා රැසක්ම ඇත. ඒ වෙනකක් නොව ඝාතනයට ලක්වූ, පහර කෑම්වලට ලක්වූ, හිංසනයන්යට ලක්වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම වෙනුවෙනි. යුක්තිය ඉටු කිරීමට නම් මේවා සිදුකළවුන් සෞදි රජය මෙන් අවසානයේදී හෝ මේ සිදුවීම්වල වගකීම් භාර ගැනීමට සූදානම් විය යුතුය. එවිට පරීක්ෂණ කණ්ඩායම්වලට එය පහසුවක් විය හැකි නිසාය. ලංකාවේ සිදු නොවන්නේද එයයි. කොතරම් බලපෑම් කොහෙන් සිදුවුවද මාධ්‍යවේදීන් ඝාතනය කළ, පහර දුන්, හිංසාවට ලක්කළ, මාධ්‍ය ආයතනවලට ගිනිතැබූ, බෝම්බ ගැසූ, සීල් තැබූ සිදුවීම්වලට වගකිවයුත්තන් ඒ කිසිවක වගකීම භාර ගන්නට කැමති නැත. සෞදි රජයටත් වඩා මේවා ලංකාවේදී සිදුකළ අය ඇට්ටරයෝය. ඊට වඩා භාෂාවෙන් කියනවා නම් කුපාඩියෝය.

ඒ කුපාඩියන්ට රටේ ජනතාව කොතරම් බලපෑම් සිදුකළද වගේවගක් නැත. ඔවුහු නෑසූකන්ව සුදනෝ මෙන් බලා සිටිති. ඒ මදිවාට මාධ්‍ය ඉදිරියට පැමිණ ‘මං වගේ මාධ්‍යයට සැලකූවෝ කොහෙත් නැත’ යැයි කියමින් පාරම්බාති. තමන්ට තරම් මාධ්‍යයෙන් කිසිවෙකුටත් පහරදී නැතැයිද කියති. එසේ කියන්නේ අන් කිසිවෙකුත් නොව එදා නයාට අඳුකොළ මෙන් මාධ්‍යයට සැලකූ රාජපක්ෂලාය.

කණගාටුවට කරුණ වන්නේ සමහර මාධ්‍ය ඒ ගජබින්න ධීර වීර ලෙස වාර්තා කරන තැනට පත්වීමය. අවම වශයෙන් ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියාව අධි ආරක්ෂිත කලාපයක් තුළ මහ දවාලේ ඝාතනය කිරීම ගැන මෙන්ම ඒ ගැන විමර්ශනයක් නොකිරීම ගැන මහින්දගෙන් අහන්න තරම් කොන්දක් නැතිවීම කණගාටුදායකය. ලසන්තගේ ඝාතනය ගැන බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියකු එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂගෙන් විමසු කළ ඔහු ඊට උත්තර දුන්න හැටි ඔබට මතකද? එදා ගෝඨාභය ලේකම් තුමා ඇස් රතුකරගෙන ආවේගයෙන් ඇසුවේ "හූ ඊස් ලසන්ත?" කියමින්ය.

අදවත් ගෝඨාභයගෙන් "ලසන්ත දන්නවද" අහන්න තරම් මාධ්‍යවේදීන් ලංකාවේ හිඟය. ප්‍රගීත් එක්නැළිගොඩ, එස්. රවීන්ද්‍රන්, සුබ්‍රමනියන් රාමචන්ද්‍රන් පමණක් නොව පෝද්දල ජයන්තලා ගැන කතාවද එහෙමය. ‘ලංකාව වෙනස් බ්‍රෝ’ කියන්නේ ඒ නිසාය. ඒ අතින් අපේ ඉන්නේ කොතරම් වෙනස් බ්‍රෝලාද කියනවා නම් අපේ රටේ ඝාතනය වන අතුරුදහන් වන කිසිම මාධ්‍යවේදියෙකුට යුක්තිය ඉටුකිරීම තබා මරණ සහතිකයවත් අරන්න දෙන්න මැදිහත්වෙන්න තරම් කොන්දක් පමණක් නොව හෘදසාක්ෂියක් අපේ ගොඩක් අයට නැත.

[දිලංක ගුණතිලක]

මාතෘකා