ලුණු ඇඹුල් ඇතිව...

 ඡායාරූපය:

 ලුණු ඇඹුල් ඇතිව...

හිමාල දේසේ වැඩ වසන ඉරිසින්නාන්සෙලා හා තවුස්දම් පුරන උත්තමයන් සමහර දවස්වල මනුස්ස වාස ආස්සරයට ආ බව කියන්නේ ලුණු ඇඹුල් හොයාගෙනය. ලුණු කෑමට බොහෝම වටින හින්දාම අදින් අවුරුදු හැට හැත්තෑවකට ඉස්සර සියඹලාණ්ඩුව, මොනරාගල කැලෑබද ගම්වල ඇත්තෝ ඒවා හොයාන පානම් පත්තුවට කෝමාරියට තවලම් විදියට පෙළ ගැහිලා ගිය වග මා එක්ක කිව්වෙ උන්දැලත් එක්ක බැදි මංවල කරක් ගහන අතරේය.

ලුණු වගේම කෑමට ඇඹුලත් නැතිවම බැරිය. ඒ හින්දාම මේ කැලෑ ගම්වල ඇත්තෝ විවිධ ඇඹුල් ජාති කෑමට ගන්නා විදිය දැන සිටීමේ අරුමයක් නැත. අද මේ ඇඹුල් කෑම බොහෝමයක් ඉවෙන්නේ නැතත් ගම්මුන්ගේ වට්ටෝරු වල ඇති ඒවා ලියා තැබීම වටින්නේ පහසුවෙන් උයා හදා ගන්නට පුළුවන් හින්දාම නොවේ. බත් කන්නට අප්පිරියා හිතෙන කාට වුණත් බත් ඩිංගක් ගිලින්නට පාර හදා දෙන්නට ඒවාට පුළුවන් හින්දාය.

අපේ ඇඹුල් කෑම වට්ටෝරු අතරේ තිබෙන අච්චාරුවට බැවහරේ සිංහල අච්චාරුව යැයි කීවාට එය පෘතුගීසීන්ගේ තෑග්ගක් බව ප්‍රසිද්ධ රහසකි. මැලේ අච්චාරුවද බතට සීහෙන නමුත් එහි ඇත්තේ පැණි රහකි. මේ සිංහල අච්චාරුවට බොංචි, කැරට් මොනවා දැම්මත් වෙනසක් කරන්නට නම් අමු පැපොල් හෝ පොළොස් පෙති දැමීම කදිමය. අපේ ගම්වල තවත් අච්චාරු වෙසෙසක් වේ. එය හදන්නේ හිරමනෙන් ගා ගත් අමු පැපොල්, රතු ලූනු හා අමු මිරිස් පමණක් දැමීමෙනි. හදන්නේ සාමාන්‍යයෙන් සිංහල අච්චාරු හදන විදියටමය. මේ තාක් අච්චාරුවට රාබු දමා නැතිනම් දාලා බලන්නැයි කිව යුත්තේ එහි අමුතු රහක් ඇති හින්දාය.

අච්චාරුවල ළඟ නෑයා ලුණු දෙහිය. ඒවා නම් රන්රස සේ පෑහෙන මුසුවකි. ලුණු දෙහි කන්නට ලැබෙන්නේ ලංකාවේදී විතරක් නොවන අතර ඉන්දියාව නේපාලය හා අහල පහළවෙනත් රටවලද වෙනස් විධියට වුණත් ලුණු දෙහි දාන සිරිත දකින්නට ලැබේ. අපේ මිනිස්සුන්ගේ ලුණු දෙහි දැමිල්ල දකුණේ ක්‍රමය හා යාපනේ ක්‍රමය හැටියට වෙනස් වන බවද කියන්නටම ඕනෑය. සමහරු ලුණු දෙහි දමන්නේ දෙහි තම්බා නමුත් වැඩියෙන් හොඳ අව්වේ වේළාගත් විට බව මගේ අත්දැකීමයි. කොහොම නමුත් ලුණු දෙහි පදමට රහ වෙන්නට නම් ගම්මිරිස් හා හීන් කොච්චි නැතිවම බැරිය.

