තව මොනවාද නිකං දෙන්න පුළුවන්? | ඇස පාදන රැස


තව මොනවාද නිකං දෙන්න පුළුවන්?

 ඡායාරූපය:

තව මොනවාද නිකං දෙන්න පුළුවන්?

ආණ්ඩුව තවත් ලක්ෂ ගණනකට සමෘද්ධි සහනාධාර දෙන්නට යන බවට වන කසුකුසුවක් අසන්නට ලැබීමි. සතුටුය. අප්‍රමාණව සතුටුය.

තව තවත් සහනාධාර ලබා දී, මුළු රටම රජයේ නොමිලේ දීමනා වලින්ම යැපෙන රාජ්‍යයක් වී සියල්ලෝ සැපෙන් සනීපයෙන් ‘ආතල් එකේ’ ඉන්නේ නම් ඒ තරම් ප්‍රීතියක් වෙන කොහෙන්ද? ඉනුත් නොනැවතී, මුද්‍රණ ආයතන වෙත මහා පරිමාණ ටෙන්ඩර් දී මුදල් අච්චු ගැසීම විමධ්‍යගත කළ යුතුය. එතකොට සියල්ලන්ටම මුදල් කොළ මත පිණුම් ගසමින් සතුටින් ජීවත් විය හැක. වුවමනා වන්නේ, ඊළග ඡන්දය ඉහළින්ම දිනීම නම් ඒකත් කර ගත හැකි වනු ඇත.

මේ රටේ අනාගතය. රජයක් සිය රාජ්‍යයේ ජනතාවගේ සුභසාධනය සම්බන්ධයෙන් මැදිහත් විය යුතුය. එහි කිසි තර්කයක් නැත.

නමුත්, අප වැනි තත්ත්වයක ඉන්නා රාජ්‍යයන්ගේ ආණ්ඩු ඒවා කළ යුතු සීමාවක් තිබිය යුතුය. සමෘද්ධි හෝ වේවා ජනසවිය හෝ වේවා, ආණ්ඩු විසින් හඳුන්වාදෙන මෙම වර්ගයේ දාන පාරමිතා ඕනෑවට වඩා ප්‍රමෝට් කිරීම රටක දියුණුවට උචිත නොවන බව පෙනේ. ආණ්ඩු කළ යුත්තේ ඒවා වෙනුවෙන් ජනතාව දිරිමත් කිරීම නොව, ජනතාව ඒවාට වෛර කරන, ඉන් දුරස් වන තත්ත්වයට පත් කිරීමය.

සමෘද්ධිලාභියෙක් වීම ලැජ්ජාවට කාරණයක් බවට පත් කළ යුතුය. සහනාධාර ලබන්නෙකු වීම අසරණයින්ගේ සංකේතයක් කළ යුතුය. කළ යුත්තේ, උපයා ගැනීමට හැකි මිනිසෙක් වීමට අවශ්‍ය වේදිකාව තනා දීමයි. ඊට උනන්දු කිරීමයි. ඒ මිනිසුන් අගය කිරීමයි. නිදසුනක් ලෙස, ගොවියාට අවශ්‍ය ජලය ආණ්ඩුව නොමිලේ දිය යුතුය.

පොහොර ටිකට සහනාධාර දිය යුතුය. බීජ නොමිලේ හෝ ලාභදායී මිලට ලබාදිය යුතුය. වෙනත් සේවා හා භාණ්ඩ වෙනුවෙන් සහන දිය යුතුය. අවසානයේ දී අස්වනු නෙළාගත් පසු, ආණ්ඩුව ඒවා ගොවියා තෘප්ත වන මිලකට මිලදී ගැනීම ද කළ යුතුය. සංසාර චක්‍රය වාගේ දශක ගණනාවක් තිස්සේ මේ චක්‍රය නොනැසී සිදු වෙමින් තිබේ.

වී අල බතල වට්ටක්කා ළූණු මිරිස් ආදී හැම එකකම තත්ත්වය එයයි. සහනාධාර යැපුම් ක්‍රමය මහපොළවේ තිබෙනා තාක්කල් ගොවියෝ ඔළුව උස්සන්නේ නැත. ආණ්ඩුවට ඔළුව උස්සන්නටද නොහැකිය. පාසල් හෝ සරසවි ශිෂ්‍යයින්ට පෙළපොත්, නිලඇදුම් හෝ වෙනත් පාසල් උපකරණ නොමිලේ දීම වෙනම කතාවකි.

