බොලං බලං ආනං හොද්දක වරුණ 2

 ඡායාරූපය:

බොලං බලං ආනං හොද්දක වරුණ 2

බදුල්ලේ ප්‍රභාත් කුමාර මහත්තයා ඉවිලි ගැන ලිවිලි කියවන කදිම මිත්‍රයෙක්. එයා පාරම්පරික ජන ඥානය ගැනත් යම්කිසි විශේෂඥ බවක් තියෙන ඇත්තෙක් හින්දා එව්වා ගැන ලියවිච්ච පොත් දෙක තුනකුත් ඇන්න ආව මං බලන්ඩ. ස්තූතියි ඕං. නුවර පළාතේ අසේල කුරුළුවංශ උන්නැහෙයි, හම්බන්තොට රාහුල් මහත්තෙයයි දෙන්න ඉවිලි ගැන ලිවිලි තීරු සමුච්ඡය පොතක කියවන්ඩ ආසාවෙන් ඉන්න බව කිව්වෙ ළපටි සූකර මාංසයක් කොටා බාන ගමන්. හා ඉතිං පහුණු සුමානෙ ආනම ගැන වරුණ කියන්ඩ ඉඩ තබාගත්ත නෙව.

කුරහන් තලපෙනෙ තලප ලෝකෙ රජ්ජුරුවො. කුරහන් නැත්තං කුරක්කන බොහෝම ගුණ කටුසර බෝගයක්. දැන් කුරක්කන් පිටි කඩපොළෙන් ගන්ඩ තිබ්බට ඒ කාලේ එහෙම නෑ. බැල තණ ප‍ඳුර වාගේ හැදෙන කුරක්කන් තෘණ පවුලටනෙ අයිති. කුරක්කන් බීජ එක පොකුරට උඩිස්සට හරවලා ළං කරපු ඇඟිලි ටික වගේ හැදෙනවා. ඉතිං කුරක්කන් කවි හෙම ගයමින් බවලත් උදවිය පුංචි කැත්තක් වාගේ කැපුම් ආවුදේකින් කුරක්කන් නෙලන වරුණෙ ගැන ජනකවියා ලෝභ නැතිව කියලා තියෙනවා. බත කන්ඩ වියැට ගෙඩිය පැහෙන කුඹුර තරම්ම ඒ කාලෙ උන්දැලට තලප කන්ඩ කුරක්කන් පැහුණ හේනත් බුද්ධ බිමක් ආයිබෝවන්ඩ. එහෙම බුද්ධ බිංවල මං ඕන තරම් පයගහලා තියෙනවා. කොලොංවින්න ගල්ගෙඩියාවෙ දිසා, බලහරුවෙ සමතපාල, තෙනගල්ලන්දෙ චන්දන හෙම තමයි මඟ පෙන්නුවෙ. අපේ ජයසිරි උන්නැහෙත් වැල්ලවාය පැත්තෙ කාලයක් කරක් ගැහුවා හේන් කොටන්ඩ. හැබැයි ඉතිං ඒ පළාත්වලට ආගන්තුක ඇත්තන්ට ඔය වැඩේ පාසු නෑ.

කොහොමින් කොහොම හරි නෙලන කුරක්කන් පෑහැලා අහවරවුණාට පස්සෙ තමා ගලේ අඹරලා පිටි කරගන්නෙ. තලප හැදිල්ල එච්චර අමාරු නෑ. මට මැවිලා පේනවා වගේ බලහරුවෙ සමතපාලගෙ මහගෙදර කුස්සියෙ තලප පත් ගාන හැටි. ඒ කුස්සියෙ දුම්මැස්සෙ ඉරුං කරල් හෙම එල්ලලා තියෙනවා. පුංචි කොලොම්බක ඇන බාගෙන ඉන්ඩ ආසයි අත්තම්මා උයන හැටි බලාගෙන. කුරක්කන් පිටිවලට ලුණු ඩිංගක් විතරක් එක්කහු කරලා පැහෙන වතුරට දාලා පත්ගාන කොට බලන්ඩ ඕන ගුළි ගහන්ඩ පුළුවන් පදම තමයි. තලප ගුළිය ගිලින තරම තීන්දු වෙන්නෙ ආනමේ හැටියට. ආනම කලවං හොද්දක්. අලකොළ හරි කොල්ලු හොද්ද හරි එක්ක කනවට වඩා ආනමක් එක්ක තලප කන එක සාරයි. අපේ අජිත් ආනම ගැන විශේෂඥයෙක්. ඒ හින්දම ආනම ගැන නිතරම වරුණෙ කියනවා. ඒ හින්දා එයැයි වරුණා කොරන ආනම හදන හැටි කියලා ඉඤ්ඤං.

