නැවත අපි ඒ ළිඳ කණිමු!

 ඡායාරූපය:

නැවත අපි ඒ ළිඳ කණිමු!

මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ ජාතිවාදී ගැටුම ඇසූ සැණෙහිම මට හැඟුණේ එය කෙතරම් ඛේදනීය නොදැනුවත්භාවයක්ද යන්නය. ‘සිංහබාහු’ නාටකයේ සිංහබාහු පියා ඝාතනය කරනුයේ තම පියා අවබෝධ කර නොගැනීම තුළය. මෙහිදී සිදු වන්නේද එයමය. දිගන කඩ ගිනි ගැනීමේදී දැවී මියගිය විසිහත් හැවිරිදි මොහොමඩ් බාසිත්ගේ ෆේස්බුක් ගිණුමේ තේමා පාඨය මෙබඳුය: One Team One Nation. ඔහු පෙනී සිට ඇත්තේ එක් කණ්ඩායමක් වෙනුවෙනි. එක් ජාතියක් වෙනුවෙනි. එහෙත් ඒ බව අපට නොපෙනුණි. ඇත්ත වශයෙන් සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා මේ රටේ අප හැම දෙනාටම ඇත්තේ එකම හැඟීම්ය. එකම අභිලාෂය. එකම ජීවිත අතෝරයන්ය. මෙහිදී මා අත්දුටු සිද්ධියක් ඉදිරිපත් කරමි:  
පසුගියදා මගේ පුතා කොළඹ වෙස්ලි විදුහලට ඇතුළත් කිරීමට ඉන් නිකුත් කරන අයදුම්පත ගැනීමට මම එහි ගියෙමි. එය පෑ ගණනක දිගු පෝළිමකි. නිකරුණේ පෝළිමේ සිටීමේ දුෂ්කරතාව නිසා මම අසල සිටි අයෙකු හා කතාවට වැටුණෙමි. ඔහුද පැමිණ තිබුණේ තම පුතුට අයදුම්පත ගැනීමටය. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූයේ ඊට පෙරදා බැවින් අපගේ කතාවට නිමිති වූයේ මැතිවරණ කතාය. ඔහු කීවේ ප්‍රතිඵල අනුව ආණ්ඩුව වෙනස් වුවත් කම් නැති බවය. පෙර රජය පැවතියේ නම් අඩු තරමින් පාරේ වළවල් නැතිව වාහනය හෝ පැදවීමට තිබුණේ යැයි ඔහු කීවේය. තවද අසාද් සාලි තම කොට්ඨාසය හෝ දිනා ගැනීමට අපොහොසත් වීමත් ඔහු අගය කළේය. එහෙත් ඔහුගේ සිංහල උච්ඡාරණ රටාවේ මඳ වෙනසක් විය. අප සිටියේ පෝළිමේ කෙළවරය. එබැවින් මෙකෙණෙහි අප සිටි තැනට පර්දාවකින් සැරසුණු මුස්ලිම් යුවතියක් පැමිණියාය. ඕ පැමිණියේ ඈත සිටම මේ තරුණයා වෙත සිනාමුසු වදන් තෙපලමිනි. එහෙත් ඔවුන් කථා කළේ දෙමළ බසිනි. තරුණයාද මුස්ලිම් බව මට පැහැදිලි විය. මඳ වේලාවකින් යුවතියද මා සමඟ කතාවට වැටුණු අතර ඈ කීවේ ඇගේ පුතා මරදාන සහිරා කොලීජියට ඇතුළත් කිරීමේ අවස්ථාව තිබුණත් සිංහල සිසුන් සමඟ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමේ ආසාව නිසා මෙම විදුහලට ඇතුළත් කරන බවය. “උගන්වනවා නම් උගන්වන්න ඕන සිංහල මාධ්‍යයෙන්. නැත්නම් ඉංග්‍රීසි මාධ්‍යයෙන්” ඕ කීවාය. අනතුරුව ඈ කථා කළේ ලංකාවේ මහජන සෞඛ්‍යය ගැනය. “අපි දැන් අපේ රටින් ස්මෝල් පොක්ස් (වසූරිය) සම්පූර්ණයෙන් තුරන් කරලා තියෙනවා. ඩිප්තීරියා, ගලපටලය, ක්ෂය රෝගය කියන රෝග තුනත් අපි තුරන් කරලා තියෙනවා. ඒ නිසා කාටවත් අපේ ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය විවේචනය කරන්න බෑ.” ඈ වෛද්‍යවරියක බවත්, සේවය කරන්නේ වැල්ලම්පිටිය මහජන සෞඛ්‍ය කාර්යාංශයේ බවත්, මුස්ලිම් හිතවතා ඇගේ නීතිමය කටයුතු ඉටු කරන නීතිඥයා බවත් ඈ සඳහන් කළේ මෙවේලේය.  
මෙහිදී මා මවිත කරවූ කාරණා දෙකක් තිබිණි. එකක් ඈ කථා කරන හැම විටම “අපේ ලංකාවේ” යැයි කියා සිටීමය. අනෙක ඈ තමාගේ දරුවාට (එකම පුතාට) දෙමළෙන් නොව සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් ඉගැන්වීමට දැරූ උත්සාහයය. මින් මට පැහැදිලි වූයේ එකම එක් දේකි. ඔවුන් වෙනත් බසක් කථා කළත් ඔවුන් හා අප අතර කිසිදු වෙනසක් නැති බවය. අප උපදින විට අපට ඇත්තේ එක් බසකි. එහෙත් අප ඇතිදැඩි වන විට භාෂාවලට බෙදෙමු. ආගම් හා ජාතීන් වශයෙන් බෙදෙමු. ඒ බෙදීමේ ගැටලුවක් නැත. එහෙත් සුදට සුද ලැබෙන්නේ කළු නිසා බව අපි අමතක කරමු. අහස සුන්දර වන්නේ වර්ණාවලියක් නිසා බව නොදනිමු. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජාතික ක්‍රීඩකයින් ක්‍රීඩා කරද්දී අප ඔල්වරසන් නඟන්නේ “මේ ඔක්කොම අපේ එවුන්” යැයි කියමිනි. ඉන්දියානුවන්ට එරෙහිව මුරලිදරන් විකට්ටුවක් ලබා ගනිද්දී දෙමළ ප්‍රේක්ෂකයා ඔල්වරසන් දුන්නේ ඉන්දියානුවන් වෙනුවෙන් නොවේ. 2010 වසරේ එංගලන්තයේ පැවති ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලයේ අවසන් පූර්ව තගරයේදී ජෙහාන් මුබාරක් බ්‍රෙට් ලීට හයේ පහරවලින් බැට දෙන්නට විය. එහිදී සිංහල ප්‍රේක්ෂකයා ඔල්වරසන් දුන්නේ ඔහු මුස්ලිම් යැයි සිතා නොවේ. ක්‍රීඩාවේදී අපට ජාති භේදයක් නැත. ආගම් භේදයක් නැත. එහෙත් ඒ සහජීවනය අපට ඉන් පිටස්තරව නැත.  
එහෙත් එක් දෙයක් මම උදක්ම විශ්වාස කරමි. එනම් හොඳ කිසිදා නරක නොවන බවය. වරද කිසිදා නිවැරද්ද නොවන බවය. වරදක් වූයේ කොතැනද මොන සාධාරණීකරණයන් කළද එය නිවැරදි වන්නේ නැත. ෆැසිස්ට්වාදයට ආයුෂ ඇත්තේ කෙටි කලකි. ජාතිවාදයටද එසේය. ඒ කෙටි කලට ඉන් ඇති වන විනාශය පියවිය නොහැකි බව සැබෑය. එහෙත් එය සැමදා පවතින්නේ නැත.  
ඉදින් අපගේ මුස්ලිම් සහෝදරවරුනට අපි මෙසේ ආයාචනා කරමු: සහෝදරවරුනි, ඔබත්, මාත් දෙගොල්ලන්ම සිටියේ සාපිපාසාවේය. ඉදින් ඔබත්, මමත් එකතුව දහදිය මුගුරු හෙළා මහත් පරිශ්‍රමයෙන් බිම කැණ ළිඳක් හෑරුවෙමු. ඒ ළිඳෙන් පිරිසිදු ජලය ඒමට ගත්තා පමණි. යම් නරුමයින් පිරිසක් ඒ ජලයට වස මුසු කර ඇත. ඔවුනට අප දිය බොනු බලා සිටිය නොහැකිය. ඔවුන් දියටත් කෙණෙහිලිකම් කරන්නෝය. එහෙත් අපට සා පිපාසාවෙන් සිටීමට බැරිය. අපි නැවත ළිඳක් හෑරිය යුතු වෙමු. සහෝදරවරුනි, එන්න. අපි නැවත ඒ ළිඳ කණිමු. තනි මහන්සියෙන් අපට ඒ කැණීමට බැරිය. ඔබේ සහාය අපට වුවමනාය. බිය නොවන්න. සැක නොසිතන්න. පවස නිවීමෙන් තොර ජීවිතයක් අපට නැත. එහෙත් එක් දෙයක් මෙවර අපි නොපිරිහෙළා ඉටු කරමු. කිසිම කිසි නරුමයකුට අපගේ ළිං දියට වස මුසු කිරීමට අපි ඉඩ නොදෙමු. දිවි පරදුවට තබා හෝ අපි අපේ ළිං දිය සුරකිමු. 

මාතෘකා