මුවදෙව්දාවත

 ඡායාරූපය:

මුවදෙව්දාවත

සාහිත්‍ය මාසය නිමා වී උදා වී ඇත්තේ කියැවීමේ මාසයයි. රටක සාහිත්‍යය හා කලාව එම රටෙහි මිනිසුන්ගේ සංස්කෘතික දියුණුව පෙන්නුම් කරන්නක් බවට ප්‍රකාශයක් ඇත. අපේ රටේද සාහිත්‍ය පරිශීලනයේ යම් යම් දුර්වලතා තිබුණද අගය කළ යුතු ප්‍රවණතාවයන්ද පවතී. විශේෂයෙන්ම තරුණ පරපුරෙන් පිරිසක්, සාහිත්‍යයෙන් දුරස්වන විට ඉතා සීමිත පිරිසක් සාහිත්‍ය සේවනයට යොමු වීම දැකිය හැකිය. එපමණක් නොව අඩුම තරමින් කවි පොතක් හෝ ලියන්නට, ප්‍රකාශනය කරන්නට උත්සාහ දැරීම අගය කළ යුතුය. සාහිත්‍ය සේවනයෙන් තරුණ පරපුර ඉවත් වීමට සෘජුවම වගකිව යුතු වන්නේ තරගකාරී අධ්‍යාපනයයි. මේ වසංගතය අද වන විට විශ්වවිද්‍යාලය දක්වාම ව්‍යාප්ත වී අවසන්ය. පෙර ඇසුණු සාහිත්‍ය වාද විවාද වෙනුවට සරසවි බිම්වලින් දැන් දැන් ඇසෙන්නේ ඕප-දූප හෝ නන්-දෙඩවිලිය. කෙසේ වෙතත් මේ කියවීම් මාසයේ අලුත් පොත් කියවනවා සේම අපගේ පැරැණි සාහිත්‍ය කෘති පිළිබඳව යම් අවධානයක් යොමු කිරීම කාලෝචිතය.

සාහිත්‍යයේ නව ප්‍රවණතා හඳුනා ගන්නවා සේම පැරැණි හෙළ ප්‍රවණතාවයන් හා ගති ලක්ෂණයන් ඇසුරු කිරීම වැදගත්ය. දේශීය සාහිත්‍ය යුග වශයෙන් ගන්නා විට පොළොන්නරු සාහිත්‍ය යුගය ඉතා වැදගත් එකකි. අනුරාධපුරයෙන් ඇරැඹි නූතන ශිෂ්ටාචාරය යම් විකාශයක් සිදුවන්නේ පොළොන්නරු යුගයේදීය. බුද්ධාගම ලංකාවට පැමිණීමත් සමඟ මෙරට සාහිත්‍යයේද පැහැදිලි වෙනස්කම් සිදු විය. බොහෝ සාහිත්‍ය කෘති කෙරෙහි බුදු දහම බලපා තිබේ.

පොළොන්නරුව සාහිත්‍ය යුගයට අයත් ‘මුවදෙව්දාවත’ එවන් කෘතියෙකි. මෙය හෙළ ගී කවි අතර ඉතා උසස් ස්ථානයක් හිමිකර ගන්නා කෘතියකි. ජාතකට්ඨ කථාවේ අපණ්නක වර්ගයෙහි නව වැන්න මඛාදේව ජාතකයයි. ‘මුවදෙව්දාවත’ට මූලාශ්‍ර වන්නේ එම කතා පුවතයි.

‘මුවදෙව්දාවත’ හෙඵ ගී 164කින් යුක්ත ඛණ්ඩ කාව්‍යයකි. මෙම කාව්‍ය ලියවෙන සමකාලයේ සංස්කෘත සාහිත්‍ය ඉතා උසස් තැනක පැවති කාලයකි. සිංහල භාෂාවෙන් එවන් කෘතියක් රචනා නොවී තිබීම නිසා තිබූ හිඩැස "මුවදෙව්දාවතින්" පූර්ණය වූ බව විචරකයෝ පවසති.

මෙම ග්‍රන්ථයෙහි සම්පූර්ණ කථා වස්තුවේ සාරය එකම ගීයකට නගා මෙසේ දැක්විය හැකිය.

“අප මුණිදෙක් කලක්

රජසිරි පැමිණි යෙහෙන්

වෙයෙමින් ඉසද නරක් දුටු

කෙණෙහි ඉසි වෙස් රිස්වී”

අපගේ මුනින්ද්‍රයාණන් වහන්සේ රාජශ්‍රීයට පැමිණ සුවසේ වාසය කරන කාලයෙක හිසෙහි පැසුණු කෙස් ගසක් දුටු කෙනෙහි ඉර්ෂි වේශයට හෙවත් පැවිදි බවට කැමැත්ත ඇති විය යන්න ඒ ගීයේ අදහසයයි.