ඒකට නොදාන්නෙ අහවල් එකය කියන්ඩ බැරි තරම්. හේන් බෝග අතර තියෙන වට්ටක්කා බාගෙදා කැකිරි, බණ්ඩක්කා, මඤ්ඤොක්ක, දඹල කරල් එව්වයෙ ඇට වෙනත් ඇට බැට ජාති ඔය ලීමා වගේ එව්ව එච්චරද තිබ්බටු ගෙඩි පිටින් දානවා ආනමට. ආ සමහරු වම්බටුත් පෙති ගහලා දානවා. ලුණු, පහේ දාන ආනමට රටබටු තක්කාලි දෙහි ඇඹුල් ඩිංගකුත් පමණක් ඇත්තො දානවා. සැර වෙන්ඩ නම් පංකාදු වන්නි මිරිස් හරි හීන් කොච්චි හරි කරල් පිටින් දාන එක. මේ හැම එකම එකට මුහු කරලා උකු වෙන්ඩ කුරක්කන් පිටිත් ඩිංගක් එක්කහු කරලා පස්සව ගන්න හොද්ද තමා තලප ගිලින ආනම. ආනමට මෑ කොළ, කොස් ඇට එහෙම දාන්ඩත් පුළුවන්. ඌව ගුවන්විදුලියෙ අපේ අජිත් හදන ආනමට අනිවාර්යයෙන්ම අසමෝදගම් කොළත් දානවලු. අසමෝදගම් කොළ බඩට හොඳයි නෙව. ආනම රජ වෙන්නෙ දඩ මස් ඩිංගකුත් එක්කහු කළාම තමයි. හැබැයි ආනමට අමු මස් දාන්නෙ නෑ රජෝ මතක තියාගන්ඩ ආනමක් හදන කොට දාන්නෙ වේළිච්ච දඩමස් ටිකක්. දඩ මස නැතත් කදිම ආනමක් එක්ක තලපයක් ගිලින්ඩ පුළුවන් මොනරාගල පහුකරල යන දවසක ටවුමට ඉස්සරින් තියෙන හෙළ බොජුන් අවන්හලට ගියාම. අර කිව්ව වාගේ තිබ්බටු, හීන් කොච්චි හෙම දාලා හදාපු ආනමක් ඒක.

මං අමතක කරන්ඩ බැරි තලප කැවිල්ලක් කෑවෙ බිබිලට එහා ගල්ඔය වනන්තර මායිමෙ රත්මල්ගහඇල්ල ඉස්කෝලෙ ගුරු නිවාසෙදි. එතකොට හිටපු දයාරත්න ලොකු ඉස්කෝලෙ මහත්තයා මට දවල් බත දුන්න වැව් කොරළියකුයි, මඤ්ඤොක්කා කොළයි එක්ක. රෑ වෙද්දි උන්නැහෙ කියනවා අපි දෙන්නා රෑට තලපයක් පතු ගාගෙන කමු කියලා. මං හා කිව්වා එක පයින්. හැබැයි බොලං කුරක්කන් නෙවෙයි ඉරුං තලප. පුසුඹ ගහන කහ පාට ඉරුං තලප එක්ක කට නලියන ආනමක්, දෙන්ඩ බැරිවැයි බඩ පැළෙන්ඩ. ඒ ආනමට මෑ ඇට, මඤ්ඤොක්කා අල, බණ්ඩක්කා එහෙම දාලා පංකාදුයි. කිව්වට කාරි නෑ වේළාපු වල් ඌරු මසුත් යහමින් දාලා තිබ්බ හින්දා ආයෙ ඉතිං බඩ නොපැළුණා විතරයි. පස්සෙ දවසක වල් ඌරෙක් එක්ක ඉරුං පිටි රාත්තල් දුසිම් භාගෙක විතර තලප ගිලින්ඩ මහේෂ් දොස්තර මහත්තයා අපේ ගෙදර ආවෙත් ඒ රහ ගැන කිව්වට පස්සෙ.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා