වෙනස සැප නැද්ද ?

 ඡායාරූපය:

වෙනස සැප නැද්ද ?

අදත් කතාව දිගඇරෙන්නේ නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්ව ගැනමය. එය එසේ වන්නේ තවමත් නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්ව මෙරට දේශපාලන සංදර්භය තුළ දැවැන්ත විපර්යාසයක් කරමින් තිබෙන නිසාය. ඒ විපර්යාසය නිසා පළමුවත් මගෙ රට දෙවනුවත් තෙවනුවත් මගෙ රට කිය කෑ ගැසූ උන්ගේ නිරුවත යළි රටට හෙළි වෙමින් තිබේ. ඒ හෙළිදරව් වීම රටේ අනාගතයට නම් සර්ව සුභවාදීය. මන්ද බලය වෙනුවෙන් තම මවද විකුණන්නට සූදානම් කවුදැයි රටට හෙළිවීම නිසාය. අනෙක් කාරණය නම් මැතිවරණ ව්‍යාපාරයට ඒ සා මුදලක් ලබා ගත්තේ නම් සහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ නම් ඒ සමාගමේ පදයට නටන ජනාධිපතිවරයෙකු බිහිවීම රටකට කොතරම් නම් හානිකරද යන්නය.

සමස්තයක් ලෙස ගත් විට 2004 මැයි සිට 2013 මැයි දක්වා කාලය තුළ මාධ්‍යවේදීන් අවස්ථා 124 කදී වින්දිතයින් බවට පත් කිරීම සිදුව තිබුණි. එසේ වින්දිතයන් බවට ඔවුන් පත්වූ යේ ඝාතනය කිරීම්, අතුරුදන් කිරීම්, පැහැර ගැනීම්, අත්අඩංගුවට ගැනීම්, පහරදීම්, තර්ජනය කිරීම්, ජනමාධ්‍ය ආයතනවලට පහර දීම ආදී බලපෑම් තුළිනි. මේ යථාර්ථය සැම දෙනාටම අමතකව තිබීම ඉතා කණගාටුදායකය.

අද කියන්නට යන්නේ මේ හා බැඳුණු වෙනත් කතාවක් ගැනය.

ඒ කතාව අලුත් කතාවක් නොවුණත් එය දැන් බහුතරයකට අමතක වී ඇති කාරණයකි. නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්ව ලංකාවේ මාධ්‍ය ආයතනයක් සිදුකළා නම් සහ එය හෙළි කරන කාලයේ දී රාජපක්ෂ පාලනය ලංකාවේ පැවතියේ නම් කුමකින් කුමක් සිදුවන්නට තිබුණිද. මේ ඒ පිළිබඳ කතාවයි.

යථාර්ථය සාකච්ඡා කරනවා නම් නිව්යෝර්ක් ටයිම්ස් හෙලිදරව්ව වැනි හෙළිදරව්වක් ලංකාවේ මාධ්‍ය ආයතනයක් 2015 වසරට කලින් සිදුවූ සිදුවීමක් අළලා සිදුකළානම් අයියතුරේ නඩේසන්, ධර්මරත්නම් සිවරාම්, ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍ය වෘත්තිකයින් 44දෙනාට 2014 සිට 2009 දක්වා කාලය තුළ දී අත්වූ මරණයේ අමිහිරි අත්දැකීම එම හෙළිදරව්ව කළ මාධ්‍යවේදියාට හෝ එම ආයතනයේ කර්තෘවරයාට මුහුණ දෙන්නට සිදුවනු නොඅනුමානය.

එසේත් නැත්නම් 2010 ජනවාරි 24 වැනිදා ප්‍රගීත් එක්නැළිගොඩට අත්වූ බලහත්කාරයෙන් අතුරුදන් කරවීමේ අමිහිරි අත්දැකීමට හෝ මුහුණ දෙන්නට සිදුවනු ඇත.

