සාර සාරන්දීපය

 ඡායාරූපය:

සාර සාරන්දීපය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය කළ පළමු බුවනෙකබාහු රජු (ක්‍රිස්තු වර්ෂ 1273-1284 ) දවස එනම් ක්‍රිස්තු වර්ෂයෙන් 1283 වැන්නේදී රාජ්‍ය දූත කණ්ඩායමක් මිසරය බලා මාතොටින් නැව් නැංගේය. ඔවුන්ට නියමිත රාජකාරිය වූයේ ලංකාධීශ්වරයාගේ පණිවිඩය අල් - හජ අබු උත්මන්ගේ මාම්ලුක් රජවාසලට රැ‍‍ගෙන යාමය.

‘‘සාරන්දීපය සහ ඊජිප්තුව යනු නිවුන් සෙහොයුරන්ය. ඊජිප්තු තානාපතිවරයා මා‍ගේ නියෝජිත තනාපතිවරයෙකූ කැටුව ගොස් ඔහුගෙන් අනතුරුව තවකෙකු වශයෙන් ඒඩන් නුවර වාසය සඳහා රැඟෙන යන්නේ නම් මම මහත් කැමැත්තෙමි. මට විවිධ වර්ගයේ වටිනා මුතු මැණික් සම්භාරයක් හිමිය. අලි ඇතුන්ද, නෞකාද, කපු පිළිද, බැසිල් දැවද, කුරුඳු ද අරාබි වෙළඳුන් විසින් ගෙන එන අන් නනා වෙළඳ බඩුද මා සන්තකය. මගේ රටේ ඇති ශාකයන්හි දැව හෙලි සැකසීමට බෙහෙවිස්ම සුදුසුය. සුල්තාන්වරයා විසින් මගෙන් ඔරු විස්සක් වාර්ෂිකව තනාදෙන ලෙස ඉල්ලා සිටියහොත් මම මහත් ගෞරවයෙන් එම ඉල්ලීම ඉටුකර දෙමි. මෙරටේ සිටින වෙළඳුන්ට මගේ රාජධානියේ කිසිදු බාධා අවහිරවීමකින් තොරව නිදහසේ වෙළඳාමේ යෙදිය හැකිය. යේමන් කුමාරයා විසින් මිත්‍රත්වයේ දෑත මාවෙත යොමු කළත්, එකී පණිවිඩය රැඟෙන ආ නියෝජිතයා මා හරවා යැවූයේ සුල්තාන්වරයා කෙරෙහි පවතින හෘදයාංගමභාවය නිසාය. නේක වර්ගයේ වටිනා මුතුමැනික් වලින් සහ වස්තු සම්භාරයෙන් පිරවූ කෝෂ්ටාගාර වලින් ආඪ්‍ය බලකොටු විසිහතක් මා සන්තකය. මුතු ධීවර සාගර කලාපය ඇත්තේ මගේ ආධිපත්‍ය යටතේය. එයින් උද්ධරණය කරන සියල්ලකම හිමිකම මා සතුය.’’ යනුවෙන් 13 වන ශතවර්ෂයේ ලියැවුණු අරාබි පත් ඉරුවක එකී පණිවිඩය සඳහන් වෙයි.

එවකට රටේ පැවති ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ දේශපාලන බලය තහවුරු කරමින් එහි කීර්තිය නංවා ගැනීමට එවකට බැග්ඩෑග් නගරයට වඩා දේශපාලනික බලවත් වූ ඊජිප්තුව හා සෘජු සබඳතා පැවත්වීමෙන් හැකියාවක් ලැබෙන බව රජතුමාගේ විදේශීය වෙළඳාම සම්බන්ධ උපදේශකයන් ඔහුව දැනුවත් කරන්නට ඇත.

‘සාරෙන්දිබ්’ නැතිනම් ‘සිලේදීබා’ හෝ ‘සෙයිලාන්’ නමින් අරාබි ජතිකයින් විසින් හඳුනාගෙන තිබූ ශ්‍රී ලංකාව සහ මැද පෙරදිග අතර පැවති වෙළඳ සබඳතාවල ඉතිහාසය ඊටත් පැරණි කාලයක සිට වර්ධනය වී තිබිණි.

