අම්මෝ එතුමගේ පාට!

 ඡායාරූපය:

අම්මෝ එතුමගේ පාට!

අම්මෝ එතුමගෙ මූණෙ පාට! සෝසම සෝස පාටයීඊඊඊ.. දෙයියනේ බලන්න එපායැ ලස්සන උස මහත තේජවන්ත පෙනුම..රැවුළ කොහොමද.. හම්මෝ පපුවෙ පළල. පුට්බෝල් පිට්ටනියක් වගේ.. මහාවංසෙත් ලියලා තිබ්බලු එතුම ගැන. දැක්කත් බඩ පිරෙනවා... අනී අපේ නායකතුමා... වැඩක් නොකළත් මොකෝ අනේ ලෝකෙට අපේ ලොක්කා කියල පෙන්නුවැකිනෙ... අනී බලන්න අපේ නායකතුමාගෙ සරලකම නේද? යන්නෙ හංදියෙ ත්‍රීවිල් එකේ. අඳින්නෙ සරම. චූං පාං එකෙන් පාං ගන්නෙ. බලන්නකො එතුමා අපේ ගමට ඇවිල්ලා පහළ ගෙදර කුසුමාවතී අක්කගෙ හරකා දාපු ගොම ඔක්කොම අතින් අයින් කළේ. ගංවතුර වෙලාවෙ ඇවිල්ලා කරවටක් වතුරෙ බැහැලා ගුණසෝමලෑ බල්ලව උස්සගෙන ගිහින් එගොඩ කළේ... ගෙදරත් හොට් වෝට සවර් නෑලු. අමුඩෙ ගහන් පූල් එකෙන් බාල්දිය දාලලු නාන්නෙ.

හුහ්... එතුමා එක්ක එව්වා බෑ. දහයක් උනත් මරලා වැඩේ කරන මරු බුලට් එක. එක එකාව නළවන්නෑ.. මොන ප්‍රජාතන්ත්‍රවාදද ඩෝ. මුඩුක්කු ටික කඩන්න ආවා. ලොක්කා ටිංකර් සමන්ව ඉස්සුවා. ඔය ගියේ දැන් උන් ටික බල්ලො වගේ. සමනවනං කපලා මූදෙ දාන්නැති.. මැරුවම මොකෝ බං වැඩ වෙනවනං. බලන්නකො දැන් වර්ජන පිකටිං තියනවද කියලා. මීඩියා කාරයො නටන්නෙත් නෑ අරූට ෂොට් එක දුන්නට පස්සෙ...

ඔය ‘ටසිරිලක’ වාසීන් අනාගතය තීරණය කරගැනීම සඳහා නායකන් තෝරා ගැනීමට අනුගමනය කරන ක්‍රියාපිළිවෙළය. වෙන දියුණු රටවල්වල උන් බලන්නේ නායකයාගේ ප්‍රතිපත්ති මොනවාද, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඔහුට ඇති හැකියාව කොමපණද? ඔහු අපරාධකාරයෙක්ද? නීතිගරුක පුරවැසියෙක්ද? ඔහු මීට පෙර පැවරුණ වගකීම් නියමිත පරිදි ඉටු කර තිබෙනවාද...? අන් මත ඉවසන්නෙක්ද? ඇහුම්කන් දෙන්නෙක්ද? තමන්ගේ විරුද්ධවාදීන්ට ඔහු ප්‍රතිචාර දක්වන්නේ වචනෙන්ද-පෑනෙන්ද- උණ්ඩෙන්ද? හිරේ දාලද..? ඔහු හණමිටි අදහස් දරන්නෙක්ද? නවීන ලෝකෙට ගැළපෙන නවීන අදහස් දරන්නෙක්ද..? හොරෙක්ද? දූෂකයෙක්ද? ඔයාදී දේවල්ය.

ඒකට අපේ උන්... එක්කෝ උන් බලන්නේ කඳ -බඩ- පපුව- රැවුළය. ලොකු රැවුළක්, බඩක් තිබීම හා රට පාලනය අතර සම්බන්ධය මොකක්ද කියන එක තාම තේරෙන්නේම නැත. උන් හිතන් ඉන්නේ සරම ජාතික ඇඳුම ඇඳගෙන මල්වට්ටි උස්සන් ආවම රටට හරියයි කියාය. ලංකාව පාලනය කළ බොහෝ නායකයන් ඇන්දේ රෙද්ද බැනියම වන අතර හැබැයි තාමත් අපි ජීවත් වන්නේ අරාබියට අම්මලා විකුණලාය. තව උන් හිතන් ඉන්නේ නායකයා යනු හංදියෙ කඩපිලේ මඩේ ගොඩේ හැම අස්සේම රිංගා චූංපාං කමින් වක්කඩෙන් අතහෝදගෙන රෝස් පානුයි කරෝල හොද්දයි එක්ක කෙහෙල් කොළේ බත්කන කෝච්චියෙ එල්ලී ගමන් යන ගුණවතී ආච්චි එක්ක සෙල්පි ගහනා සරල උන් නායකයො කියාය. ඔව් අපි ඒක ගැන කතා නොකර ඉමු. තව සමහරක් හිතන් ඉන්නේ නායකයා යනු ත්‍රස්තවාදියෙක් කියාය. මිනීමැරුවට කමක් නෑ රට හදනවනං කියන්නේ ඒ වගේ හරකුන්ය.

