කණාමැදිරියෝ

 ඡායාරූපය:

කණාමැදිරියෝ

ලාංකේය ජන සමාජයේ වැඩිමනක් ඇත්තේ පරිසර සංරක්ෂණය ගැන කටින් බතල කොළ සිටුවනා මිනිසුන් සහ නවීන විද්‍යාවේ දියුණුව ගැන වැල් බයිලා ගසමින් මිථ්‍යාවේ අඳුරු අඩියටම ගිලී ඇති මිනිසුන්ය. උලා කා ඉවත දමන අඹ ඇටය වුවද ඉබේ පැළවෙන එහෙව් රටක මිනිසුන්, දාහය නිවන්නට සොයන්නේ වායුසමීකරණයක හෙවණයි. විශ්වාසය තබන්නේ රටේ ජනගහනයට වඩා තිස් ගුණයක් ඇතැයි කියනා දෙවියන් ගැනය.

සමාජයේ දැඩි සහ වහා අවධානය යොමු විය යුතු පරිසර සංරක්ෂණය සහ මිථ්‍යා අඳුර පිළිබඳව සෘජු සංවාදයක්

ගොඩ නඟන අපූරු දීර්ඝ ටෙලිනාට්‍යයක් මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරේ. චාමර ප්‍රසන්න කොඩිතුවක්කු රූපවාහිනියට රචනා කරන මෙහි, අධ්‍යක්ෂවරයා ලිලන්ත කුමාරසිරිය. නිෂ්පාදන දායකත්වය සපයනුයේ ළහිරු මුදලිගේ සහ ප්‍රිහාන් මඩප්පුලිය.

ඉන්දියානු මෙගා ටෙලි විකාරයේ දෙවන විතැන්වීම වනුයේ අපේ ශිල්පීන් සහ ඉන්දියාවේ ශිල්පීන් එක්ව නිපදවනා එවන් ඝනයේම තවත් විකාරයක් දෙසටයි. එහි ඊළඟ පියවර ලෙසින් ලංකාවේ ජනප්‍රිය චිත්‍රකතා සහ නවකතා මෙගා ටෙලි වීමට පටන් ගනී. ස්වතන්ත්‍ර මෙගා ටෙලි පිටපතකින් මෙහි විශාල හැරවුමක් ඇති කරනුයේ මහේෂ් රත්සර මද්දුම ආරච්චි විසිනි. එහි සංවර්ධිත දිගුවකට මේ දිනවල සද්ධා මංගල සූරියබංඩාරද අත ගසා තිබේ.

"කණාමැදිරියෝ" ටෙලිනාට්‍යය තුළින් චාමර ප්‍රසන්න කොඩිතුවක්කු මෙහි කේන්ද්‍රීය සංධිස්ථානයක් වෙත පැමිණේ. ඒ දීර්ඝ ටෙලිනාට්‍ය කලාවේ අත්හදා බැලීමක්වත් සිදු නොකළ පරිසර සංරක්ෂණය වැනි විෂයක් ටෙලි පිටපතක් බවට පත් කිරීමෙනි. අපගේ ගීත සම්ප්‍රදාය "අනුභව" කළේය යන විද්වත් "පරිභව"යට ඉරාජ් වීරරත්නගෙන් පසුව හසුවනුයේ ළහිරු මුදලිගේය.

ඒ ඔහුගේ "හරි ක්‍රියේෂන්" හරහා මුදාහල "රිගිං ටෝන්" වර්ගයේ ගීත හේතුවෙනි. විටෙක ඔහුගේ නිවේදක වෘත්තිය පවා ඇතැම්හු "ගිරා පෝතක" වර්ගීකරණයේ ලා සැලකූහ. නමුත් ඔහු මෙවැනි ටෙලිනාට්‍ය පිටපතක් වෙනුවෙන් අවදානම් පිරිවැයක් දරද්දී, ඔහුව දෝෂ දර්ශනයට ලක් කළ විද්වත් සභා සියල්ල ඒ දෙස නෑසූකන්ව බලා සිටීම අවාසනාවකි.

"පිළිතුර ප්‍රශ්නය ඇතුළේමයි හොයාගන්නකෝ....

එළිය ළඟ තියන් එළිය හොයයි කණාමැදිරියෝ.."

මේ එම ටෙලිනාට්‍යයේ තේමා ගීතයෙන් කොටසකි. චතුර වර්ණසේකර රචනා කොට, සඳරුවන් ජයසිංහ සංගීතවත් කොට ඇති එහි ගැයුම ජූඩ් රොගන්ස් සහ සඳුන් පෙරේරා විසිනි. තරුණ පරම්පරාවේ ගීතය සහ ඔවුන්ගෙන් ගීත කලාවට වන අගතිය ගැන මර ලතෝනි දුන් කිසිවකු, ඒ පරම්පරාවෙන් කළ මේ උත්සාහයට ප්‍රතිචාරයක් හෝ නොදැක්වීම කියනුයේ නූතන විද්වත් විචාරයේ "නරිවාදම්"වල ස්වාභාවයයි.

