මොකුත්ම කරන්න බෑ අම්මේ

 ඡායාරූපය:

මොකුත්ම කරන්න බෑ අම්මේ

බොහෝ කාලයක් වැඩ කළේ ප්‍රසව හා නාරිවේද වාට්ටු තුළයි. එහිදී ජාන විකෘති නිසා අවයව ඉන්ද්‍රිය නොවැඩුණු දරුවන් ගර්භණී කාලයේදී හඳුනාගන්නා නමුත් දරුවන් ප්‍රසූත කරනකම්, ඒ දරුවන් ඉපදී පැය කිහිපයකින් මැරෙනකම් අපට බලාගෙන ඉන්න සිදුවුණා. එයාලව ප්‍රකෘති නොකරන්නේ ජීවත් කරවන්න බැරි නිසාය.

ඒත්, මුල් කාලයේදීම කලලයේ විකෘති සහ මෙවැනි සංකූලතා හොයා ගත්තත්,

"ඔයාගේ දරුවා හරියට වැඩෙන්නෙ නෑ අම්මේ, එයා ඉපදුණාට ජීවත් වෙන එකක් නෑ"

කියන වචන ටික එක්ක, මාස 9ක් සම්පූර්ණ කරන්න ඒ අම්මලාට සිදුවෙනවා. මට එහෙම අම්මෙක් ගැන මතක් වෙනවා. අනික් අම්මලා ප්ලාස්ටික් කූඩවලට පොඩි ඇඳුම් අඩුක් කරගෙන එද්දි එයා බොහොම දුක පිරුණු මුහුණින් ඇඳකට වෙලා බලාගෙන හිටියා එයාගේ ජීවත්වෙන්නෙ නැති විකෘතිතා සහිත දරුවා බිහි කරන්න.

"ඊළඟ බබා එහෙම වෙන එකක් නෑ " අපි කියනවා.

"මම කොහොමද තව ළමයෙක් හදන්නේ හිත හදාගෙන, මට ළමයි එපා" ඇය ඇගේ තරහව, වේදනාව අප වෙතට පිට කරනවා.

"ඩොක්ටර් ඒ අම්මා නම් ඩිප්‍රෙස් වගේ" මිඩ් වයිෆ් මිස්ලා, නර්ස් මිස්ලා කොඳුරනවා.

ඔහේ බලාගත්තු අත බලන් ඉන්නවා. තරහ යනවා. විෂාදයට ලක් වෙනවා. අපි මනෝවෛද්‍ය ඒකකයට ලියනවා. " looks depressed" ඒත් ඒක එහෙම නොවුණොත් නේද පුදුමේ? මිනිස්සුන්ට මේ දුක දකින්න තරම් සංවේදී හෝ සානුකම්පිත විය නොහැකි ඇයි කියා මම නිතර හිතනවා. බොහෝ සංකූලතා හඳුනාගන්න තරම් තාක්ෂණය දියුණු වුණාට ඊට එහා යමක් කරන්න බැහැ.

එහෙම දරුවෙක් උපදිනකම්, ප්‍රසූතිකාගාරයේ සිටිය මොහොතකදී මම මෙහෙම ලීවා “හදවතක් අතේ දරාගෙන මම, මොළය රහිත දරුවෙක් ඉපදෙනකම් බලාගෙන ඉන්නවා, හදවත කම්පා වෙනවා, මම මේ වගේ අවස්ථාවල මගේ රස්සාවට දැඩිව වෛර කරනවා “

දරු ගැබට මාස නවයක් සපිරුණත්, අතපය, ඇඟ මේ සේරම වැඩිලා තිබුනත් මොළය වැඩුණේ නැති නිසා ඒ දරුවා ඉපදී පැය කිහිපයකින් මැරුණා.

"මොකුත්ම කරන්න බැරිද? " කියමින් තමන්ගේ උදරය දිහා බලමින් ඒ අම්මාද කන් කෙඳිරි ගෑ අයුරු මතක් වුණා.

