බොන්සයි සහ ආත්ම තෘප්තිය

 ඡායාරූපය:

බොන්සයි සහ ආත්ම තෘප්තිය

බොන්සයි සඳහා ගසක්/ පැළයක් තෝරාගැනීම ප්‍රවේශමෙන් කළ යුතුය. ඇතැමෙක් ඕනෑම ගසක් බොන්සායි කිරීමට උත්සාහ කරන තත්ත්වයක් පෙනේ. නමුත් බොන්සයි සඳහා තෝරාගන්නා ගසක හොඳින් අතු බෙදී තිබිය යුතුය. කොළ කුඩාවට වැඩුණු ගසක් වීමත් ‍යම්තාක් දුරට වැදගත් වේ. කඳ රළු ගැට සහිත වයෝවෘද්ධ පෙනුමක් ගෙන තිබේ නම් එයද වටී. තරමක් මහත් වී තිබීම, උසට වඩා මහත්වී තිබීමද සුදුසුකමකි. අරටුවක් සහිත ශාකයක් වීම අනිවාර්ය කරුණකි. විශාල වන ගසක පැළයක් වීමද එක් අමතර සුදුසුකමකි. තවද ආයුකාලය වැඩි ගසක් විය යුතුය. පැළයක් වර්ධනය කරනවා නම් එය යම්දුරක් වැඩුණු පසු කප්පාදු කිරීමෙන් නව අතු සහ බලාපොරොත්තුවන හැඩයට සකසා ගත හැකිය. පැළයක් යොදාගන්නවා නම් එය අවම වශයෙන් පැන්සලක ප්‍රමාණයකට වැඩුණු කඳක් සහිත වනතුරුවත් සාමාන්‍ය බඳුනක පුරුදු පුහුණු කළ යුතුය.

නිවැරදි කප්පාදුව මඟින් නිසි පරිදි අතු විහිදුණු අලංකාර ගසක් ලබාගත හැකිය. නැතහොත් එය පඳුරක් බවට පත්වේ. නිසි පරිදි අනවශ්‍ය අතු ඉවත් කර නියමිත හැඩයකට කඳ සකසා ගැනීමෙන් නැවත එන කුඩා අතු සහ ගසේ නිමාව නීති රීතිවලට අනුකූලව හා කලාත්මකව හැඩගැසේ.

ගසක් කප්පාදු (Cut off) කිරීමේදී නැවත අතු ලියලීම, බොන්සයි කලාවට අනුකූල වීම සහ ක්‍රමයෙන් සිහින් වන (Taper) හැඩය පවත්වා ගැනීම සලකා බැලිය යුතුමයි.

වයර් කිරීමට ප්‍රථම අත්‍යවශ්‍ය කරුණක් වන්නේ ගසක් අනෙකෙකුට පෙනෙන ආකාරයයි. එනම් ගසකට මුහුණතක් තිබිය යුතුය. අතු බෙදීමේදී පළමු අත්ත දකුණට හෝ වමටත් (ඉදිරියේ සිට) දෙවනුව ඊට විරුද්ධ දිසාවෙනුත් තෙවැන්න පිටුපසින් එම අතු දෙකට අතර මැදින් ලෙසත් පිහිටිය යුතුය. පහළම පිහිටි අත්ත අනෙක් ඒවාට වඩා විශාල වීමත් සලකා බැලිය යුතුය. මෙහිදී පහළම අතු කිහිපයේදී ගසේ කඳ නොවැසෙන සේ අතු හැඩ ගැන්වීම කළ යුතුය. ඉහළම අතුවලදී ප්‍රායෝගික විය නොහැකි නමුත් ජපන් බොන්සායි රීතියක් ලෙස ඉදිරි පෙනුමට කඳ දිස් විය යුතුය. කඳේ මෙන්ම අතුවල පිහිටීමේදීත් ක්‍රමයෙන් සිහින් වන taper පෙනුම අවශ්‍ය කරුණක් නිසා පහළම අතු උඩ අතුවලට වඩා දිගින් වැඩිවී ගසේ ක්‍රමයෙන් සිහින් වන හෙවත් කෝණ හැඩයට බලපෑම් කරයි.

