අගෝස්තු 08 හැරවුම් ලක්‍ෂ්‍යය

 ඡායාරූපය:

අගෝස්තු 08 හැරවුම් ලක්‍ෂ්‍යය

ජීවිතය යනු පූර්ව සැලසුමක් සහිතව සකස් කළහැකි දෙයක් නොවේ යැයි මම කවදත් විශ්වාස කරනවා. එයට හේතුව වන්නේ ජීවිතයේ සමහර සිදුවීම් අප කිසි දිනෙක බලාපොරොත්තු නොවූ ඒවා ලෙස අපේ ජීවිත ඇතුලේ සිදුවීම. අප බොහෝ දෙනෙකුගේ ජීවිතවල එවැනි සිදුවීම් බහුලයි. ඒවායේ හේතු ඵල සම්බන්ධතාවක් අදටත් හොයන්න බැහැ. ඒ ජීවිතයේ හැටි. මෙවැනි සමහර සිදුවීම් අපේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ බවට පත්වන්නේ අපට නොදැනීමයි. ඉන්දියානු යෝගීවරයෙකු වන ජග්ගී වාසුදේව් (Jaggi Vasudev) හෙවත් සද්ගුරු, ජීවිත ගැන විටෙක පවසන්නේ මෙහෙම. “ජීවිතය බරපතළ දෙයක් ලෙස ගන්න එපා. එය සරල නාටකයකි.” කියලා. ඇත්ත ජීවිතයේ නාටකීය අවස්ථා බහුල තමයි.

අගෝස්තු 08 කියන්නේ මගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂයක් සටහන් කළ දවසක්. පුවත්පත් වාර්තාකරුවෙක් වගේම විවිධ නිබන්ධ පුවත්පත්වලට සපයන්නෙකු ලෙස ගෙවා දමමින් තිබූ ජීවිතය වෙනත් මාධ්‍යයකට හරවා ලූ දවස එදා. ඒ ගුවන් විදුලි මාධ්‍යයට. පුහුණුව ලබන නිෂ්පාදකයෙක් ලෙස පුහුණුවට මා කැඳවන්නේ එදා. ඒක දිග ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. සම්මුඛ පරීක්‍ෂණ දෙකක්. කටහඬ පරීක්‍ෂණයක්. ලිඛිත පරීක්‍ෂණයක් හරහා තමයි එතනට එන්නේ. කටහඬ පරීක්‍ෂණය දවසේ මිතුරෙකුගෙන් හරි අපූරු උපදෙසක් ලැබුණා. කටහඬ පරීක්‍ෂණයට මැදිරියට යන්න කලින් “ප්ලේන් ටී එකක් බීලා සිගරට් එකක් බීලා පලයන්. එතකොට කටහඬේ සෙම ගතිය යනවා.” මේ මහඟු උපදේශය පසෙක තියා මා කටහඬ පරීක්‍ෂණයට මුහුණ දුන්නද මා එයින් සමත් වී තිබුණා. කෙසේ වෙතත් අගෝස්තු 08 දා පුහුණුව ලබන වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස ගුවන් විදුලි සංස්ථාවේ උස මහත යකඩ ගේට්ටුවෙන් ඇතුළු වෙනකොට මට ඇතිවුණේ බයක්. මට ඉවෙන් වගේ දැනුණේ මේක මහා වගකීම් සහගත වැඩක්. හුදෙක් අධ්‍යාපන සුදුසුකම් පමණක් සපුරා ඇති, ගුවන් විදුලි මාධ්‍යය ගැන අන්දෝ සංසාරයක් නොදන්නා, කොළඹින් බැහැර හිරිමල් වියේ තරුණයෙකු වුණ මට මේක අමුතු දෙයක්.

හැබැයි ඒ වෙනකොට මට ගුවන් විදුලි මයික්‍රෆෝනය යම් තරමකට හුරු වෙලා තිබුණා. ඒ ගුවන් විදුලි සංස්ථාවේ තුන්වන ප්‍රාදේශීය සේවය වන “කඳුරට සේවයේ” වැඩසටහන් කිහිපයකට පිටපත් කියවන්නෙක් ලෙස සහභාගි වෙලා තිබුණ නිසා. ඒ අවස්ථාව මට ලබා දුන්නේ මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස. එතකොට ඔහු කථිකාචාර්යවරයෙක්. ඔහු ආරාධිත නිෂ්පාදකවරයෙක් ලෙස කළ වැඩසටහනකට තමයි එහෙම සහභාගිවුණේ. ඊටත් කලින් මගෙ මිතුරෙකු වුණ චූලා, චූලාභය ශාන්ත කුමාර හේරත් මහනුවර සේවයට නාට්‍ය පිටපතක් ලියා එය පටිගත කරන දවසේ මාවත් රැගෙන ගියා ඒක නරඹන්න. ඒක චූලා මහනුවර සේවයට ලියුව මුල්ම නාට්‍ය පිටපත. රඟපෑවේ සුමනා ජයතිලක, එස්. ලියනගේ, නන්දසේන දන්තුරේ ජයසේකර එක්ක චූලා. පටිගත කිරීම බලාගෙන ඉන්න මටත් රාජකාරියක් පැවරුණා. ඒ නාට්‍යයට අවශ්‍ය අශ්ව කරත්ත ශබ්දයක් වෙනුවෙන් අලුතෙන් ඉදිකල මැදිරියේ පැත්තක දමා තිබුණ කොම්ප්‍රෙෂර් යන්ත්‍රයක් එහාට මෙහාට තල්ලු කරන්න. ඒ තමයි ගුවන් විදුලිය සඳහා මගේ පළමු මැදිහත් වීම.

කෙසේ වෙතත් හීනයකවත් නොතිබුණු ගුවන් විදුලි සන්නිවේදකයෙක් වීම අගෝස්තු 08 දා මං විසින්ම බරටම ගත්තා. කොළඹ ගුවන් විදුලි සංස්ථාවේ දිග කොරිඩෝ, විශාල කුළුණු, පැරණි මැදිරි දකින විට මට දැනුණ බිය හිමින් වැඩි වෙන්න පටන් ගත්තා. පුහුණුව පටන් ගත් මොහොතේ එවකට අධ්‍යක්‍ෂ ජනරාල් හැටියට හිටිය කරුණාරත්න වීරමන් මහතා හරි අපූරු කතාවක් කිව්වා. “තමුසෙලා මේ ඇවිත් ඉන්නේ පිස්සන් කොටුවට. මෙතන තමයි යුද්දෙට කලින් මානසික රෝහල තිබුණ තැන. දැන් ඒක නැති වුණත් ඒ ගතිය තවම මේ භූමියේ තියෙනවා. ඒ නිසා මම වඩාත් කැමතියි පුහුණුවෙන් පස්සේ මේ දොළොස් දෙනා ප්‍රාදේශීය සේවා වලට වගේම ප්‍රජා ගුවන් විදුලි වලට යවන්න.” කාලයක් වැඩ කරගෙන යද්දි ඒ කතාව ඇත්තක් කියලා නොසිතුණත් නොවෙයි. කොහොම වුණත් පුහුණුව ලබන අතරේ මගේ අවධානය යොමු වුණේ මේක ගැන හදාරන්න. පුහුණුකරුවන් වුන විජයානන්ද ජයවීර, බර්ටි ගලහිටියාව, තිලක සුදර්මන් ද සිල්වා, ප්‍රේමකීර්ති අල්විස්, එච්. එම් ගුණසේකර වැන්නවුන් ගුවන් විදුලිය ගැන කියා දුන්නේ අසන්නා සිංහාසනාරූඪ කරලා. ඒ නිසාම ගුවන් විදුලිය ගැන අපේ කියවීම වෙනස් වුණා. ඒ නිසාම අපි හැම වෙලේම හිතුවේ ගුවන් විදුලිය කියන්නේ අසන්නාට අයිති දෙයක් කියලා. අද මේක වෙළෙන්දන්ට අයිති දෙයක් වුණාට ඇත්තටම මේක අයිති අසන්නාට. අද බොහෝ ගුවන් විදුලි නාළිකාවලට අසන්නා කියන්නේ විකුණන්න පුළුවන් “භාණ්ඩයක්.” ගුවන්විදුලි විකාශණයක් කියන්නේ සුපර් මාර්කටි එකක්.

[කපිල එම්. ගමගේ]

මාතෘකා