මෙහි කතා තේමාව දිවෙන්නේ විද්‍යාව තාර්කිකව සහ මිථ්‍යාව පාරිසරිකව පහදන මහාචාර්යවරු දෙදෙනකු වටාය. දීර්ඝ ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිත දෙකක්, මෙවන් බැරෑරුම් විෂයක් සංවාදයට ලක් කරන දෙදෙනකු වීමම මෙම පිටපත තුළින් අධ්‍යක්ෂවරයාට කරන අභියෝගයකි. ලිලන්ත කුමාරසිරි එම අභියෝගයට ඉතා අපූරුවට මුහුණ දෙනුයේ, තමන් මෙතෙක් කළ යොවුන් ප්‍රේමය මූලික කරගත් ටෙලි කලාවෙන් ඔබ්බට ගොස් වෙනත් මානයක සිටය.

දීර්ඝ දෙබස්, බැරෑරුම් සංවාද, කුතුහලය සහ පැටලිලි සහිත සිද්ධීන් ඔහු මනාව හසුරුවා ගනී. ඒ සඳහා ඔහු කැමරාවෙන් සහ සංස්කරණයෙන් ඉතා සූක්ෂ්ම ලෙස ප්‍රයෝජන ගනී. කැමරාකරණයෙන් ඊට එක්වන පැතුම් ධනංජය සහ සංස්කරණ ශිල්පී තිලංක නිරංජන බංඩාරගේ ශිල්පීය නිපුණතාව වෙසෙසින්ම අගය කළ යුතුය. බොහෝ දීර්ඝ ටෙලිනාට්‍යයන්හි ඇත්තේ ආදර සටන්ය.

එහෙත් මෙහි ඇත්තේ විද්‍යාව සහ මිථ්‍යාව අතර ගැටුමය. මහාචාර්ය සෙනරත් පරණවිතාන එක තැනක සඳහන් කරනුයේ "මිථ්‍යාව කියන්නේ ජීවත්වෙන්න බය මිනිස්සු හැංෙගන ගොළුබෙලි කටුවක්" කියාය. තවත් තැනෙක මහාචාර්ය මහේන්ද්‍ර පළිපාන හඳහන් ගැළපීමේදී භාවිත කරන පාද, පක්ෂි, වෘක්ෂ යනාදී පාරිසරික ආමන්ත්‍රණ ඉතා අපූරුවට පැහැදිලි කරයි.

මීට දශක දෙක තුනකට ඉහත අප දැන හුන් බිංකුණ්ඩා, බත්කූරා, රැහැයියා, කණාමැදිරියා, මී මැස්සා අද අප අහන්නේ, දකින්නේ පොත පතිනි. කෝමාරිකා, වැල් පෙනෙල, හාතාවාරිය, තුඹ කරවිල, තැල් කොළ අපේ දරුවන් හඳුනන්නේද නැත. ගෙවතු අලංකරණය සඳහා යොදාගන්නා මල් පැළ, සංවර්ධිත ව්‍යාපෘති සඳහා ගෙන්වා බෝ කරන විදෙස් ශාක, වගාවන් සඳහා භාවිත කරන කෘෂි රසායන ද්‍රව්‍ය සිදුකරනු ලබන පරිසර හානීන් මෙම නාට්‍යය තුළ ප්‍රශ්න කරන ආකාරය විශ්මය ගෙනෙයි.

"චීනෙට කැනඩාවෙන් ඔක්සිජන් ගත්තා වගේ අපටත් දවසක කොළඹ ඉඳලා නුවරට ඇවිදින්න ක්‍රමයක් හොයාගන්න වෙයි..." පරිසරය සංරක්ෂණය නොකිරීමේ අනාගත ඛේදවාචකය නාට්‍යයේ දෙබසක එන්නේ එලෙසිනි. පරිසරය ගැන කථිකාවතක යෙදෙන නාට්‍යයකට වුවද, පවතින පරිසරයට අනුගත වීමෙන් මඟහැර සිටිය නොහැකි බව නාට්‍යයේ අවසන් කථාංග තුළ කෙමෙන් ඔප්පු වෙමින් පවතී.

එහි පෙර පැවති රූප රාමු අලංකාරය, දර්ශන තල භාවිතය, ක්‍රමික ගලා යෑම සම්මත මෙගා රීතියට ළං වෙමින් පවතී. මේ පරිණාමය පිටපත් රචකයා දැන සිටියාදෝයි ඔහු තැනෙක සටහන් කරන මේ දෙබසින් අපට හැඟේ. "මිනිහකුගෙන් ගුටිකාලා ඩිවෝස් වෙච්චි ගෑනියකුට, තඩිබාන්නැති මිනිහෙක් එක්ක ජීවත් වෙන්න බෑ..." එය එසේ වූවද ‘කණාමැදිරියෝ’ මෙගා ටෙලි අඳුරට තුනී එළියක් රැගෙන ආ බව අවිවාදිතය.

[ධනුෂ්ක බස්නායක]

මාතෘකා