මඛාදේව රජු හිමව් පෙදෙසෙහි තවුස්දම් රකිනා විට ඔහුගේ මෛත්‍රී බලයෙන් චණ්ඩ වන මෘගයන් පවා සහජ වෛර ගති දුරුකොට සාමයෙන් විසූ අයුරු ‘මුවදෙව්දාවත’හි සදහන්ය.

“සුලගිනි වෙවුලන - මුව පොල්ලහට පෙම්කොට

එවැ තමා දළ දරණ - සැනැහී දර තුස්මින්

ගෙනැ ගිණු නිහියැ- මල දු කදටහි යෙහෙන්

කවර වලඟන නැ‍ඟ‍හි- බෙනෙමින් සොඳ බොලද බස්”

පිඹුරා සුළඟින් වෙවුලන මුව පැටවුන්ට ආදරයෙන් තමාගේ මහත් වූ දරණ වැළ තුළ බහා සොම්නසින් සැනසීය. වැදි ගැහැණු දිවි දෙනුන් ගෙලෙන් අල්ලාගෙන බොළද වචන කියමින් ඔවුන්ගේ ඇඟෙහි ඇති ලකුණු ගණන් කළහ යන්න එහි අර්ථයයි.

“මුවදෙව්දාවත”හි බස සරලය. එහෙත් අරුත් බරය, මිහිරිය. කවි හැගුම් නිරායාසයෙන් ගීයට හුරු අයුරු දක්නට ලැබේ. අදහස් නිරවුල්ව පැවසෙයි. බස සුදුසු පරිදි හැසිරවීමෙහිලා කවියා තුළ ඇති කුසලතාව වෙසෙසින් අගය කළ යුතුය. විරිත රැකුමට ඇතැම් කවීන්ගේ වදන් වැලට එකතු වන ‘වද වදන්’ මෙහිදී හසු නොවේ.

වර්තමානයේ බොහෝ කවියෝ බිහිවමින් සිටිති. නව පුවණතාවයන් හා නව අත්හදාබැලීම් සිදුකරන අතරම පැරැණි කාව්‍ය කෙරෙහිද අවධානය යොමු කරන්නේ නම් ඔවුන්ගේ කාව්‍ය අස්වැන්න තවත් සරු වනු ඇත. වාග් කෝෂය දියුණු වේ. නෙක නෙක වස්තූන් කවියෙන් වණන්නට නොවූවත්, සාහිත්‍ය සේවණයට මෙවැනි පැරැණි කෘති පරිශීලනය ඉතාමත් වැදගත්ය.

ඉදින් රටක් දියුණු වන්නේ පාරවල් කාපට් වූ පමණකින් නම් අපේ රට සංවර්ධනය වී බොහෝ කල්ය. රටක් සංවර්ධනය වන්නේ අහස උසට කොන්ක්‍රීට් ගොඩනැගිලි ඉදිවූ පමණින් නම් අපේ රට සංවර්ධනය වී දැන් බොහෝ කල්ය. රටක් සංවර්ධනය වී ඇති බව මනින්නේ එම රටෙහි ජීවත් වන ජනතාව අඳින පළඳින අයුරින් හා කන බොන ආකාරයෙන් මෙන්ම අතේ ස්මාර්ට් දුරකතනයක් තිබීමෙන් නම් අපේ රට දැන් දියුණු වී බොහෝ කල්ය. රටක් දියුණු වන්නේ එම රටෙහි ජනතාවගේ ඡන්දයෙන් තෝරාපත්කර ගන්නා පාර්ලිමේන්තුවක් තිබීමෙන් පමණක් නම් අපේ රට දැන් දියුණු වී බොහෝ කල්ය.

රටක් දියුණු කළ හැකි වන්නේ එම රටෙහි ජීවත් වන මිනිස්සුන්ගේ හිසෙහි පිරී ඇති මැටි තට්ටු ඉවත් කර, දැනුමින් හා ආකල්පවලින් පිරවුව හොත් පමණි. එය කළ හැකි වන්නේ සාහිත්‍යට පමණි. එම නිසා කියවීම් මාසයේ වැඩි වැඩියෙන් කියවීමට ඇබ්බැහි වීම තමන්ටත් හොඳය. රටටත් හොඳය.

මාතෘකා