ඉතින් අපේ රට ඉන්දියන් සාගරේ නොගිලී මෙහෙමවත් තියන එක ගැන පුදුම නොවී කොහොමද... නායකයෙක් කියන්නේ දැක්මක් ඇති මිනිහෙකි. නායකයෙක් මල් වට්ටි උස්සාගෙන පන්සල් යන්න ඕනෙමය කියා නීතියක් නැත. හොඳටම බැලුවොත් බලාගන්න පුළුවන් රටේ මිනිස්සු අතර ජනප්‍රිය සංස්කෘතියේ අංගවලට වැඩි අවධානයක්දී ඒ පසුපස යම් නායකයෙක් එලවනවානං ඔහු හොරෙක් වීමේ සම්භාවිතාව ඉතා ඉහළය. ඔය මිනිස්සු එක්ක කුඹුරු කොටන, හරක් බලන, රෝස්පාං ගන්න, මල්වට්ටි උස්සන් යන බහුතරයක් ඒ වගේ උන්ය. ලින්කන් නළුවෙක් මෙන් ලස්සනක් නැත... ලින්කන්ගේ බිරිඳම ඔහුට වඳුරෙක් කියා බැන වැදී ඇත. ලින්කන්ගේ දිග කලිසම ඇන්දේ කොටටය. පිළිවෙළට ඇන්දේ නැත. හැබැයි ලින්කන් අදටත් අමරණීයය. ලී ක්වාන් යූ වැඩිය උස නැත. පල්ලි ගානේ ගියේ නැත. ජාතිවාදෙ අවුස්සා අහවල් ජාතිය මට ලොකුයි කිව්වේ නැත. අම්මෝ සිංගප්පූරුව තාම දුප්පත් මං සරලයි කියා නැටුවේ නැත. ඔහු ඔහුගේ වැටුප ජනාධිපතිවරයෙකුට සරිලන ලෙස වැඩි කරගත්තේය. නමුත් සිංගප්පූරුව අද තියෙන්නේ එහෙමය. හොඳ නායකයෙක් වෙන්න මිනීමරන්න ඕනෙ නැත. නීතියට පිටින් මිනී මරු ඒකක නඩත්තු කරන්න ඕනෙ නැත. ඒක සාධාරණීකරණය කරන්නට හැකිවන්නේ මිනීමරුවන්ටම පමණකි. රටේ නීතියට එකඟව තමන්ට පැවරුණ රාජකාරිය ඉටු කරන්න බැරිනං ඔහු හොඳ නායකයෙක් වන්නේ නැත. ඔහු විරුද්ධවාදින් මර්දනය කරන්නේ උණ්ඩෙන් හෝ සිරගත කරනං ඔහු හොඳ නායකයෙක් වන්නේ නැත. සරලවම කියනවානං ඔහු තමන්ට පැවරුණ රාජකාරිය ඉටු කරන්නේ ලේ මතින් නම් ඔහු බහිරවයෙක් රීරි යකෙක් විනා නායකයෙක් හෝ පොරක් වන්නේ නැත. ඔවුන් හදන රටවල් විනාස වෙද්දී විනාස වෙන්නේ උල්කාපාතයක් වැටුණාට වඩා දරුණු ගණයේ ම්ලේච්ඡ ලේ වැගිරීමකින් බවත් මතක තබා ගන්න. ආදිකාලේ උන් මිනීමැරුවට කමක් නෑ රට හැදුවනෙ කිව්වාට දැන් එහෙම එකක් නැත. ලෝකෙ සහ මිනිස්සු ඊට වඩා ගොඩාක් දියුණුය.

ඒ නිසා හීන වලින් මිදෙන්න. නායකත්වය තියෙන්නේ ඔබ හිතනා තැනින් ගව්ගාණක් ඉදිරියෙන්ය.

[සුජිත් ප්‍රියන්ත]

[චමල් අකලංක පොල්වත්තගේ]

මාතෘකා