ඇඹුල් දොඩම් නැතිනම් ගැට දොඩම් ඉස්ම පස්සවා ගන්නා හැටි සහ ලෙමන් රේණු ඇඹුල ගැන ආයෙමත් නොකියන්නේ මුල් දවස්වලම කී හින්දාය. හැබැයි කිව යුතුම දෙයක් තිබේ. අපි නොදන්නවාට අපේ රටේ දෙහි ජාති මහ හුඟක් තිබේ. ඒ ගැන හොයා බලන්නට කාට හරි වුවමනා නම් යා යුත්තේ ඌව පළාතේ බිබිල පැත්තටය. බැවහැරේ හීන් දෙහි ලෙස හඳුන්වන දෙහි ලුණුදෙහි දමන්නට ගන්නා නමුත් වැඩිපුර සලකන්නේ නැති කූඩලු දෙහි වාගේම ගඩා දෙහිද ලුණු දෙහි දමන්නට කදිමය. සමහර වෙලාවට ඒ විශේෂ ලුණු දෙහි වෙනදා හදාගන්නා ඒවාටත් වඩා රස බව අත්විඳින්නට ලැබෙනු ඇත.

බිලිං අපේ ගැමි ගෙවතුවල ඉදී වැටෙන බෝගයකි. කොලු කුරුට්ටන් කටවල් ඇඹුල් කරගෙන ඒවා කනවා දකින නමුත් ඉස්සර වගේ බිලිං වේළා ගන්නට උනන්දු වන්නන් අද දුලබය. බිලිං ලුණු දමා අව්වේ වේළාගැනීම එක කාරියකි. මේ වෙනම විදියකි. ඒ වෙනුවෙන් වුවමනා කරන්නේ නැවුම් මැටි මුට්ටියක්, ඇති පදං කැට ලුණු සහ බිලිංය. මුට්ටියට මුලින්ම ලුණු තට්ටුවක්, ඊට පස්සෙ දිගට පෙති ඉරාගත් බිලිං තට්ටුවක් ආයෙමත් ලුණු, බිලිං අන්තිමට ලුණු විදියට තැම්පත් කරගැනීම ක්‍රමයයි. ඊට පස්සේ ළිපේ ගිනි අඟුරු උඩ වැහුම් ඇරලා මේ මුට්ටිය තියන්නේ ලුණට මුහු වෙමින් බිලිං වතුර එළියට පැන ඒකෙන්ම තැම්බී හිඳෙන විදියටය. හොඳටම වේළෙන්නට තැම්බී පදම් වුණු බිලිං ගොරකා වාගේ භාජනේක අඩුක් කරගෙන මාස අවුරුදු ගණන් තියාගන්නට හොඳම තැන ළිප් බොක්ක හෝ දුම්මැස්සය. මේ බිලිං පෙති උණු සුදු බත් කන්නට කදිමය. ඒවා දැමූ කිරි හොද්ද දිව බොදුනකි. පොල් සම්බල් අඹරන වෙලාවටද ඒවාට අඬ ගහන්නට පුළුවන. ගැමි කතුන් මේ බිලිං එක්ක කරන ලොකුම කාරිය කරවල තෙල් දැමිල්ලයි. හොඳ කට්ට කරවල කෑල්ලකට මදි නැතිව ලොකු ලූනු ලියා දමා වියළි බිලිං පෙතිද කොච්චිද මුහු කර පිසගන්නා කරවල තෙල් දැමිල්ල බත් මරන්නට මගකි.

අඹ හෝ අඹරැල්ල ඇඹුල ගැන කියන්නට වුවමනාවක් නැත්තේ ඒ ගැන කවුරුත් දන්නා නිසාය. ඒත් රතුපාටට ඉදුණු ලොවි ගෙඩි ලුණු ගම්මිරිස් සමග කොටාගෙන හදාගන්නා ලොවි සම්බෝලය කටගැස්මක් පමණක් නොව බතට සලාදයක් බවද දැනගත යුතුමය.

බණ්ඩාරවෙල, නුවරඑළිය පැත්තේ රුබා යැයි වහරන පැලෑටියක් වේ. ඒවා පත්‍ර නටුව කොළ පැහැති හා රතු පැහැති වශයෙන් දෙවර්ගයකි. මේ පත්‍රවලට ලුණු මිරිස් තුනපහ මුසු කර උයාගත් විට කදිම උකු ඇඹුල් හොද්දක් ලැබේ. අමතක නොකර මේ හොද්ද අබ සුදු ලූනු දමා තෙම්පරාදු කරගත යුතුය. අපේ කුඹුරුවල වැඩුණු ඇඹුල් පලා පරිප්පු හා මුසු කර කෑමට වටී. පේර මාලුව, අන්නාසි ඉවිල්ල හා ගලේ ඇඹරූ නෙල්ලි මාලුව ගැන කියන්නට වෙන්නේ වෙනත් දවසකය.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා