ලෝකෙම එලිය වෙන්නේ එහෙමයි

 ඡායාරූපය:

ලෝකෙම එලිය වෙන්නේ එහෙමයි

ඉර,හඳ,තරු නිසා හැරුනම මේ ලෝකෙම එළිය වෙන්නෙ ගැහැණිය නිසා කියල කිව්වොත් ඒක විහිලු කතාවක් වෙයිද ? සමහරු කියයි "ඇයි කරන්ට් තියෙන්නෙ " කියල.මම සඳහන් කළ "එළිය" වචනයේ අර්ථයෙන් ආලෝකය නෙමෙයි .ඒ ඔබට තේරුම් ගන්න පුලුවන් තව ටිකක් ඉදිරියට කියවගෙන යද්දි.

මම මෙහෙම පටන් ගන්නම්.ඇත්තටම මේ ලෝකෙ ජීවය පවතින්නෙ ස්ත්‍රී ශරීරය නිසා.ඒවගේම ගැහැණු ජීවිතයේ වටිනාකම සහ පැවැත්ම තීරණය වෙන්නෙත් මේ මායාකාරී ඉන්ද්‍රීය පද්ධතිය නිසා.ස්ත්‍රී ලිංගය,යෝනිය,සෘතු මඟ,කෝපීනය මේ ආදී විවිධ නම් වලින් හඳුන්වන ස්ත්‍රී ශරීර අවයවය නැත්නම් ලෝකය නවතින බව විශ්වාසයි.ඒ වචන වලට අමතරව සමාජය තවත් වචන භාවිතා කරනවා සමහර අවස්ථාවල.ඒ ස්ත්‍රීත්වයට නිග්‍රහා කරන්න.

ගරහන තැන

සැනසෙන තැන

උපදින තැන

පුංචි කාලෙ ස්ත්‍රී ලිංග ,පුරුෂ ලිංග කියල සිංහල වලදි උගන්වනවා.එදා මේ ලිංග බේදය මට නං මහ ලොකුවට තේරුනෙ නෑ.අම්ම - තාත්තා ,අයියා - අක්කා ,නංගි - මල්ලි කියල විරුද්ධ ලිංගික නාම පද ඉගෙන ගත්තා.කුරුල්ලා - කිරිල්ලී,බල්ලා - බැල්ලී කියල මතක තියා ගන්න නාම පද වගේම මොණරා ...මොණරි නොවී සෙබඬ වුණාම ලිංග බේදය මට ගැටලුවක් වුණා.

ගැහැණු ළමයි එක්තරා වයසකදි වැඩි විය පත්වෙනකොට ආයේත් ලිංග භේදය දැනෙන්න පටන් ගන්නවා.ගෙදර වැඩිහිටියො ගැහැණු දැරිවියො ගැන හරිම සෙවිල්ලෙන් ඉන්නෙ.එහෙම පරිස්සම් කරන්නෙ ගැහැණු දරුවෙක්ගෙ පිවිතුරු බව. වැඩිවිය පත් වුණා කියන්නෙ ඇය මවක් වෙන්න සූදානම් කියන එක.නුසුදුසු වයසේදී නුසුදුසු සම්බන්ධයක් පටන් ගත්තොත් බොහෝ කාරණා වෙනස් වෙන්න පුලුවන් .ඒ නිසා මල්වර වුණු දැරිවියො විශේෂයෙන් පරිස්සම් කළ යුතුයි .

ගැහැණු ශරීරය හරිම අපූරු නිර්මාණයක්.සෘතුවෙන් සෘතුවට ශරීරය වෙනස් වෙද්දි ගැහැණු හිතත් වෙනස් වෙනවා.දවස් කීපයක් ක්‍රියාශීලී වෙද්දි තවත් දවස් අලසව ගෙවෙන්නෙ මේ හෝර්මෝන වෙනස් වීම නිසා කියල සමහර විට කාන්තාවන් පවා දන්නෙ නැතුව ඇති. දවස් විසි අටකට වතාවක් ශරීරයෙන් රුධිරය පිටවීම නිකන්ම නිකන් අපවිත්‍ර ලේ පිටවීමක් නෙමෙයි.අපවිත්‍රයි කියල සමහරු හදුන්වන ඒ රුධිරය එක්ක හැම මාසෙකදිම ඩිම්බයක් පිට වෙනවා.ඒ තමයි විශ්වයේ පැවැත්ම තීරණය කරන කර්තව්‍යය.නමුත් සමහර පිරිමි වගේම ගැහැණුත් මේ ඔසප් වීම නිසා කාන්තාවන් පහත් කර සලකනවා.ඒ දවස් අපිරිසුදු දවස් විදිහට නම් කරනවා.නමුත් ඒ තරම් හෑල්ලුවට හිතන්න පුලුවන් කාරණයක් නෙමෙයි ඒ .

කලින් සඳහන් කළ දෙයක් නැවත සදහන් කරනව නම් ,මේ ඔසප් චක්‍රය දවස් විසි අටකට වරක් සිදුවීමත් එක්ක තමා ගැහැණු ජීවිතේ සියල්ල සිද්ධ වෙන්නෙ.එම ක්‍රියාකාරිත්වය හරියට සිද්ධ නොවුනොත් ශාරීරිකව වගේම මානසිකවත් ගැහැණුන් අපහසුතාවයට පත් වෙනවා.මහත් වෙන්නෙ , කැත වෙන්නෙ දරුවො ලබන්න බැරි වෙන්නෙ මේ නිසා.ගැහැණු ජීවිතේ සියල්ලම තීරණය වෙන්නෙ ප්‍රජනන පද්ධතිය සහ එහි ක්‍රියාකාරිත්වය අනුව.

ගැහැණිය විවාහ වෙලා දරුවො ලැබීම වාසනාවක් වුණාට අවිවාහක ස්ත්‍රියක් ගැබ් ගැනීම මහා අපරාධයක් විදිහට අපේ සමාජය දකින්නෙ.කොහොම සිද්ධ වුනත් දරුවෙක් ලැබීම වාසනාවක් විදිහට හිතන්න තරම් අපි තවම දියුණු වී නෑ.ඒ දරුවෙක් කියන්නෙ තනිව දැරිය හැකි වගකීමක් නොවන නිසාම නෙමෙයි.තාත්තා කියන හිස්තැන උප්පැන්නෙ හිස් නොවිය යුතු නිසා.

ගැහැණිය මවක් වෙන්නෙ පිරිමියෙක් නිසා වුනත් ඒ පිරිමියා පියෙක් වීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවකදි ගැහැණිය අසරණ වෙනවා.සමාජයෙන් ඊට ලැබෙන ප්‍රතිචාර වලට බියෙන් ඒ ගැබ විනාශ කරන්න ගැහැණු පෙළඹෙනවා.සියල්ල කෙසේ සිදු වුණත් අවසානයේ ඇඟිල්ල දික් වෙන්නෙ ගැහැනියට.මේ කතාව මේ ලෝකෙ සියලුම ගැහැණුන්ගේ සහ පිරිමින්ගේ කතාව නොවෙයි.නමුත් බොහෝ දෙනෙක් එවැනි තත්වයන්ට මුහුණ දෙනවා.මේ ලෝකෙ එක විනාඩියකදි ඉලක්කම් වලින් සඳහන් කළ නොහැකි තරම් ශෘක්කාණු හා ඩිම්බ එකතුවෙලා කලල ගර්භාෂ තුල හුස්ම ගන්න පටන් ගන්නවා.

ගැහැණිය,ශරීරයෙන් සහ හදවතින් ඇවිලෙන සුලුයි.එය පාලනය කල හැක්කේ ඇයටම පමණයි .එහෙම නොවුනත් ඇගේ ජීවිතේම ගිණි ගොඩක් විතරයි .

[ශිවන්ති ඒකනායක]

 

මාතෘකා