බොන්සයි නිර්මාණයක හැඩය හා අලංකාරය රඳා පවතිනුයේ වයර් කිරීම මතය. වයර් සඳහා, තඹ හෝ ඇලුමීනියම් කම්බි (මළ නොබඳින) යොදාගත හැකිය. වයර් කිරීමේ ප්‍රධාන පරමාර්ථය නම් ගසේ අතුවල පිහිටීම අඩු ස්ථානවල හිඩැස් පිරවීම, අතුවල ස්වභාවය මේරූ පෙනුමකට ගැනීම හා සමස්ත නිර්මාණයේ කලාත්මක බව පෙන්වීමයි. වයර් කිරීමේදී ගසේ ඉහළම කොටස මැද කොටස හා පහළම කොටස ලෙස කොටස් තුනකට බෙදාගත හැකියි. එහිදී පහළම කොටස පොළොවට සමාන්තරව හෝ මඳක් පහළට නැවෙන ආකාරයට නැවීම කළ යුතුය. මැද කොටස පහළ කොටසට වඩා මඳක් අඩුවෙනුත් තෙවන ඉහළම කොටස මඳක් උඩට සිටින සේත් වයර් කිරීම කළ හැකිය. නමුත් උඩම අතු සියල්ල එකම මට්ටමකින් පිහිටා සියලු අතු ඉහළට හැරී තිබීමෙන් පඳුරක හැඩයක් ඒම වැළැක්විය නොහැකිය.

ඉහළම අතු සකස් කිරීමේදීත් පෙර පරිදි එක් එක් දිසාවන්ට හැරුණු අතු සකසාගැනීම අනිවාර්ය කරුණකි. එකම වෙනස නම් පහළ අතු පිහිටි දුරට වඩා ළඟ දුරකින් ඉහළ අතු පිහිටීමයි. ගසේ උඩ මැද සහ පහළම කොටස් මැනීමට මිනුම් දඬු අනවශ්‍ය වන අතර මනෝමයෙන් එය බෙදාගත හැකියි. අවශ්‍යමනම් මිනුමක් භාවිත කළ හැකිය. කෙසේ වෙතත් හැඩගැන්වීම සඳහා කලාත්මක ඇසක් සකසාගත යුතුය.

බොන්සයි ශිල්පියකු වීමට සිහින දකින්නකු යම් යම් ගුණාංග සපුරාගත යුතුය. ඉවසීම එහි ප්‍රධාන තැනක් ගනී. කරුණාව, දයාව, කැපකිරීම, නිරහංකාර වීම වැනි මානුෂීය ගුණාංගද ඒ හා සමානවම ප්‍රගුණ කළ යුතු වේ. ඕනෑම කලාවක් හදාරන්නට ඒවා ඉවහල්වන අතර බොන්සයි ඉන් ප්‍රමුඛය. බොන්සයි යනු ඉතා වටිනා මානසික චිකිත්සාවකි.

අප බොන්සයි කලාවට යොමුවන්නේ මුහුකුරාගිය වයසින් වුවද ජපනුන් සිය දරුවාට මේ අාධ්‍යාත්මික කලාව ලේ නහර ගත කරන්නේ පුංචිම අවධියේය. දරුවාට ඈත පෙනෙන විශාල ගසක් පෙන්වා එය තැටියක නිර්මාණය කර දෙන ලෙස ඉල්ලීම් කරන්නේ පරම්පරාගත සිරිතක් ලෙසටය. එදා පටන් දරුවා පුංචි පැළයක් තෝරාගෙන උක්ත ගස නිර්මාණය අරඹයි. කලින් කලට පියා, දරුවා රූස්ස ගස පේන මානයට ගෙන ගොස් ඔබේ ගස ඈත පේන ගසට කොතරම් සමීපදැයි විමසයි. කාලයාගේ ඇවෑමෙන් දරුවා තරුණියක තරුණයකු බවට පත්වන්නේ ඈතින් පෙනුණ රූස්ස ගස තැටියක පිහිටුවාගෙනය. ඔහු හෝ ඇය දැන් ප්‍රතිභා පූර්ණ බොන්සායි ශිල්පියෙකි. විවාහයේදී තරුණියකට නම් දෑවැද්ද ලෙස ලැබෙන්නේ එම බොන්සයි නිර්මාණයයි. එමඟින් පරම්පරාවෙන් පරම්පරාවට මේ උතුම් කලාව උරුම වෙයි.

[ඩෙස්මන් සී. හේරත්]

මාතෘකා