ශිව තාණ්ඩව

 ඡායාරූපය:

ශිව තාණ්ඩව

මේ දිනවල ක්ෂේත්‍ර වැඩකටයුත්තක් වෙනුවෙන් මන්නාරම ප්‍රදේශයේ කාලය ගත කරමි. ලද ඉසුඹුවක සන්ධ්‍යා කාලයක තිරුකේදීෂ්වරම් කෝවිලේ ශිව පූජාව සඳහා සහභාගී වීමී. පැරණි මාතොට වරාය සමීපයේ පිහිටා ඇති එය, ලංකාවට පැමිණි පල්ලව හමුදාව සඳහා මානවම්ම රජු විසින් තැනූ ශිව දේවාල වලින් එකකි. මෘදංග බෙර වැයුමෙන් පසුව කෝවිලේ ශිව ස්ත්‍රෝත ගැයීම ඇරඹේ. දැල්වූ කපුරු පහනින් නික්මෙන සුගන්ධය දසත පැතිරෙයි. මෘදංග බෙරයේ නද උත්සන්න වෙත්ම බැතිමත්තු දේව පිළිරූ වටා භ්‍රමණය වන දැල්වූ කපුරු පහන හා ඒකාත්මික වෙයි. එකල්හි ජය පතා මහමෙර දුන්නක් සේ නැවූවා වූ ද, වෙණවයමින් වසුපිට සරමින් ගයන්නා වූ ද, සුර යැදුමට වස පානය කළ හෙයින් නීල කණ්ඨ නම් ලැබුවා වූ ද, ශිව දෙවිඳු මනස් කෘතියක්ව මැවේ.

මෙවැනිම අත්දැකීමක් ‘ෆ්‍රිට්ජොෆ් කප්රා‘ නම් ඇමරිකානු භෞතිකවිද්‍යාඥයා විසින් රචනා කරන ලද The Tao of Physics නම් කෘතිය තුළද විස්තර කරයි. ඔහු එම කෘතිය මඟින් නූතන භෞතික විද්‍යාව සහ පෙරදිග ගූඪවාදය අතර පවතින සමාන්තරතා පිළිබඳ සොයා බැලීමක් කරයි. ඔහු ඇමරිකාවේ මුහුදු වෙරළක ක්ෂිතිජය දෙසින් බැස යන හිරු දිහා බලා සිටියේය. භෞතික විද්‍යාව පිළිබඳ විෂය ප්‍රමාණිකයකු වූ ඔහු විශ්වයේ සැකැස්ම සහ භෞතය පිළිබඳ විමසිලිමත්ය. එම මොහොතේ ඔහුගේ සිතුවිල්ල කෙතරම් ප්‍රබල වූයේදයත්, හෙළන සුස්මවල රිද්මය, ඔහු වෙත ඇදී නැවතත් දිවයන රළපෙළෙහි රිද්මය සමඟ එක්වෙන බව ඔහුට දැනිණ. එක්වරම ඔහුගේ මනස තුළ යමක් කෙවෙණි දෙමින් අවබෝධ වන්නට විය. ඔහු වටා ඇති හාත්පස සහ සමස්ත ලෝකයම යම් අනතරීක්ෂීය නර්තනයක

(Cosmic Dance) යෙදෙන බව ඔහුට දැනිණ. එකවරම ඔහු තුළ සිටි භෞතික විද්‍යාඥයා පැමිණ ඔහු වටා ඇති වැලි, පෂාණ, ජලය, වාතය ඈ සියල්ලක්ම නිර්මිත වී ඇත්තේ කම්පනය වෙමින් ඇති අණු සහ පරමාණුවලින් බව පැහැදිලි කරන්නට විය. එමෙන්ම ඒවා එකිනෙක මත ක්‍රියා කරමින් සහ විනාශ කරමින් කටයුතු කරන අංශුවලින්ද යුක්ත වෙන බව ඔහුට අවබෝධ වන්නට පටන් ගත්තේය. එමෙන්ම පෘථිවි පෘෂ්ඨයේ අවකාශය නිරන්තරයෙන් අන්තරීක්ෂීය කිරණ වර්ෂා වලින් යුක්ත වන බවද වාතය හරහා ගමන් කරද්දි ප්‍රබල ශක්ති අංශු බොහෝ වාර ගණනක් බිඳීමට ලක් වන බවද ඔහුට අවබෝධ වන්නට විය. මේ සියල්ලක්ම ඔහුට ඉතා සමීප අත්දැකීමක් ලෙස පෙනෙන්නේ ඔහු උසස්-ශක්ති භෞතය පිළිබඳ පර්යේෂණවල නියුතුව සිටි නිසා විය හැකිය. එහෙත් ඒ වන විටත් ඔහු මේ සියල්ලක්ම දැක තිබුණේ වගු සහ ප්‍රස්ථාරවලින් මෙන්ම ගණිතමය න්‍යායවලිනි. මෙලෙස සිටිද්දී ඔහු විසින් පෙරදී කියවා ඇසුරු කළ දෑ ඇස් ඉදිරිපිට පෙනෙන්නට පටන් ගත්තේය. අවකාශයෙන් පැමිණෙන ශක්ති ධාරා තුළ ඇති ශක්ති අංශු රිද්මීය ස්පන්දනයන්ට ලක්ව නිර්මාණය වෙමින් බිඳෙන බවත්, තම ශරීරය තුළ ඇති මූලිකාංග සකස් වී ඇති පරමාණුද මෙම ශක්තිමය අන්තරීක්ෂ රංගනයට එක් වෙමින් ඇති බවත් ඔහුට දැනෙන්නට වූ අතර එහි තානයද ඇසෙන්නට පටන් ගත්තේය. ඒ මොහොතේදීම තමා මේඅත්දකිමින් සිටින්නේ “ශිවගේ නර්තනය” ( Dance of Shiva ) බව ඔහුට පසක් විය.

