ඩයොනීසියානු සටහන්

 ඡායාරූපය:

ඩයොනීසියානු සටහන්

යා ඉලාහි...

ඔබට හලේලුයා යැයි ගැයීම සඳහා දේව විශ්වාසයක් තිබිය යුතුමද? හලේලුයා යනු දෙව් සමිඳාණන්ට කීර්තිය අත්වේවා නැතිනම් ප්‍රශංසා වේවා යනුවෙන් අරුත් ගැන්වෙන හීබෘ වදනකි. නමුත් ලෙනාර්ඩ් කොහෙන් විසින් ලෝ ප්‍රකට ගීතයක් ලෙසින් හැඩවූ මෙම හලේලුයා තුළින් අසා සිටින්නේ ලෝකයේ විවිධාකාර හලේලුයාවන් තිබිය නොහැකිද යන්නයි.

සර්ව සම්පූර්ණ ආත්මයකින් නැගෙන හලේලුයාව මෙන්ම කැඩී බිඳී ගිය ආත්මයකින් නැගෙන හලේලුයාවද එක සමාන වටිනාකමකින් යුක්ත නොවේද? දෙවියෙකු සිටියත් නොසිටියත්, ජීවිතය පිළිබඳව ඇති භක්තිය සනාථ කිරීමට, ආගමික අරුතකින් නොවූවත් ජීවිතය පිළිබඳ අරුතකින් ඔබට හැඟීමෙන් යුතුව හලේලුයා යැයි කීමට නොහැකිද? අඩු තරමින් හලේලුයා යනුවෙන් ගැයූ ලෙනාර්ඩ් කොහෙන් එසේ සිතනට නැතිද?

හලේලුයා ගීතය ලෝ ප්‍රකට වීමත් සමගින් එය අරාබි බසටද නැගුණි. අරාබි බසින් මෙය යා ඉලාහී යනුවෙන් ගැයේ. එහි අරුත වන්නේ අහෝ මාගේ දෙවියනි යන්නයි. මේ දෙවියන් මුස්ලිම් විශ්වාසයේ එන මැවුම්කාර හස්තයයි.

මුස්ලිම්වරයෙකු කෙදිනකදී වත් තමන්ගේ මැවුම්කරුවාට දෙවියන් යනුවෙන් නො අමතයි. ඔවුන් වඩාත් උචිත යැයි සලකන්නේ අල්ලාහ් යන නාමයයි.

මෙයට හේතු දැක්වීම අන්‍යාගමිකයෙකු හට අසීරු විය හැකි නමුත්, මේ සම්බන්ධව යම් අදහසක් ගත හැක. දෙවියන් වහන්සේ යන සංකල්පයෙන් ලෙයින් මසින් සැදි දෙවියෙකු අදහස් නොකරන නමුත්, දෙවියන් වහන්සේ යනු යම් ආකාරයක විද්‍යාමාන වීමක් ඇති බව දැනේ. නමුත් මැවුම්කාර හස්තය සමගින් ලෝක නිර්මාපක බලවේගයක් මිස එම බලයේ විද්‍යාමාන වීමක් ක්‍රිස්තියානි දෙවියන් වහන්සේ සම්බන්ධයෙන්මෙන් නොදැනේ. මේ ක්‍රිස්තියානිය සහ ඉස්ලාමය සම්බන්ධයෙන් මඳ හෝ දැනුමක් ඇති අන්‍යාගමිකයෙකුට හෝ නිරාගමිකයෙකුට දැනෙනා හැඟීමයි.

කෙසේ වෙතත් මෙම හැඟීම පසෙක ලූ විට සැලකිල්ලට ගත යුතු වන්නේ, අල්ලාහ් යනු ආබ්‍රහමික ආගමික විශ්වාසයන්ගේ එන දෙවියන් හැඳින්වීම සඳහා වන අරාබියානු යෙදුම බවයි. අල්-ඉලාහ් යන්නෙන් බිඳී එන අල්ලාහ් නමෙන් කියැවෙන්නේ එකම දෙවියෙකු, සර්වබලධාරී භූතාර්ථයක් වේ. අල් යන්නෙන් එය ගම්‍ය වේ.

ලෙනාර්ඩ් කොහෙන්ගේ හලේලුයා ගීතයේ අරාබියානු අර්ථය මුල් ගීතයේ අර්ථයට සම නොවේ. අරාබි සංස්කරණයේදී ලබාගෙන ඇත්තේ මුල් ගීතයෙන් යම් හැඟීමක් සහ එහි ස්වර මාලාවන් පමණක් බව පෙනේ. නමුත් මෙම අරාබි යා ඉලාහි ගීතය සහ එහි අරුත සැබවින්ම සියුම්ව නිරීක්ෂණය කිරීම වටී. එහිදී ගම්‍ය වන්නේ මැවුම්කාර හස්තය කෙරෙහි වන අචල වූ විශ්වාසයයි.

අඳුරේ අතරමං වී ආලෝකය සොයාගත නොහැකිව විපිළිසරව හිඳිනා විශ්වයේ ක්ෂුද්‍ර වූ ජීවියෙකු සර්වබලධාරී අල්ලාහ් වෙත දක්වන විශ්වාසය සහ ගැඹුරු භක්තිය ඔබට එයින් දැනෙනු ඇත.

සැබවින්ම සර්වබලධාරියෙකු විසින් ලෝකය මැවුවේ යැයි ඔබ විශ්වාස කරන්නේද? එම විශ්වාසය හෝ ලෝකයේ සැමදේම නිර්මාණය කළ මැවුම්කාර බලවේගයක් පිළිබඳ විශ්වාසය ඔබට බුද්ධි ගෝචර නොවන්නේද?

එය ගැටලුවක් කර නොගනු මිත්‍රය. ඔබට හෝ මට සර්වබලධාරී දෙවියෙකු හෝ මැවුම්කාර හස්තයක් සම්බන්ධයෙන් විශ්වාසයක් නොතිබෙනවා විය හැක. නමුත් එවැනි ගැඹුරු විශ්වාසයක් ඇතියෙකුගේ හදවතට එබී බලන්නට හැකි නම්, මිනිසාට කෙතරම් සුන්දර විය හැකිද යන්න පිළිබඳ ඡායාමාත්‍රයක් හෝ දැක ගැනීමට ඔබට හැකිවනු ඇත. එම සුන්දර මිනිසා ඇතැම් විට ඔබේ ප්‍රතිබිම්බයම විය නොහැකිද?

[අරමානිස් බලසේක්කු]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?