ඒ යථාර්ථය කිසිවෙකුටත් අමතක කළ නොහැක. එම හෙළිදරව්ව ලංකාවේ මාධ්‍ය ආයතනයකින් 2015 වසරට කලින් සිදුවූවා නම් 2006 අගෝස්තු 28 දින නඩරාජා ගුරුබරන්ට, 2008 ජූනි 22 දින තිරුචෙල්වම් තිරුකුමාර්ට, 2009 පෙබරවාරි 26 දින‘සුඩර් ඔලි’ ප්‍රධාන කර්තෘ එන්. විද්‍යාධරන්ට, 2009 මාර්තු 11 දින මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායකට, 2010 ජනවාරි 27දින යාපනයේ මාධ්‍යවේදී නවරත්නම් පරමේශ්වරම්ට සිදු වූ පැහැරගෙන යාමේ අත් දැකීමට හෝ එම හෙළිදරව්ව කළ ආයතනයේ මාධ්‍ය වෘත්තිකයෙකුට අත්විඳින්නට ඉඩ තිබුණි.

එසේත් නොමැති නම් 2009 සැප්තැම්බර් 02 සිදුවූ පරිදි ‘ලංකා’ පුවත්පතේ ශාලික විමලසේන, දයා නෙත්තසිංහ, ඡායාරූප ශිල්පී රවින්ද්‍ර පුෂ්පකුමාර බොරු චෝදනා මත දෙනියායේදී අත්අඩංගුවට ගෙන දින 7ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තැබීම වැනි අත්දැකීමකට හෝ ජනවාරි 29 ‘ලංකා’ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්තව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගෙන දින 18ක් රඳවාතැබීම වැනි අත්දැකීමකට මුහුණ දෙන්නට ඉඩ තිබුණි.

එපමණක්ද නොව 2007 ඔක්තෝබර් 24 දින ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ ආතර් වාමනන්, 2007 මාර්තු 07 දින ජේ.එස්. තිස්සනායගම්ට, 2011 අෙප්‍ර්ල් 25 දින ‘ඊ නිව්ස්’ මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට, 2012 ජූනි 29 දින ‘ලංකා මිරර්’ සහ ‘ලංකා එක්ස් නිව්ස්’ මාධ්‍යවේදීන් 9 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනීම වැනී අත්අඩංගුවට ගැනීමේ අත්දැකීමකට හෝ මුහුණ දෙන්නට ඉඩ තිබුණි.

එහෙමත් නැත්නම් පෝද්දල ජයන්තට, උපාලි තෙන්නකෝන්ට, කීත් නොයාර්ට සිදුවූ ආකාරයෙන් පහර කෑමකට හෝ ලක්වන්නට ඉඩ තිබුණි.

ඒ අනුව බලන කල 2004 මැයි සිට 2009 මැයි දක්වා කාලය තුළ මාධ්‍ය වෘත්තිකයින් පැහැරගෙන යාමේ සිද්ධි පහක්, අත්අඩංගුවට ගැනීමේ සිද්ධි විස්සක්, පහරදීම් සිද්ධි හතළිස් තුනක් සහ අතුරුදහන් කරවීමේ සිද්ධි එකක්ද වාර්තා වී තිබුණි. එසේම ජනමාධ්‍යවේදීන්ට පහර දීමේ සිද්ධි දෙකක් ද වාර්තා වී තිබුණි. එසේම ලංකා, ලීඩර්, ජාතික රූපවාහිනිය, සිරස, මැක්ස්, උදයන්, සි, ඊ නිව්ස් වැනි මාධ්‍ය ආයතන වලට සිදු වූ පහර දීම් සහ ගිනී තැබීම් වැනි සිද්ධිවලට අදාළ හෙළිකිරීම සිදුකළ මාධ්‍ය ආයතනයට මුහුණ දෙන්නට සිදුවනු නියතය.

නමුත් දැන් තත්ත්වය වෙනස් ය. අද මාධ්‍යවේදීන් මරා දමන්නේ නැත, සුදුවෑන්වලින් පැහැරගෙන යන්නේ නැත.මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ (Press Freedom Index) දත්ත අධ්‍යයනය කරද්දී එය මොනවට පැහැදිලි වේ. එද දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 2002 වර්ෂයේ දී 51 වැනි ස්ථානයේ පසු වූ අතර 2008වර්ෂය වන විට ශ්‍රීලංකාව 165 වන ස්ථානය දක්වා පසු බැස තිබුණි. එසේම එය 2014 වර්ෂයේ දී 165 ස්ථෘනයේම පසුවූ අතර 2018 වර්ෂයේ දී එය 131 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. යථාර්ථය එයයි. දැන් ඉතින් අසන්නට තිබෙන්නේ වෙනස සැප නැද්ද කියා පමණි.

[දිලංක ගුණතිලක]

මාතෘකා