ශිවගේ එක් දිව්‍යමය ස්වරූපයක් වන නටරාජගේ තාණ්ඩව නර්තනය මඟින් නිරූපණය කරන්නේ මෙම අන්තරීක්ෂ රංගනයයි. ශෛව සාහිත්‍ය තුළ එය අතිශය අලංකාරවත්ව වාගාලංකාරයට නඟා ඇත. සැබවින්ම ශිවගේ නර්තනයෙන් ප්‍රධාන වශයෙන් නිරූපණය කරන්නේ ශ්‍රිති (මැවීම, පරිණාමය), ස්ථිති (සංරක්ෂණය), සම්හාරා (විනාශය), තිරෝහ්හව (රැවටීම, ප්‍රතිමූර්තිය, මායාව), අනුග්‍රහ (මිදවීම, මෝක්ෂය) යන ජීවයට පොදු ධර්මතා පහකි. නර්තනයේ මුඛ්‍ය නිරූපණය වන්නේ අන්තරීක්ෂ ක්‍රියාකාරීත්වයයි. එනම් ශෛව සාහිත්‍ය දක්වන පරිදි ‘නටරාජ අතෙහි දරන බෙරයෙන් මැවීමද, බලාපොරුත්තුවේ හස්තයෙන් ආරක්ෂාවද, ගින්නෙන් විනාශයද, ඉහළට එසවූ පාදයෙන් මුක්තියද, එසවූ පාදය දෙසට යොමු කොට ඇති සතරවන අතින් ආත්ම නිස්සරණද සංකේතවත් වේ.

තාර්කික, විශ්ලේෂණාත්මක බටහිර චින්තනයේ සහ තිරුකේදීෂ්වරම් හිදී අත්දුටුවා වැනි ධ්‍යානමය ගූඪවාදී අත්දැකීම් සහිත පෙරදිග දර්ශනය අතර පවතින සමාන්තරතා අවබෝධ කර ගැනීම සහ ඒ අතර ඇති හිඩැස ජයගැනීම සත්‍ය වශයෙන්ම බුද්ධිමය ව්‍යායාමයකි. මානව චින්තන ඉතිහාසයෙහි වඩා සාධනීය වර්ධන සිදුවී ඇත්තේ එකිනෙකට වෙනස් චින්තන ධාරා දෙකක් එකට මුහු වීමෙන් බව සාමාන්‍ය සත්‍යයකි. මෙම ධාරා දෙකෙහි මූලයන් ඇත්තේ මානව සංස්කෘතියේ විවිධ කොටස්වල විවිධ කාලවකවානුවල සහ විවිධ සංස්කෘතික පරිසර තුළ හෝ විවිධ ආගමික සම්ප්‍රදායන් තුළ විය හැකිය. එහෙයින් එම ධාරා සත්‍ය වශයෙන්ම මුණගැසේනම්, එවා එකිනෙකට ඉතා සමීප ඥාතිත්වයක් දරයි නම් කෙනෙකුට විස්වාස කළ හැකි පරිදි එමඟින් නව වර්ධන ඇති වන බව දක්වන ‘වෙනර් හයිසන්බර්ගේ‘අදහස මෙම සංවාදය සඳහා අත්වැලක් සපයයි.

[දිනේෂ් දේවගේ]

මාතෘකා