රිය අනතුරින් මුලටම වැටෙන යතුරුපැදි

 ඡායාරූපය:

රිය අනතුරින් මුලටම වැටෙන යතුරුපැදි

අවුරුදු විස්සක් තරම් ඈතක සිට රිය අනතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නොවෙනස්ව ඇසුණු ඇත්තක් වෙයි. ඒ සෑම පැය අටකට වරක්ම ශ්‍රී ලංකාව තුළ දී රිය අනතුරු හේතුවෙන් අයෙක් මිය යෑමේ ඛේදවාචකයයි. එහෙත් මේ වනවිට එය අලුත්ව තිබෙන්නේ කලින්ටත් වඩා තැති ගන්වන සුළු අන්දමටය. එනම් සෑම පැය තුනකටම වරක් අයෙක් රිය අනතුරක් හේතුවෙන් මිය යන බවටය.   
මේ කරුණ නිරන්තරයෙන් කතාබහට ලක්වන්නකි. පසුගියදා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩද අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි රථ සංඛ්‍යාව ගෙන හැර පාමිනි. වෛද්‍යවරයා එහිදී කියා සිටියේ මේ වනවිට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි රථ වාහන සංඛ්‍යාව ලක්ෂ හැත්තෑ අටක් පමණවන බවය. ඉන් ලක්ෂ තිස් හතකටත් වඩා වැඩි ප්‍රමාණයක් යතුරු පැදි වීමත් හෙතෙම වැඩි අවධානයක් යොමුකළ කරුණකි.  
පසුගිය වසර ගණනාවක මාරක රිය අනතුරු සලකා බලන විට එය එසේවීමේ පුදුමයක් නොවේ. එම අනතුරුවලට මුහුණ පා තිබුණු රථ අතුරින් බහුතරයක් යතුරු පැදි අනතුරු වීම ඊට හේතුවකි. එසේම ඒවා බොහොමයකදී පසු පැදිකරු විසිවී ගොස් බිම ඇද වැටීම, ඒ නිසා ගෙල පිටුපසට වන්නට සිදුවන තදබල වැදීම් හේතුවෙන් මරණ සිදුවීම් සම්බන්ධයෙන්ද නිතර ඇසේ.   
මේ පිළිබඳ අවධානය යොමුකරන බලධාරින් පෙන්වා දෙන වැදගත් කරුණක් තිබේ. ඒ දැනට යතුරු පැදිකරුවන් බොහොමයක් භාවිත කරන හෙල්මට්වල ප්‍රමිතියක් නැති කමය. ඒවා සවි ශක්තිමත් නොවන බවම ඉන් අදහස් නොකෙරේ. ඊටත් වඩා ගැටලුකාරී වී ඇත්තේ ඒවායේ පසුපස කොටස කෙටි වීමය. දැනට වෙළෙඳපොලේ පවතින එවැනි ආරක්ෂිත හිස් වැසුම් බොහොමයක් පරික්ෂා කොට බැලූ විට ඒ බව තහවුරු වූ බවත් වෛද්‍ය කෝදාගොඩද පවසයි.  
මෙසේ ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සිටියදීත් ගෙල පිටුපසට වන දැඩි හානි නිසා මියයාම නවතාලිය හැකි කරුණකි. ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් ගනු ලැබූ පියවර රැසක් තිබෙන බව බලධාරිහු කියති. ඒ අනුව මෑතකදීම ගෙන තිබෙන පියවරකි, ප්‍රමිතිගත ආරක්ෂිත හිස් වැසුමක් යතුරු පැදිකරුවන්ට නියම කිරීම. මේ සම්බන්ධයෙන් දැනට ගනු ලැබූ පියවර රැසක් ඇති බව ද බලධාරිහු කියති. ඒ අතර සියලු ප්‍රමිතිගත නොවන හෙල්මට් ක්‍රම ක්‍රමයෙන් වෙළෙඳපොලෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම එක් පියවරකි. ඒවා වෙළෙඳපොලෙන් ඉවතලෑමට කටයුතු කරන අතරේ අලුතින් වෙළෙඳපොළට එකතු කිරීමට බලාපොරොත්තුවන හෙල්මට් සම්බන්ධයෙන්ද ඔවුහු පැහැදිලි කරති.   
ඒ අනුව නව හෙල්මටය ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ සහතිකය ලද්දක් විය යුතුමය. එහෙත් මෙතෙක් රටේ පැවැතියේ එවැනි සහතිකයක් නොලැබූ විවිධාකාරයේ හෙල්මට් වග ඒ අනුව හෙළිදරව් වන තවත් කරුණකි. ඒ කෙසේ වෙතත් මින් ඉදිරියට යතුරු පැදිකරුවන් සම්බන්ධයෙන් එවැනි අවදානමකට ඉඩ නොතබන බව බලධාරිහු පවසති. ඒ වෙනුවෙන් ඉදිරියේදී තදින් සිටින බවත් ඔවුහු කියති.   
සැබැවින්ම යතුරු පැදි සම්බන්ධයෙන් එය එසේ වනවිට ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් ද අඩු තක්සේරු කළ නොහැකිය. දැනට ශ්‍රී ලංකාව තුළ එකොළොස් ලක්ෂ පනස් දහසක් තරම් ත්‍රීරෝද රථ සංඛ්‍යාවක් ලියාපදිංචි කොට ඇත්තේය. ඉන් සුළු ප්‍රමාණයක් මගී ප්‍රවාහනයේ නිරත නොවිය හැකිය. එහෙත් වැඩිමනක් මේ මොහොතේදීත් ධාවනයේ නිරතවණු  ඇත්තේය. ඒ හරහා ගමන් පහසුව සලසා ගන්නා මහජනතාවද සුළු පටු නොවන්නේය. ඒ බොහෝ දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් බලධාරින් ගනු ලැබූ පියවර සම්බන්ධයෙන්ද අසන්නට නැතිවාම නොවේය.  
 බොහෝ ත්‍රීරෝද රථවල සුක්කානම් සකපෝරු කොට තිබීම ඒ සම්බන්ධයෙන් නිතර ඇසෙන්නකි. මේ හේතුවෙන් ඒවා වඩාත් ඉක්මනින් පෙරළී යාමේ සහ අනතුරුවලට ලක්වීමේ අවදානම වැඩිව තිබෙයි. අලුතින් ලංකාවට ගෙන්වන ත්‍රීරෝද රථවල සුක්කානම එසේ සීරු මාරු කළ නොහැකි වන පිරිදි මුද්‍රා තබා තිබීම එවැනි එක් පියවරකි.  
පසුගියදා කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක ද එතරම් කතාබහට ලක්ව නැති නමුත් වැදගත් කරුණක් අවධාරණය කළේය. ඒ නින්දෙන් ගෙරවීම සම්බන්ධයෙනි. විශේෂයෙන් එය රියදුරන්ගේ අවධානයට ලක්විය යුත්තක් බව හෙතෙම කීය. ඒ අනුව ස්ථුලතාව නින්දෙන් ගෙරවීම වැඩිවීමට හේතුවකි. එවිට දිවේ අධිකව තෙල් තැන්පත් වීම සිදුවෙයි. එය දිව විශාල වීමට හේතුවකි. එසේ දිවෙහි පරිමාව විශාල වීම රාත්‍රි නින්දට බලපෑම් කරයි. ඒ නින්දේදී අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය නිසියාකාරව නොලැබීම හේතුවෙනි. මෙසේ ශ්වසන මාර්ගයේ ඇතිවිය හැකි අවහිරතා මොළයටත් බලපායි. එය දහවල් කාලයේ නින්ද යාමට එක් හේතුවක් බව වෛද්‍ය පර්යේෂණවලදී හෙළිව තිබේ. විශේෂයෙන්ම රියදුරකු සම්බන්ධයෙන් එය එසේ වීම අවදානම්කාරි බව වෛද්‍යවරයා අවධාරණය කළ කරුණකි. 

මාතෘකා