කොයි දරුවත් දරුවෙක් !

 ඡායාරූපය:

කොයි දරුවත් දරුවෙක් !

මා අභියසට පැමිණි අවුරුදු 8 ක් වයසැති කුඩා පැංචාගේ අතේ තිබුණේ ගෙදර මිදුලෙන් (වෙරළෙන්) අහුලා ගත් සිප්පි කටු ගොඩක් සහ චිත්‍රයකි... "මේ බලන්න ඩොක්ටර් මේවයේ එක එක රටා තියෙනවා..." සිප්පිකටු ගොන්නත් චිත්‍රයත් මට බව කියයි. චිත්‍ර ගැන කියා දී, ඝනකම් කොළ සපයා, ඔහුගේ උනන්දුව වැඩි කරපු මට ලැබුණු තෑගිය. "ඩොක්ටර්ට ගෙනියන්න කියලා දවස් ගාණක් තිස්සේ චිත්‍රේ ඇන්දා" මව කිවාය.

ඔහුගේ පියාද දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. නමුත් කරන්නේ මුහුදු යෑමයි....ඒ පවුලේ දරුවන් තිදෙනෙකි. නමුත් දෙදෙනෙක්ම තැලසීමියා රෝගී දරුවන් ය. ඉතින් මේ අම්මා මාසයක් පතා ඔවුන් ඉපදී මාස කීපයක් ගිය තැන සිට රෝහලට මේ දරුවන් සමග ලේ දෙන්න, යකඩ අඩු කරන බෙහෙත් ගන්න පැමිණේ.

"ඇයි චිත්‍රවලින් ආදායමක් එන දෙයක් කරන්නේ නැත්තේ " ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්ණවලට සහනයක් ලෙස මේ ඒකකයේ තැලසීමියා රෝගීන්ගේ අරමුදලෙන් මාස් පතා රු 6000 පමණ මුදලක් පවා ලබා දෙන නමුත්, මුහුදු යෑම ස්ථාවර රස්සාවක් නොවන නිසා ඔවුන් අප අභියස දිග හරින ඔවුන්ගේ දුක් අඳෝනා අසාගෙන විඳගන්නත් වෙන්නේ අපටමයි.

රටේ අනිත් කොන වන උතුරු ප්‍රදේශයේදී මට හමුවුනු සුභාෂන් ( අන්වර්ථ නමකි) මතක් වේ. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහනයට ලක්ව ළමා සොල්දාදුවන් ලෙස යුද්ධයට මැදි වූ ඔවුන් යන්තම් දිවි ගලවාගත්තේ අවසාන යුද්ධයේදීය. යුද්ධය හමාර වූවාට පසු පුනුරුත්ථාපන කඳවුරේ සිටි ඔහු, එහි සිටි දරුවන් හට උපදේශන සේවාව සැපයු අපට නිතර මුණ ගැසිනි. සුභාෂන් චිත්‍ර ඇඳීමේ දක්ෂ දරුවෙකි. තමාටත් වඩා බර ගිනි අවිය දී ඔහුගේ සියලු කුසලතා හැකියාවන් ත්‍රස්තවාදය විසින් විනාශ කර තිබුණේය. නමුත් අප හමුවේ, පාට පැන්සල්, පාට තීන්ත පින්සල් ලැබ බොහෝ අලංකාර ලෙස අප ඒකකයේ බිත්ති පුරා චිත්‍ර ඇන්දේය

ඒවා. අති විශාල බොහොම උසස් ගණයේ චිත්‍රෙ! ඔවුන් ලියූ කවි සියල්ල අප අතට පත්කරේ බොහොම ලොකු සතුටකින්. ඒ කවි අතර , "අපට නව ජීවිතයක් ලැබුණා" යන අදහස තිබුණ කවි වගේම, අපි මළකඳන් වගේ කියාත් ලියා තිබුණා. ඒ කවි පොතක් වශයෙන් පළ කළා අපේ විශේෂඥ වෛද්‍යවරයා.

අනිත් කොනේ මට හමුවූ සුභාෂන් ද, රටේ මේ කොනේ රෝහලේ හමුවූ කුඩා පැංචාද බොහෝම දක්ෂ දරුවන් ය. සුභාෂන් බැට කෑවේ ආයුධ යුද්ධයෙනි, කුඩා පැංචා බැට කන්නේ ආර්ථික යුද්ධයෙනි. මට දුක මේ දරුවන් ඔවුන්ගේ දක්ෂතාවයන්ගෙන් ප්‍රයෝජන නොගෙන දෙමාපියන් සේ කුලී වැඩ කරන්නට පෙළඹුණොත් කියාය.