"අපි මොකද කරන්නේ අම්මා, රටේ නීතිය අනුව අපිට අම්මගේ ජීවිතේට හානියක් වෙනවනම් මිසක කලලයක් ඉවත් කරන්න බෑනේ" කියන වෛද්‍ය මතය ඉදිරියේ "මගේ ජීවිතේට හානියක් තමයි " කියලා ඒ අම්මා අපිට කීවට ඒක බොහෝ අයට තේරුණේ නෑ කියලා දැන් මටත් තේරෙනවා.

නොවැඩුණු කලලයක් සමඟ ඒ අම්මා හඬමින් ගෙදර ගියා. ගෙදර ගිහින් එයා එකතු කරපු බඩු වීසි කරලා, යකා නටන්න ගත්තාම, කට්ටඬියෙක් ගෙනැවිත් නූල් බැන්දාලු. එයා කවදාවත් ආයෙමත් අපේ සායනයකට ආවේ නෑ.

"එයා කොහොමද සතුටෙන් ආයේ සායනවලට එන්නේ ? මට එහෙම හිතුණා.

දරුවා ප්‍රසූත කළාට පස්සේ ඒ අම්මා මාළුවෙක් සිහි ගැන්වෙන තමන්ගේ දරුවා දිහා බල බලා කෑ ගහලා ඇඬුවා. ඉන් පස්සෙ මම එයාව දැක්කේ මනෝ වෛද්‍ය සායනවලදී. ඒ අම්මාට දරුවා නැතිවීම දරා ගන්න බැරිවුණා.

එහෙම අම්මලා කොතෙකුත් හිටියා. එහෙම දරුවෝ කොතෙකුත් බිහි වුණා. ඉපදිලා දුක් විඳ මිය පරලොව ගියා. ඒත් එයාලා වෙනුවෙන් මොකුත්ම කරන්න බැරිවුණා. බොහෝ දුරට අපි ස්කෑන් පරීක්ෂණවලින් මේ සංකූලතා හඳුන ගන්නවා. ඒත් දැඩි සංකූලතා සහිත අය ජීවත් කරවන්න අමාරුයි. ඒ අය පැය කිහිපයක් ඇතුළත මිය යනවා. ඒක තමයි ඇත්ත.

ඒත් අම්මලා තාත්තලා එහෙම මැරෙන දරුවන්ට නමක් තියලා, නම රෙජිස්ටර් කරලා, පෙට්ටියක දාලා මිහිදන් කළ යුතු වුණා. අනික අපේ රටේ කැපකරු මාපිය ක්‍රමයක් හෝ හරි හමන් විදිහට ළමයි අරන් හදාගන්න ක්‍රමවේදයක් නෑ. අරන් හදාගන්න අයත් අරගන්නේ කිසිම ආබාධයක් නැති, ලස්සන දරුවෝ. ඔව්! ඒක තමයි කටුක යථාර්ථය. මේ ළමයි ඔක්කොම අන්තිමේ රජයේ ළමා නිවාසවල ගාල් වෙනවා. එහෙම දරුවෝ සැරෙන් සැරේ එයාලගේ ආබාධ නිසා අපේ රෝහල්වලට එවනවා.

ලංකාවේ පවුල් සෞඛ්‍ය සංවිධානය සහ ප්‍රසව හා නාරිවේද සංගමයේ වෛද්‍යවරුන් මේ නීති රීති වෙනස් විය යුතු බව දැඩිව අවධාරණය කරනවා. අතිශය මානුෂික වූ සානුකම්පිත ලෙසින් උපකාර කළ යුතු සමාජ ප්‍රශ්නයක කෙළවරක් නොමැති කම නිසා මේ අම්මලා දරුවන් දුක් විඳිමින්, ජීවිතේ නැති කරගන්න තරම් හිතද්දිත් අපි කොහොමද මේ කඳුළු දැක දැක, “ඕක ඕගොල්ලොන්ගෙ කර්මය, ඒ දුක විඳගන්න” කියලා කියන්නේ?

[වෛද්‍ය බෝධිනී සමරතුංග]

මාතෘකා