මානෙල් සුවඳමය - කුඩමසු පිළී ගඳමය

 ඡායාරූපය:

මානෙල් සුවඳමය - කුඩමසු පිළී ගඳමය

'දේශපාලනය ලොව දෙවැනියට පැරැණිම වෘත්තිය වුවත් එය පළමුවැන්නට බොහෝ සමාන බව මට වැටහුණේ පසුව ය' යැයි වරෙක රොනල්ඩ් රේගන් පවසා ඇත. එය දැන් සැබෑ වෙමින් තිබේ. එය ශ්‍රී ලංකාවට පමණක් ලඝු කිරීම කොහෙත්ම නැත. ලෝකය පුරාම මේ වන විට පවතින යුද්ධ වලට හේතුව දේශපාලනය බව නොකිවමනාය. ආගමේ නාමයෙන් ලොව ඕනෑම තැනෙක සිදුවන ගැටුමක පසුබිම නිර්මාණය වන්නේ දේශපාලනික තීන්දු තීරණ නිසා ය.

දැන් කියන්නට යන්නේ ඒ දේශපාලනය නොමැති තැන මිනිසුන් එකිනෙකාට ආදරය කරනා ආකාරය ගැනය. උතුරේ හෝ දකුණේ හෝ ඕනෑම තැනක ජාතිවාදී ආගම්වාදී හැඟීම් ඇතිකරන, ඒ හැඟීම් මතුකරන දේශපාලකයින් නොමැති නම් උතුරත් දකුණත් සහජීවනයෙන් බැඳීම කිසිවෙකුට නතර කරන්නට බැරිය. එය උතුරේත් දකුණේත් අද වන විට ඔප්පු වෙමින් තිබේ.

මහපොළවේ පැළවෙන යථාර්ථය එයයි. නමුත් දේශපාලනය යැයි කියමින් ඕනෑම දෙයකිනි ළිස්සා යාමේ සම්ප්‍රදායෙන් ද දැන් බැහැර විය යුතුව ඇත. මේ සෑම ගැටලුවකටම හේතුවන තාවත් කාරණයක් ඇත. ඒ මිනිසාගේ මිනිසත්කම නමැති ඉහළ ගුණාංගය මිනිසුන් අතරින් දිනෙන් දින පිරිහී ගොස් තිබීමය.

විනිසුරු ඉලන්චේලියන් තවමත් ඔබට අමතකව ගොස් නැතැයි සිතමි.මේ කතා කරන ඉලන්චේලියන් විනිසුරුවරයාගේ ආරක්‌ෂාවට සිටි පොලිස්‌ සැරයන් හේමචන්ද්‍ර මහතා යාපනය නල්ලුර් ප්‍රදේශයේදී පිස්‌තෝලකරුවකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්‌ වී මියයෑමෙන් පසුව පොලිස්‌ සැරයන්වරයාගේ බිරිඳ සිය සැමියා බැලීමට යාපනයට පැමිණි අවස්‌ථාවේදී ඉලන්චේලියන් විනිසුරුවරයා හඬා වැළපුණු දසුන සමාජ මාධ්‍ය තුළ මෙන්ම විද්‍යුත් මාධ්‍යයේද පසුගිය කාලයේ හරි හරියට සංසරණය වන්නට විය.

හේමචන්ද්‍ර මහතාගේ බිරිඳ පැමිණෙන විට අත් දෙක එකට එකතු කොට සැරයන්වරයාගේ බිරිඳට වැඳ නමස්‌කාර කොට සමාව ඉල්ලීමට තරම් ඉලන්චේලියන් විනිසුරුවරයා නිහතමානී විය. ඔහු වැඳ වැටුණේ නිකම්ම නොවේ. සිය දෙදණ පොළවේ තබා වැඳ නමස්‌කාර කොට පැවසුවේ සැරයන්වරයා මියගියේ තමන් ආරක්‌ෂා කිරීමට ගොස්‌ බවයි. ඒ සමඟම ඉලන්චේලියන් විනිසුරුවරයා මහා හඬින් විලාප තබමින් හඬා වැටුණේ සිය හිස බිත්තියේ ගසා ගනිමිනි. ඔහුව අස්‌වසාලුවේ මියගිය සැරයන්වරයාගේ බිරිඳයි.

මානික්‌කවාසගර් ඉලන්චෙලියන් ඉතාම අඩු වයසකින් මේ රටේ විනිසුරු ධුරයට පත් අයෙකි. ඔහුගේ අභිප්‍රාය වූයේ නීතිය ආරක්‌ෂා කිරීමය. එහෙත් ඔහු සාම්ප්‍රදායික විනිසුරුවරයකු නොවීය. දමිළ ජාතිකයකු වුවත් ඔහුගේ ඒ හැසිරීම දකුණේ ජනතාවගේ හද සසල කරවන්නක් විය. එදා විනිසුරු ඉලන්චේලියන්ගේ මනුෂ්‍යත්වය , සංවේදීත්වය දකුණේ ජනතාව වැළඳ ගන්නට තරම් ප්‍රබල විය.එදා දමිළ ජාතිකයෙකු දකුණේ ජනතාව හදවතින්ම වැළඳගත්තා සේම දකුණේ සිංහල නිලධාරියෙකු උතුරේ දී හදවතින් වැළඳගත් ජනතාවකගේ හැසිරීම අපට පසුගිය දා දකින්නට ලැබුණි. එහි විශේෂත්වය වන්නේ ඔහු හමුදා නිලධාරියෙකු වීමත් ඒ නිලධාරියාගේ හදවත වැළඳ ගත්තවුන් එල්ටීටීඊ සංවිධානය කලක් නියෝජනය කළ මේවන විට පුනරුත්ථාපනය වෙමින් සිටින පිරිසක් වීමත්ය.

එලෙස හිටපු එල්ටීටීඊ සෙබළුන්ගේ නොමඳ ආදරය දිනාගත්තේ විශ්වමඩු සිවිල් ආරක්ෂක කඳවුරේ සේවය කළ කර්නල් රත්නප්‍රිය බන්දුය. කර්නල් රත්නප්‍රියගේ ස්ථාන මාරුව සැළවීමත් සමඟ ඒ පුනරුත්ථාපනය වන එල්ටීටීඊ සාමාජිකයින්ගේ නෙතගට ආ කඳුළ අව්‍යාජ නොවේ යැයි මිනිසත්කම දත් කිසිවෙකුට කිව නොහැක. එය එසේ වන්නේ තවකෙකු මරා දමා හෝ අරමුණ දිනාගත යුතුය යන සංකල්පය පමණක්ම බලෙන් කාවද්දා ඒ වෙනුවෙන් පෙළගැස්වූ පිරිසක් යළි සාමාන්‍ය ජන ජීවිතයට හුරු කරමින් ඔවුන්ට අරමුණක් පෙන්වන්නෙකු ලෙසින් කර්නල් රත්නප්‍රිය අව්‍යාජව කටයුතු කළ බව ඒ හිටපු එල්ටීටීඊ සාමාජිකයින් අවබෝධ කරගෙන තිබූ නිසාය. එය එසේ නොවන්නට කර්නල් රත්නප්‍රියගේ ස්ථාන මාරුව තවත් එක් ස්ථාන මාරුවක් පමණක්ම වනු ඇත. වෙනස එයයි.

එය එසේ වෙද්දී තමන් ආරක්ෂා කරන්නට ජීවිතය පූජාකළ පොලිස් කොස්තාපල් හේමචන්ද්‍ර වෙනුවෙන් විනිසුරු ඉලන්චේලියන්ගෙන් පිටවුණු කඳුළටත් එහා ගිය වටිනාකමක් තමන්ට ජීවිතට අරමුණක් පෙන්වූ හමුදා නිලධාරියෙකු වෙනුවෙන් එල්ටීටීඊ හිටපු සාමාජිකයින්ගේ ඇසින් වැටුණ කඳුළට ලබා දෙන්නට දකුණ සූදානම් විය යුතුය.

යුද්ධය නිමා වී වසර නවය හමාරක් ගිය පසුවත් හමුදා නිල ඇඳුමෙන් සිටියදී එංගන්තයේ දී ද්‍රවිඩ ඩයස්පෝරා සාමාජිකයින්ගේ උද්ඝෝෂණයක් ඉදිරියට ගොස් මරණයේ හස්ත මුද්‍රාව පෙන්වූ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දුලාගේ හැසිරීමත් පුනරුත්ථාපනය වෙමින් සිටින එල්ටීටීඊ සාමාජිකයින් පිරිසක් විසින් කර්නල් රත්නප්‍රිය බන්දු වෙනුවෙන් හෙළූ කඳුළත් අද තරාදියකට දමා ගතහොත් මනුෂ්‍යත්වයේ නාමයෙන් ඒ එල්ටීටීඊ සාමාජිකයින්ගේ පැත්ත බර වැඩි වනු ඇත. ඒ බරට නිසි බරක් දෙන්නට දකුණ සූදානම් විය යුතුය.

මන්ද අද වන විට දකුණ මෙන්ම උතුරද යුද්ධය ප්‍රතික්ෂේප කරමින් සිටී. එ බැවින් රට යළි යුද්ධයකට ගෙනයනවාට වඩා රටේ සාමය වෙනුවෙන් මිනිසුන් දිනා ගැනීමේ කලාව දන්නා වුන් ඉදිරියට ආ යුතුය. එවිට විනිසුරු ඉලන්චේලියන්ලා , කර්නල් රත්නප්‍රිය බන්දුලා මෙන්ම බ්‍රිගේඩියර් ප්‍රියන්කරාලා “මානෙල්ද” එසේත් නැතිනම් “කුඩමසුන්ද” යන්න ඔබ තීරණය කළ හැකිවනු ඇත. ඒ තීරණය ඔබ සතුය.

[දිලංක ගුණතිලක]

මාතෘකා