ආර්ථික අපහසුතා හේතුවෙන් අධ්‍යාපනයෙන් දුරස්වීම වළක්වා ගැනීම වෙනුවෙන් පාසල් දරුවන් වෙනුවෙන් කෑම බීම ආදී සියලු පහසුකම් දුන්නත් කමක් නැත. ඒවා වියදමකට වඩා රටකට ආයෝජනයකි. නමුත්, වැඩිහිටි ගැහැනුන්ට පිරිමින්ට මුදල් දොළපිදේනි දීමේ ඇති අනාගත ආයෝජනය කුමක්ද?

ඔවුන් ඉන් මිදෙන්නේ කවදාද? පිනට කෑම හුරු වීමේ නරකතම ප්‍රතිඵලය වන්නේ එය පාරම්පරික පුරුද්දක් හා උරුමයක් කර ගැනීමයි. මෙහි ඇති අනෙක් අවුල ඉතා භයානක සහ පීඩාකාරීය. ලෝකයේ හතර වටේ හැම තැනකටම සත පණහ රුපියලේ සීමාවේ සිට මිලියන් බිලියන් ගණන් දක්වා ණය වී සිටින රටකි. ඒවා ගෙවිය යුතුය.

ඒ අතර වාරයේම රට ඇතුළේ ඉන්නා සහන දිය යුතු හා නොයුතු කප්පරක් පිරිසට එක එක වර්ගයේ සහනාධාර හා දීමනා දෙයි. ඒවා වෙනුවෙන් වියදම් කළ යුතු මුදල අති විශාලය. මේ සියලු වියදම් පියවීමේ වගකීම ඇත්තේ හම්බ කරන’ ජනතාවටය. වැඩ කරන ජනතාවටය.

අවුරුදු දහතුනක් පාසල් ගොස්, උසස් අධ්‍යාපනයක් හෝ වෘත්තීය අධ්‍යාපනයක් ලබා ඒ හරහා ඉහළ නිපුණත්වයක් අතකර ගත් මිනිස්සු ඉහළ ආදායමක් උපයති.

තමාගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කළ මිනිස්සුන්ට සාධාරණයක් ඉටුකිරීමේ කරුමයට වාගේ ඔවුන්ට ආපස්සට උපයන විට ගෙවන බදු, කන විට ගෙවන බදු, බොන විට ගෙවන බදු, වැසිකිලි බදු, ආශ්වාස බදු ප්‍රාශ්වාස බදු ආදී හැටහුටහමාරක් බදු ගෙවයි.

නමුත්, පුළුවන් කාලයේ යමක් ඉගෙන නොගත්, වෘත්තීය නිපුණත්වයක් ලබා නොගත්, හරිහමං ආදායමක් උපයා ගැනීමට මහන්සි නොවූ මිනිස්සු අර මිනිස්සුන්ගෙන් එකතු කර ගත් බදු සල්ලි මාස්පතා බැංකු ගිණුමකට දමා ගනිති.

කාලයෙන් කාලයට, ‘වැඩි කරපියව්’ කියා ආඩම්බරයෙන් ඉල්ලයි. එතකොට ආණ්ඩුව, ‘බදු ඉහළට’ කියා හෙඩිමක් දමා කීයක්හරි එකතු කරගෙන‘වැඩි කරා’ කියා හෙඩිමක් දමයි. පිළිගත්තාත් නැතත් මේ ආමන්ත්‍රණය කරන්නේ ඡන්ද පදනමයි.

දේශපාලනඥයින් ඊළග ඡන්දය ගැනත් රාජතාන්ත්‍රිකයින් අනාගත පරම්පරාව ගැනත් සිතන බවත්, අපි දේශපාලනඥයින් නොව රාජතාන්ත්‍රිකකයින් යැයි ස්වයං පිදුම් ලැබීමකින් බලයට ආ ආණ්ඩුවක සාමාජිකයින් දැන් හොයන්නේ ‘තව මොනවාද නිකං දෙන්න පුළුවන්’ කියා මිස, ඊළග පරම්පරාව ගැන නොවන බවත් ප්‍රත්‍යක්ෂ සත්‍යයකි.

[භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්]

මාතෘකා