හෙන්රි ජයසේනගේ කුවේණී

 ඡායාරූපය:

හෙන්රි ජයසේනගේ කුවේණී

කුවේණී වේදිකා නාට්‍ය, 2018 නැඟෙනහිර පළාත් සාහිත්‍ය උත්සවය වෙනුවෙන් මහඔය කැප්පෙටිපොල ද්විතීයික පාසල් ශ්‍රවණාගාරයේදී වේදිකාගත විය. එය සැබැවින්ම ආනන්දනීය අවස්ථාවක් විය. අඳුරු ශාලාවකට සිර වී නාට්‍ය සමඟ ඒකාත්මික වන්නට හැකි විය. අඳුරේ ගිලී සිටින හෝරාවකට වැඩි කාලයේ නෙක නෙක ආනන්දනීය මතකයන් සමඟ කුවේණී හඳුනන්නන්ගේ මනස ඇදී යන්නට ඇත.

කුවේණී කියන නාමය අපට කිහිප ආකාරයකින්ම සංඥාර්ථ සපයයි. ඉන් පළමු වැන්න ලංකා ඉතිහාසයේ කුවේණිය තරම් වැරැදි අර්ථකථනයන්ට ලක් වූ තවත් කාන්තාවක් නොමැති තරම්ය. හෙළ වංස කතාව ලියැවෙන්නේ කුවේණියගෙන් හා විජය රජුගෙන්ය යන මුසාවත් සමඟ කුවේණිය එක් වරක් නොව දහස් වරක් කෙලසීමට ලක් විය. ඒ කුවේණියට වඩා ලංකා ඉතිහාසය පැරැණි බව සොයා දුන් මහාචාර්ය සෝමදේවගේ කැණීම් බලපත්‍රය තාවකාලිකව තහනම් කර ඇති බවටද පුවතක් පසුගිය සති කිහිපයේ හුවමාරු විය.

නාසා ආයතනය ලෝකයේ පමණක් නොව විශ්වයේ පැවැත්ම සොයන විට අපට අවුරුදු දෙදහස් පන්සීයකට එපිට ඉතිහාසයක් සොයා ගැනීමට නොහැකිය. කෙසේ නමුත් කුවේණිය නැවත නැවත කරළියට පැමිණීම සතුටට කරුණකි.

හෙන්රි ජයසේනයන් 1963 නිර්මාණය කරන ලද කුවේණී නාට්‍ය අද දක්වාම වේදිකාවේ රස නුසුන් කොට දිග හැරෙමින් තිබේ. ඒ ගැන ඇත්තේ සියුම් ආදරයකි. හෙන්රි ජයසේන, මානෙල් ජයසේන, සෝමපාල ධර්මප්‍රිය, චිත්‍රා අයිරාංගනී ජයසිංහ, ධම්ම ජාගොඩ ආදී විශිෂ්ට ගණයේ ශිල්පීන්ගේ දායකත්වය ලැබූ කුවේණිය, දැන් වේදිකාගත වන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වන ප්‍රසන්නජිත් අබේසූරියගේ මැදිහත් වීමෙන්ය.

මානෙල් ජයසේන වැනි නිළියන්ගේ නිරූපනය හා සමාන ඉදිරිපත් කිරීම් කරමින් ප්‍රේක්ෂකයා ඇදබැඳ තබා ගන්නේ සරසවියේ ඉගෙනුම ලබන රංගනය ගැන අයනු ආයනු කියන විද්‍යාර්ථීහුය. මේ විශිෂ්ට නාට්‍යයට කිසිදු හානියක් නොකර ඉතා විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරන බව ලියා තබන්නේ ඒ වයසින් කුඩාමුත් දක්ෂතාවෙන් කුඩා නොවෙන විද්‍යාර්ථීන්ට ගෞරවයක් පිණිසය.

දේශීය නාට්‍ය කලාවට විශ්වවිද්‍යාල විසින් ලබාදී ඇති දායකත්වය සුළුපටු නොවේ. ලුඩෝවයික්, ජුබාල් වැනි විදේශීය මහාචාර්යවරුන් සේම එදිරිවීර සරච්චන්ද්‍රයන්ද නාට්‍යකරුවකු ලෙසින් මතුවන්නේම විශ්වවිද්‍යාලය නිසාය. පේරාදෙණියේ නාට්‍ය පුනරුදයට පසුව ඒ කිරුළ පසුගිය දශක දෙකක කාලය තුළ කැලණිය විශ්වවිද්‍යාලය විසින් අත්පත් කර ගත්තේය.

කුවේණි වැනි සාර්ථක නාට්‍යයක් දුටු විට සෞන්දර්ය විශ්වවිද්‍යාලයද බොහෝ ජවසම්පන්නව දේශීය නාට්‍ය ඉතිහාසයට එක් වෙමින් සිටින බව පෙනේ. කෙසේ වෙතත් මේ විශ්වවිද්‍යාල දෙක සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය අතර ඇති තරගය නාට්‍ය කලාව පැත්තෙන් සැලකුව හොත් ඉතාම හොඳ තත්ත්වයකි.

කුවේණිය අතිශයින් භාවපූර්ණය. කිසිදු අපහසුතාවකින් තොරව අවසානය දක්වාම රස විඳිය හැකිය. සරල වේදිකා පසුතල නිර්මාණ හා රංග වින්‍යාසයද ප්‍රේක්ෂාව වඩවයි. මුල් සංගීත නිර්මාණයන් එලෙසින්ම යොදා ගැනීම අගය කළ යුතුය. එහි සියුම් වෙනස්කම් සිදු කර තිබුණද එය නාට්‍ය ගුණය වඩවා තිබේ.

එදින දර්ශනය නාට්‍ය කණ්ඩායම පැත්තෙන් සාර්ථකය. එහෙත් ප්‍රේක්ෂකයන් පැත්තෙන් නම් අසාර්ථකය. නාට්‍ය අවසන් වන තෙක්ම බොහෝ පිරිසක් පෑවේ විවිධ බහුරූ කෝලම්ය. යෑම් ඊම්ය. කතා බතාය. බෙදා හදා ගැනීම්ය. ශාලාවට තරම් නොවන ප්‍රේක්ෂකයෝ රොත්තකි. නාට්‍ය කිහිප අවස්ථාවක්ම නවත්වා, ශබ්ද නොකරන මෙන් දේශනා කරන්නට විය. කොළඹ සිට ඉතා දුර බැහැර වූ මහඔය වැනි ප්‍රදේශයක නාට්‍යයක් බැලීමට තරම් හික්මීමක් නොතිබීම ගැන සාමාන්‍ය ගොවි ජනතාවට අනුකම්පා කළ හැකිය.

වසරකට එක් නාට්‍යයක්වත් නොපැමිණෙන, සිනමා ශාලාවක් නොමැති, ටෙලිනාට්‍යයකින් පමණක් කලාව හඳුනන සාමාන්‍ය ගැමි ජනතාව එම චෝදනාවෙන් නිදහස් කළ හැකිය. ඔවුන්ට නාට්‍යයක් නැරැඹීමට හික්මීමක් ලබා දීමට හැකි වන්නේ නාට්‍ය පෙන්වීම හා අවබෝධ කරවීමෙන් පමණි. එහෙත් කනගාටුව රජයේ ඉහළ නිලතල දරන පුද්ගලයන් නාට්‍ය අවසන් වන තෙක් දුරකථන සංවාදවල නිරත වීමයි. වරින් වර නැඟිට නැඟිට ඡායාරූප ගැනීමයි.

දර්ශනය අතරතුර එහෙ මෙහෙ යෑමයි. එමගින් හෙන්රි ජයසේන යන අසහාය නාට්‍යකරුවාටද ඉතා වෙහෙසෙමින් වේදිකාවේ රඟන නළු නිළියන්ටද කළේ සුළුපටු අපහාසයක් නොවේ. කෙසේ වෙතත් මේ දස වධ මධ්‍යයේ වුවද නාට්‍ය රසය උපරිමයෙන් මතුවන අයුරින් නාට්‍ය වේදිකාගත කිරීම සම්බන්ධයෙන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය නාට්‍ය කණ්ඩායමට ස්තුතිය හා ගෞරවය පිරිනැමිය යුතු ය.

වේදිකා නාට්‍ය රස විඳීම භාවනාවක් මෙන් කළ යුතු දෙයකි. මද චලනයකින් තවත් කෙනෙක්ගේ දැහැන බිඳී යා හැකිය. අප විසින් හඬනඟා ඉහළ පහළ ගන්නා සුසුම් රොදකින්ද එම බාධාව විය හැකිය. ඉතා සැර සුවඳ විලවුන් එකකින් හෝ සිගරට් ගඳකින් එම දැහැන බිඳී යා හැකිය. යුරෝපීය රඟහල්වල නම් නාට්‍ය ශාලාවට ඇතුළු වන්නේ කළු පැහැති ඇඳුමින් සැරැසීගෙනය.

ඒ අප දරා සිටින සුදු පැහැති වස්ත්‍රය අනෙකාගේ දෘෂ්ටිපතයට හානි ගෙනදිය හැකි නිසාය. සිනමා ශාලාවක මෙන් කඩල ගොටු දිගහැරගෙන කෑමක් වේදිකා දර්ශනයක් නරඹන අතරතුර කළ නොහැකිය. මෙම හොඳ පුරුදු ප්‍රත්‍යන්ත ජනපදවල පමණක් නොව, ඇතැම් නාගරික උගතුන් අතරද බොහෝ විට දක්නට නැත, ඇතැම් විට විශ්වවිද්‍යාලවලද නැත.

මහඔය වැනි ප්‍රත්‍යන්ත ජනපදයන්හි ජනතාවට නාට්‍ය රස විඳිය හැකි දිනයක් එළැඹෙන තෙක් අප නාට්‍ය ගැන කතා කරමු. එවන් දිනයක මුළු ලෝකය තනි යායක් වෙනු ඇත.

මාතෘකා