අපි රෝහලේ ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ පිරිසිදුකමටයි

 ඡායාරූපය:

අපි රෝහලේ ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ පිරිසිදුකමටයි

අම්පාර රෝහල් අධ්‍යක්ෂ ලංකා ජයසිංහ

අම්පාර මූලික රෝහල 2000 වර්ෂයේදී රෝග බෝ කරන ස්ථානයක් යැයි ප්‍රදේශවාසීහු හැඳින්වූහ. රෝහලේ තිබූ අපිරිසිදුකම ඊට හේතු විය. රෝහල කැලෑවකින් වටවී තිබීම නිසා මදුරු ගහනය වැඩි වී එය රෝගීන්ට නොව වෛද්‍යවරුන්ට පවා විසීමට නොහැකි ලෙස වල් වැදී තිබුණි. ගවයින්ගේ හා රිලවුන්ගේ වාසස්ථානයක් වී තිබූ අම්පාර රෝහල අද සිංගප්පූරුවේ සුපිරි රෝහලකට සමාන දියුණුවක් ලබා තිබේ. එය නොසිතූ ඉක්මනින් ජාතික තලයේ සම්මාන කීපයක් ලබාගත්තේය. මෙතරම් ඉක්මනින් රෝහල සංවර්ධනය වීම පිළිබඳ අවට ජනතාවට ඇත්තේද කුතුහලයකි. අම්පාර රෝහල සංවර්ධනය වන්නේ 2000 වර්ෂයේ ඔක්තොබර් 10 වන දින රෝහලේ නව අධ්‍යක්ෂකවරයා වශයෙන් පත්වූ වෛද්‍ය ලංකා ජයසිංහ නම් ජීවක වෛද්‍යවරයා නිසාය. මේ, අප ඔහු සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකි.

රෝහලේ අතීත තත්වය සහ වර්තමාන තත්වය කෙහොමද?

මම රෝහලට එන විට රෝහලේ ඇඳන් 225යි තිබුණේ. රෝහලේ සමස්ත සේවක මඩුල්ල 300ක් පමණයි සිටියේ. අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහල නිසා පැමිණෙන ලෙඩුන්ට බෙහෙත් කරන්න සේවකයන්, ගොඩනැගිලි මදි වුණා. රෝහලේ කාර්ය මණ්ඩලයද හුරු වී සිටියේ අලස විදියටයි. මේ රෝහල වර්තමාන තත්වයට ගේන්න මේ රෝහලේ සියලුම සේවකයන්ගේ උපකාර ලැබුණා. කාර්ය මණ්ඩලයේ විනය, ආකල්ප, සිරිත් විරිත් වෙනස් කළා. එස් පහ වැනි වැඩසටහන් ක්‍රියාත්මක කළ නිසා දවසින් දවස රෝහලේ අධ්‍යාත්මික පැත්ත දියුණු කළා. අපි මසකට වරක් කාරක මඩුල්ල සමඟ රෝගීන්ට වඩාත් සේවාවක් සලසන්නේ කෙසේද කියා සාකච්ඡා කරනවා. සෞඛ්‍ය අමාත්‍යංශය හරහා විශාල ආධාර අපිට ලැබුණා. අද වන විට රෝහල් සේවක මණ්ඩලය 1100ක් ඉන්නවා. ඇඳන් සංඛ්‍යාව 677ක්. වෛද්‍යවරුන් 146ක්. විශේෂඥ වෛද්‍යවරු 23ක් සහ හෙදියන් 358ක් මෙහි ඉන්නවා. දැන් අම්පාර මහ රෝහලෙන් ප්‍රතිකාර සඳහා දිනපතාම පැමිණෙන රෝගීන් සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. සුබසාධක සංගම්වල සහායෙන් අබලන්ව තිබූ ගිලන් රථ අපිම හැදුවා, කුඩා වඩුමඩුවක් ඉදිකර අබලන් වූ පුටු මේස අපිම හැදුවා.

රෝහලට සම්මාන කීපයක් ලැබුණා නේද?

ආසියානු පැසිපික් තත්ත්ව සම්මානය, ලංකාවේ ඉහළම ප්‍රමිතියක් ඇති රෝහල, ජාතික ඵලදායිතා සම්මානය, ජනාධිපති සම්මානය, ජාතික තත්ත්ව සම්මානය ඇතුළු විවිධ සම්මාන 30ක් පමණ ලැබී තිබෙනවා. මේ සියලුම සම්මාන හිමි වුයේ මගේ කැපවීම නිසා නෙමෙයි, සමස්ත කාර්ය මණ්ඩලයේ කැපවීම හා පළාත් සෞඛ්‍ය අයතනයෙන් ලැබුණු සහයෝගය නිසයි. විශේෂයෙන්ම ජපන් S5 සංකල්පය ආරම්භ කළෙත් මෙම රෝහලෙන්.

රෝහල අගයීමට ලක්වූ වැඩසටහන් මොනවාද?

අපි මූලික වශයෙන් රෝහලේ ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ පිරිසිදුකමටයි. රෝහලේ සේවක මඬුල්ලට දින බෙදාදී තිබෙනවා. මුළුතැන්ගෙයි හා ආපන ශාලවේ ඉවත් කරන කුණුවලින් බයෝ ගෑස් නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කළා. අම්පාර ප්‍රදේශයේ දැඩි සූර්ය රශ්මිය නිසා සූර්ය බලයෙන් විදුලිය ලබාගැනීමේ වැඩසටහන මෙ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ සියල්ල සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

හෘද සැත්කම් පිළිබඳව දැන් තිබෙන ප්‍රගතිය කොහොමද?

හෘද රෝග කියන්නේ ඉතාමත් බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඒ නිසාම අපි සෞඛ්‍ය අමාත්‍යංශයේ සහාය ඇතිව නව හෘද රෝග ඒකකයක් පසුගිය වර්ෂයේ ඉදි කළා. හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු පමණ අපිට ඉන්නවා. හෘද ධමනි, ශිරා පිළිබඳ විශේෂ ඒකකයක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ හෘද රෝග සම්බන්ධයෙන් විශේෂ වූ ඒකකයක් සඳහා තිබෙන්නේ මේ රෝහලේ විතරයි.

හෘද සැත්කම් කඩිනම් කළ හැකිද?

අනිවාර්යයෙන් කඩිනම් කළ යුතුයි. හෘද රෝගීන් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ සමඟ අංග සම්පූර්ණ රෝහලක් කොළඹ සහ කොළඹින් පිට ඉදි කළ යුතුයි. සැත්කම්වලට යන්න පෙර ජනතාව හෘද රෝගවලට යොමු වීම වැළැක්විය යුතුයි. එදිනෙදා ජීවිතයේ ආහාර ගැනීමේ සිට නින්ද දක්වා පුරුදු පිළිබඳ ග්‍රාමීය මට්ටමෙන් අවබෝධයක් ලබාදිය යුතුයි. අම්පාර හෘද සැත්කම් ඒකකයේ වැඩ සම්පූර්ණයෙන් අවසන් වූ පසු මේ පළාතේ ජනතාවට මෙහෙ ඉඳන් බෙහෙත් කරන්න පුළුවන්.

සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන ඔබගේ අදහස් මොනවද?

හෘද, වකුගඩු, පිළිකා රෝග සඳහා මෙතෙක් රෝහල් තුළ තිබූ වෛද්‍ය පහසුකම් දියුණු කළ යුතුයි. නව ගොඩනැගිලි ඉදිකිරීම අවශ්‍යයි. මොකද විශාල රෝගීන් ප්‍රමාණයක් මෙම ගණයේ රෝග නිසා පීඩාවට පත්වී තිබෙනවා. මෙම රෝගවලට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් කිසිදු අඩුවකින් තොරව යොදවන්න අවශ්‍යයි. රටේ බොහෝ රෝහල්වල පහසුකම් නැතිවීම නිසා බොහෝ රෝගීන් අසරණ වෙනවා. රටේ දුප්පත් ජනතාවට ඇති එකම සම්පත රජයේ රෝහල්. ඒ නිසා මේවා දියුණු කළ යුතුයි. රජයේ පැත්තෙන් විතරක් නෙමෙයි, රෝහල් සේවකයන්ගේ විනය ගොඩනැගිය යුතුයි. ඔවුන්ගේ වෘත්තියේ ඇති වටිනාකම ඔවුන්ට පැහැදිලි කළ යුතුයි. ලෝකයක් ආරක්ෂා කරන සේවාවක් ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පූර්ණ සංවර්ධනයක් කරන්න අවශ්‍යයි.

[අසේල ලියනගේ]

මාතෘකා