සිංහල වේදිකාවේ දේශපාලනික නාට්‍යය

 ඡායාරූපය:

සිංහල වේදිකාවේ දේශපාලනික නාට්‍යය

දේශපාලනික නාට්‍ය යන වචනය භාවිතයට පැමිණෙන්නේ 19 වැනි හා 20 වැනි සියවස්වලදීය. එහෙත් ඊට පෙර සිටම දේශපාලනික නාට්‍ය, ලෝකයේ පැතිරී තිබුණි. 19 වැනි සියවසේ නව සමාජ පරිවර්තනයත් සමඟම දේශපාලනික නාට්‍ය යන ප්‍රවණතාව පැතිරී යන්නට විය. දේශපාලනික මතිමතාන්තර ඉදිරිපත් කිරීමට හෝ විරෝධාකල්ප දැනවීම සදහා දේශපාලනික නාට්‍ය යුරෝපා රටවල්වල මුල්කාලයේ දී භාවිතා විය.

නාට්‍ය කලාව ආරම්භ වූ ග්‍රීක, රෝම, ශේක්ස්පියර් වැනි යුගයන් වලත් දේශපාලනික නාට්‍ය තිබුණු අතර දේශපාලනික නාට්‍ය යන වචනය භාවිතයට පැමිණියේ ඉතා මෑත යුගයේ දීය. පවතින පාලක පක්ෂය විවේචනය කිරීම හෝ පාලක පක්ෂය ක්‍රියාත්මක කරන කටයුතු අනුමත කිරීම හෝ වැරැදි නිවැරැදි කිරීමත් පුද්ගල සමාජය දේශපාලනිකව සවිඥානික කිරීම දේශපාලනික නාට්‍ය කලාවේ අරමුණ විය. පවතින සමාජ තත්ත්වය ඊට වඩා යහපත් ආකාරයට ඉහළට ඔසවා තැබීම එහි අරමුණයි.

60 දශකයෙන් පසුව දේශීය සමාජය අතිශයින්ම වෙනස් වූ අතර පවතින තත්ත්වයන් විග්‍රහ කිරීම සදහා නාට්‍ය කලාවද යම් යම් වෙනස්කම්වලට ලක් විය යුතු විය. වාමාංශික අදහස් පැතිර යෑම, 70 දශකයේ තරුණ නැගිටීම, 80 දශකයේ විවෘත ආර්ථිකය හේතුවෙන් සමාජය වෙනස් වීම, 88-89 කළු ජූලිය, තිස් අවුරුදු යුද්ධයකට සමාජය තල්ලු වීම, ඒකාධිපතිවාදය යනාදී හේතු නාට්‍ය කලාවට සෘජුවම බලපා ඇති බව දක්නට ලැබේ.

සුගතපාලද සිල්වා, ධර්මසිරි බණ්ඩාරනායක, අශෝක හදගම, රාජිත දිසානායක, කේ.බී.හේරත්, ජයලත් මනෝරත්න, ආර්. ආර්. සමරකෝන් යනාදී නාට්‍යකරුවන් දේශපාලනික නාට්‍ය නිර්මාණයට පිවිසියේ එම තත්ත්වයන් යටතේය. කලාව ඇත්තේ කලාව වෙනුවෙන් ද එසේත් නැති නම් කලාව පැවතිය යුත්තේ පොදු මහජනතාවගේ හිත සුව පිණිසද යන විවාදය මෙම කාලයේදී ඇති විය.

ලංකාවේ නිෂ්පාදනය වූ දේශපාලනික නාට්‍ය අතර මකරා වේදිකා නාට්‍ය වැදගත් වේ. එය රුසියානු ජාතික "ෂ්වාට්ස්" නම් රචකයාගේ නිර්මාණයකි. 1944 දී මොස්කව් නුවරත්, ලෙනින්ග්‍රාඩ් නුවරත් දර්ශන කිහිපයක් ඉදිරිපත් කර ඇතත් රුසියාවේ එය මෙතරම් ජනප්‍රිය වී නැත. මකරා පරිවර්තය කර ඇත්තේ හෙන්රි ජයසේනයන් විසිනි. ලෝකයේ ඕනෑම තැනක ඒකාධිපතියන් බිහි වන්නේද එම ඒකාධිපතියන් ගේ ක්‍රියාවන් පාලිත ජනතාව අනුමත කරන්නේද ඒ ඕනෑම සමාජ තත්ත්වයක් කියවා ගැනීමට මකරා නාට්‍ය සමත් වේ.

නගරයක් යටත් කරගෙන සිටිනා බිහිසුණු මකරෙක්, මකරාගේ සිතැගි ඉටුකරදෙන පුරපතියෙක්, මේ සියල්ල ඉවසාගෙන මකරාගේ ගොදුරක් වීමට බලා සිටිනා බියගුලු ජනතාවක්, සියල්ලෝම මකරාගෙන් නිදහස් කරගැනීමට පැමිණෙන ලාන්ස්ලොට් නම් වීරයෙක් මෙම කතාවෙන් ඉදිරිපත් කරයි. 1973 දී හෙන්රි ජයසේන විසින් පළමුවරට නිෂ්පාදනය කළ මෙම නාට්‍ය අද දක්වාම නැවත නැවත දේශීය වේදිකාවේ වෙදිකා ගත වේ. සමාජයට ඉදිරියට යා නොහැක්කේ ඒකාධිපති නරුම පාලකයන් බිහිවීම නිසා නොව, ජනතාව ඒකාධිපතිවාදයට දක්වන්න කැමැත්තයි. අපට දකින්නට ලැබෙන මකරා මරා දැමීමට පෙර, තමාගේ සිත තුළ නිරතුරුවම නිදා සිටින මකරා මරා දැමිය යුතු බව නාට්‍යයෙන් කියවේ. පළමුවෙන්ම මකරා නාට්‍යයට රංගනයෙන් දායක වූ බංඩාරනායක පසු කලෙක මකරා නාට්‍ය නිෂ්පාදනය කරන ලදී.

මකරා නාට්‍යයෙන් ලද උද්වේගයත් සමගින් ධර්මසිරි බන්ඩාරනායක 1976 දී ඒකා අධිපති නාට්‍ය රචනා කොට නිෂ්පාදනය කළේය. එයත් මකරා නාට්‍ය සේම ඒකාධිපති මතවාදය විවේචනය කරන නාට්‍යයකි. ටැල්කම් පුරවරය ගංවතුරින් යට වීමත්, ඒකාධිපතියන් දිගින් දිගට තම සුබසෙත සදහාම කටයුතු කිරිම මෙම නාට්‍යයෙන් ද කියවේ.

දේශීය දේශපාලනික නාට්‍ය අතර ඉතාම වැදගත්ම නාට්‍ය ලෙස සුබ සහ යස නාට්‍ය දැක්විය හැකිය. 1971 කැරැල්ල අසාර්ථක වීමත්, නාට්‍ය මගින් එය නැවත සාකච්චාවට ලක් කිරීමත් සිදුවිය. සමාජයේ ඉහළ බුද්ධිමත් ජනතාව සහ සාමාන්‍ය ගැමි ජනතාව ද මෙම නාට්‍ය එකසේ රස විදි බැව් නොරහසකි. කොළඹින් දුරබැහැර ප්‍රදේශයන්හි ද මෙම නාට්‍ය ප්‍රදර්ශනය කෙරිණි.

1989 දී ධර්මසිරි බංඩාරනායක විසින් නිෂ්පාදිත ධවල භීෂණ නාට්‍ය ෂාත්‍රේගේ නාට්‍යයක පරිවර්තයකි. 88,89 යන කාලවලදී මෙරට පැවැතියේ අතිශයින්ම භීෂණ සමයකි. පැහැරගැනීම්, වධකාගාර, මිනී මැරීම් එකල සුලබ විය.

ධවල භීෂණ නාට්‍යයෙන්ද ඉදිරිපත් කරන ලද්දේ එවන් කතාවකි. කැරැල්ලක් හේතුවෙන් අත්අඩංගුවට ගන්නා කණ්ඩායමක් විවිධ වද වේදනාවන්ට ලක් කිරීම මෙම නාට්‍යයෙන් කියවේ.

මෙවැනි දේශපාලනික නාට්‍ය බොහොමයක්ම නිෂ්පාදන වූ අතර එමගින් සමාජය දේශපාලනිකව දැනුවත් කිරීමට නාට්‍ය කරුවන්ට හැකි විය.

මාතෘකා