අනිත් කොන දී හැම මසකදීම මානසික ඒකකයේ සායන වලදී හමුවූ ගැහැණු ළමුන් දෙදෙනා මට මතක් වේ. ඔවුන් දෙදෙනාම මානසික ආතතියට ලක්ව අප සායනයෙන් බෙහෙත් ගන්නා අයයි. එක් අයෙක් උපතින්ම මානසික අබාධිත තත්වයට පත්වූ අයෙක් වන අතර ආදරයෙන් රැක බලාගන්නා මවගේ උත්සහයෙන් ජීවත් වේ. පියා ඇයව නොසලකා හැර ඇත.

"ඩොක්ටර් මේ මම මහපුවා " පිළිවෙළක් නැති මුත් මසා ඇති කොට්ට උර අප වෙත ගෙන එමින් ඈ පවසයි.

ඉතා උස, මහත ඇය හොඳ මනසකින් සිටියානම් නෙට්බෝල්, බාස්කට්බෝල් වැනි උස ප්‍රයෝජනයට ගත හැකි ක්‍රීඩාවක යෙදෙන්නට තිබුණි. "තාත්තා මට ආදරේ නෑ. මං දිහා බලන්නෙවත් නෑ " හැමදාම එකම චෝදනාවය.

" ෂා දැන් හරි ලස්සනයිනේ... ගෙදරදි තරහා ගත්තේ නෑ නේද මේ මාසේ..." මගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඇගේ මුහුණ ප්‍රසන්න හිනාවකින් පිරීයයි. ඉස්සරහට ඇදී ඇති දත් ඇඳි පොඩි කාලෙම හරි ගැස්සුවානම් මේ දරුවා කොච්චර ලස්සනද ? මට සිතිණි.

ඔවුන්ට උවමනා අගය කිරීම් ය. පැසසුම් ය. මුළු දිවියම දුක්බර වුණු ඒ දරුවන් හට අපෙන් එවැනි සහනයක් ලැබේනම් ඒ කොයිතරම් හොඳයිද මට සිතුණා. ඒ මැහුම් ගෙතුම් වැඩ ඈ ආසාවෙන් කරන දේ නිසා අපි හැම ඇයට ප්‍රශංසා කෙරුවෙමු. "දුව උස මහත කළු නිසා ගොඩක් දුකෙන් ඉන්නේ, තාත්තා මේ දරුවා නොසලකා හැරියත්, මෙයාගේ හැඩරුව තාත්තා වගේමයි ඩොක්ටර්" ඒ අම්මා හඬා වැටේ.

කොයි දරුවත් දරුවෙක්... අපේ සමහර වැඩිහිටියන් හැම දරුවෙක් කෙරෙහිම එකම සෙනෙහසින් ක්‍රියා කළද බොහෝ අය එසේ නොවේ. අවුරුද්දකට සැරයක් ලෝක ළමා දින සැමරුම් වලදී දරුවන්ට ටොපි චොකලට් තෑගි දෙන සමාජසේවා ආයතන වලින් උනත් මීට වඩා යමක් දරුවන් වෙනුවෙන් කළ හැකියි කියා මා සිතනවා. සෑම ගමකම, නගරයකම ප්‍රජා සෞඛ්‍ය සේවා ආයතන මගින් දරුවන්ගේ මානසික වර්ධනය මෙන්ම ඔවුන් ජීවත්වෙන වටපිටාවෙන් දරුවන්ට එල්ලවන බාධා අනතුරු පිළිබඳ සොයා බැලුවොතින් කොයි තරම් හොඳද කියා මට සිතේ.

සමාජය දරුවන්ට කොහෙත්ම හිතකර නොවේ. ඔවුන් බිලි ගන්නා රකුස් වෙස් ගත්, වැඩිහිටියන් ද, මත් ද්‍රව්‍ය මත් පැන් මෙන්ම සමාජ විරෝධී අගතිගාමී ක්‍රියාවන්ද අවටින් හමුවේ. කොයි දරුවත් දරුවෙක්! ඒ නිසා මේ සමාජය සියලු දරුවන් වෙනුවෙන් යහපත් තැනක් කරමු.

වෛද්‍ය [බෝධිනී සමරතුංග ]

මාතෘකා