වීදියේ එළිය යට - නොමැකී ගිය අලෝකය

 ඡායාරූපය:

වීදියේ එළිය යට - නොමැකී ගිය අලෝකය

ඔබ බස් රථයක ගමන් කරනා විට බොහෝ වේලාවට ජනේලයක් අසල අසුනක් තෝරා ගන්නේ අවට සිරි නරඹමින් යන්නටයි. මේ සිරි නරඹන අතර ඔබට බස් රථය ගමන් කරනා මාර්ගයේ තිබෙන විවිධ වු දේවල් දකින්නට හැකියාවක් ලැබෙනවා. ඒ අතර පාරේ ගමන් කරන විවිධ පුද්ගලයන් ද ඇතුළත්. නමුත් මේ පුද්ගලයන්ගේ හැසිරීම ගැන, ඔවුන් කරනා දේවල් පිළිබදව ඔබ තැකීමක් දක්වන්නේ නැති තරම් නේද? මේ කියන්න යන්නේ ඒ වගේ අවස්ථාවක බස් රථයේ වීදුරුවෙන් දකින්නට ලැබුණු එක්තරා සිදුවීමක් පිළිබද දැඩි අවධානයක් දුන් නිසා වීදියේ පහන් කණුවක් යට අදුරු වන්නට ගිය ජීවිතයක් ගලවා ගත් අපුරු සංවේදී කතා පුවතක් ගැනයි.

මේ සිදුවීම වාර්තා වන්නේ පිලීපිනයේ සීබූ නගරයෙන්, වර්ෂ 2015 ජුලි 13 වැනිදාවකයි. ජොයිස් ගිලෝස් ටෝෆ්රන්කා කියන වෛද්‍ය ශිෂ්‍යාව තමන්ගේ දේශන අවසන් කර ඇයගේ නවාතැන බලා පිටත්ව යමින් සිටියා. ඇය ගමන් කරපු බස් රථය එක මාර්ග සංඥා කණුවක් ළග විනාඩි කිහිපයකට නතර කරේ මාර්ගයේ තමන්ට අවස්ථාව ලැබීමට කොළ සංඥාව වැටෙන තුරුය. ජොයිස් වාඩි වී සිටියේ බස් රථයේ ජනේලයක් අසල ආසනයකයි. ඇයගේ අවාධනය අදුර වැටී තිබු වීදිය වෙත යොමු වුණා. එතනදී ඇය දුටු දෙයකින් ඇයගේ හදවත දැඩි ලෙස කම්පාවටත් සංවේදිතාවයටත් පත් වුණා කිව්වොත් නිවැරැදියි.

ඒ අසල තිබූ මැක්ඩොනල්ඩ් ආපන ශාලාවක පහන් අලෝකය අදුරු වැටී තිබුණු වීදියට වැටී තිබුණේ යම් තරමක අලෝකයක් ඇති කරමිනි. මේ වීදියේ අලෝකය වැටී තිබුණු තැන පුංචි ලී මේසයක් සහ පුංචි බංකුවක් මත වාඩි වී දරුවෙකු තමන්ගේ අධ්‍යාපන කටයුතු කරමින් සිටින ආකාරය ජොයිස්ට දැක ගන්නට ලැබුණා. ඇයට බසයෙන් බැස ඒ දරුවා වෙත යෑමට අවශ්‍ය වුණත් ඇයට යාමට අවස්ථාවක් තිබුණේ නෑ, මන්ද ඒ වෙන විටත් මාර්ග සංඥා පද්ධතියේ අවසන් තත්පර කිහිපය වැටෙමින් තිබුණු නිසාවෙනි. ඇයගේ ජංගම දුරකථනය මගින් මේ පුංචි දරුවා පාඩම් කරමින් සිටිනා ආකාරය දැක්වෙන ඡායාරූපයක් ලබාගන්නේ ඇයගේ මේ සිත කම්පා කළ සිදුවීම ගැන අමතක කළ නොහැකි වු නිසාය.

පසුව නවාතැන වෙත ගිය ඇය ඒ ලබාගත් ඡායාරූපය ෆේස්බුක් සමාජජාලයට දමන්නේ ඒ පිළිබද ඇයගේ සංවේදි අත්දැකීමත් සමඟයි. මෙය ඇයගේ පමණක් නොව ඇයගේ මිතුරු ලැයිස්තුව තුළ සිටි බොහෝ දෙනාගෙද සිත් සංවේදී කරන්නට සමත් වුණු සිදුවීමක් බවට පත්වුණා. අවසානයේ එය විශාල ලෙස සමාජජාලය පුරාම හුවමාරු වෙන්නටද පටන් ගත්තා. මේ හේතුවෙන්ම මෙය මාධ්‍යවලත් අවධානයට යොමු වු කරුණක් බවට පත්වුණා.

ABS-CBN කියන පුවත් නාලිකා මේ සිදුවීම ගැන වැඩිදුර විස්තර සෙවීමට පටන් ගත්තා. ඒ සොයාගත් විස්තර ඔස්සේ ගිය ඔවුන් මේ දරුවා සිටි තැන සොයා ගන්නට සමත් වෙනවා. ඔවුන්ට මේ දරුවාගේ කතාව විමසා බලන විට දැන ගන්නට ලැබුණු දෙයින් වඩාත් සංවේදිතාවයට පත්වුණා. ඔවුන්ට මේ සිදුවීම සටහන් කරන විදිහ ගැන වචන පවා ගලපා ගන්න අපහසු වු බව සදහන් වෙනවා.

මේ පුංචි දරුවාගේ නම ඩැනියෙල් ඔහු ජීවත් වුණේ ඔහුගේ මව වුණු එප්සනෝසා සහ ඔහුගේ සහෝදරයන් දෙදෙනා සමඟයි. ඔවුන් ජීවත් වුණේ පුංචි ආහාර වෙළෙදැසලක් අසලයි, මොකද ඔවුන්ගේ නිවෙස ඒ වෙද්දීත් ගින්නකට හසු වී විනාස වී තිබුණා. එය බිත්ති වලින්වත් ආවරණය වී තිබුණේ නෑ. ඩැනියෙල් ගේ පියා ජීවතුන් අතර සිටියේ නැහැ. මේ පුංචි පවුල ඒ නිසාම එප්සනෝසාගේ ශක්තිය මත රැඳී තිබුණා. ඇයට දිනක වැටුප ලෙස ලැබුණේ පෙසෝ 80ක මුදලක් පමණයි. එය පවුම් භාගයකටත් අඩු මුදලක් වෙන අතර එය ඩොලර් වලින් ගත් විට ඩොලර් 1.77ක් වුණා.

ඩැනියෙල් පාසල් ගියා. නමුත් ඔහුට දිවා ආහාරය වෙලාවට කන්න කෑම තිබුණේ නෑ, අනෙක් ළමයි කෑම කන අතරේ ඩැනියල් පොතපත තමන්ගේ බඩගින්න නිවා ගත්තා. ඩැනියල්ට පාසලේ ආපන ශාලාවකින්වත් කෑම ගැනීමට මුදල්වත් ඔහු ළග තිබුණේ නැහැ. මෙතරම් අපහසුකම් මධ්‍යයේ වූවද තමන්ගේ අධ්‍යාපනය මොහොතකට හෝ නතර කරන්න ඩැනියෙල් කැමැති වුණේ නම් නැහැ.

ඩැනියල් ජීවත් වුණු ආහාර වෙළෙදසලේ විදුලි අලෝකය නැති නිසාම ඔහු පාඩම් කරන්නට ගියේ මැක්ඩොනල්ඩ් ආපන ශාලාවේ විදුලි අලෝකය ලැබෙන වීදි කොනටයි. ඩැනියල්ගේ තාත්තා ජීවත්ව සිටි සමයේ ඩැනියෙල්වත් ඔහුගේ රස්සාව කිරීම සදහා උනන්දු කරනු ලැබුවා. ඒ පොලිස් නිලධාරීයෙකු වීමටයි.

"ඩැනියල් ගොඩාක් සන්සුන් කෙනෙක්" එප්සනෝසා පවසා සිටියා.

"එයාට දෙන්න තරම් කිසිම දෙයක් මං ළග නෑ, ඒත් එයා මුදල්වත් වෙනත් දෙයක්වත් ඉල්ලන්නේ නෑ පාසල් යන්න..." ඇය කියා සිටියා. තව දුරටත් අදහස් දක්වමින් පවසා තිබුණේ ඩැනියල්ට ඇයගේ අපහසුකම් ගැන කියද්දී ඔහු නිතරම කිව්වේ එක දෙයක් ගැන පමණක් බවයි.

"අම්මා මට දුප්පත් වෙන්න ඕන නෑ.. මට මගේ සිහින වලින් ගොඩාක් පොහොසත් වෙන්න ඕන..." යැයි ඔහු නිතරම ඔහුගේ මව සමග පවසා තිබුණා.

මේ සිදුවීම සමාජයේ ඉතාමත් වේගයෙන් පැතිර ගියේ සියලු දෙනාගේ හදවත් තුළ පුංචි ඩැනියල්ගේ ධෛර්යවන්ත හදවතේ සිතිවිලි වලින් සංවේදී කළ නිසා විය යුතුය. සමාජයේ බොහෝ දෙනෙක් මේ පුංචි සිහින දකින්නාගේ සිහින හැබෑ කරන්නටත් ඉදිරිපත් වුණේ ඒ නිසාම විය යුතුයි. ඩැනියල්ට උපකාර කරන්න බොහෝ දෙනෙක් ඉදිරිපත් වුණා. ඩැනියල්ට ඉගෙන ගන්න අවශ්‍ය පොත්පත්, පාසලේ නිල ඇදුම් සිට ඉහළ අධ්‍යාපනයක් සදහා ශිෂ්‍යත්වයන් පවා හිමිවුණා.

ඔබත් සමාජය දෙස යම් එකාකාරී ස්භාවයකින් නැතිව වෙනස් ලෙස බලන්නට සිතුවොත් ඔබටත් මේ වගේ " වීදියේ එළිය යට - මැකී යන්නට තිබු අලෝකයකට" තවත් එළිය විහිදුවාලන්නට අවස්ථාවක් උදා කර දීමට හැකි වනු ඇත... ඔබේ දෑසින් ලෝකය දෙස බලන්න..

[සංජේ රණවක]

මාතෘකා