ක්‍රිස්තු වර්ෂ 7වන සියවසේ දී මුස්ලිම්වරුන්ගේ බලය මැදපෙරදිග කලාපය තුළ වර්ධනය වත්ම ඔවුන්ගේ ආධිපත්‍ය ජිබෝල්ට‍්‍රාවේ සිට ඉන්දුනිම්නය දක්වා පැතිරිණ. මධ්‍යධරණී කලාපය සහ නැගෙනහිර අතර සිදුවූ මුහුදු වෙළඳමාර්ගයේ ආධිපත්‍යද මුස්ලිම්වරු හිමිකරගත්හ. ලංකාව පිහිටියේ මෙම මුස්ලිම් ලෝකය සහ නැගෙනහිර කලාපය අතර මංසන්දියකය. මේ පසුබිම තුළ ශ්‍රී ලංකාව සමඟ පැවති මුස්ලිම් වෙළඳාම නිම්නෝන්තිකව පැවතෙමින් 15 වන ශතවර්ෂය තුළ දී පූර්ණ අධිකාරයක් හිමිකර ගත්තේය.

මුස්ලිම් වෙළෙන්දන් ශ්‍රී ලංකාව වෙත ආකර්ශනය වූයේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවෙන් ජනනනය වූ වටිනා මුතු මැණික් නිසාය. එමෙන්ම කුරුඳු, අලි ඇතුන්, ඔෟෂධීය පැළෑටි, පබළු වර්ග වැනි වෙළඳ ද්‍රව්‍ය ශ්‍රී ලංකාවෙන් ගෙනගිය බව අරාබි මූලාශ‍්‍රවලින්ද හෙළිවෙයි. මුස්ලිම් වෙළෙන්දෝ අග්නිදිග ආසියානු රටවලින් ආනයනය කළ සේද සහ පෝසිලේන් භාණ්ඩ ලබාගැනීම සඳහා මෙරටට පැමිණියහ. ශ්‍රී ලංකාව ‍සෛන්දවයන්, විදේශීය සළුපිළි, සාම්බ්‍රානි වැනි සුවඳකාරක, සුවඳ විලවුන් වර්ග, රන් සහ රිදී වැනි දේ මැදපෙරදිගින් මෙරටට ආනයනය කෙරිණි. දහවන ශතවර්ශයේ සිටි මුස්ලිම් ලේඛකයන් වන ඉස්තකාරී, ඉබ්න් හව්ක්වාල් සහ මක්දිසි යන ලේඛකයන් සාරන්දීපය මුස්ලිම් වෙළඳ නාවිකයන්ගේ ගමනාන්තය වශයෙන් දක්වා ඇත. එමෙන්ම මෙරට නිපදවූ කිතුල් පැණි වලට ද සුල්තාන්වරු සහ අරාබී කුලීනයෝ ලොබ බැන්දහ.

එමෙන්ම බුෂුර්ග් බී ෂාහිරියර් විසින් රචිත අජීබ් අල් හින්ද් හෙවත් ‘විශ්මිත ඉන්දියාව’ නැමැති කෘතියෙහි එන සඳහනක් ශ්‍රී ලංකාවේ වෙළඳ භෝගයක් වශයෙන් කුරුඳු වගා කළ බවට සාක්ෂි සපයයි. මෙරටේ උපන් මැණික් සහ එම කර්මාන්තය පිළිබඳ අරාබීන්ට මනා අවබෝධයක් පැවති බව දහවන ශතවර්ෂයේ දී ඉබන් වහාබ් ගේ සඳහනකින් පැහැදිලි වෙයි. අරාබීන් ඔවුන්ගේ ලබ්ධිය හා සම්බන්ධ වැදගත් ඓතිහාසික ස්ථානයක් වශයෙන් සැලකූ ශ්‍රී පාදස්ථානය වැඳපුදාගැනීම සහ වටිනා මැණික් වර්ග ලබාගැනීමට සඳහා රත්නපුරයට පැමිණ ඇත. දහවන ශතවර්ෂයේ දී ශ්‍රී පාදය වන්දනය කළ පළමු අරාබි ජාතිකයා වන අබු අබ්දුල්ලා ඉබන් අල් කාෆිෆ් ශ්‍රී පාදය වන්දනා කොට විශාල ප්‍රමාණයේ මැණික් කැට දෙකක් රැගෙන නැවතත් සියරට බලා ගොස් එරටේ රජතුමාට තෑගි කළ බව ඉබන් බතූතා සඳහන් කරයි.

බටහිර ආසියාවෙන් ආනයනය කරන සුවඳ විලවුන් සහ සුවඳකාරක සඳහාද මෙරටේ විශාල ඉල්ලුමක් පැවිති බව සද්ධර්මත්නාවලියෙහි එන සඳහනක දැක්වේ. එයට අනුව මෙරටට ආනයනය කළ කොකුම් (කුංකුම), යොන් පුප් (සඳුන්), තුවරලා (කට්ටකුමංජල්), සහ තුරුක් තෙල් (තුර්කි තෙල්) සඳහා ලාංකීය කතුන්ගේ විශාල ඉල්ලුමක්ද තිබී ඇත.

මාතෘකා