හිට්ලර්ලා, ප්‍රභාකරන්ලා සමඟ එන අණ සහ බණ

 ඡායාරූපය:

හිට්ලර්ලා, ප්‍රභාකරන්ලා සමඟ එන අණ සහ බණ

අප කුඩා උන් සන්දියේ ඇසූ ජනප්‍රිය කතාන්දරයක් තිබේ. ඒ තල් අත්තකට වැටුණු බෙලි ගෙඩියකට තිගැස්සී, ලෝකය පෙරළෙනවා යැයි වනාන්තරයක්ම බියවැද්දූ හාවාගේ කතාවය. කලින් කලට අපේ කනටද මෙවැනි තල් අතුවලට වැටෙන බෙලි ගෙඩි ශබ්ද ඇසේ. ඒවාට බියවී රට පෙරළෙනවා යැයි හිස් ලූලූ අත දුවන මනුසත්තුද වෙති. මෑතකදී එසේ ඇසුණු කතා දෙකක් විණි. පළමුවැන්න වූයේ "හිට්ලර්" කතාවය. දෙවැන්න වූයේ "ප්‍රභාකරන්" කතාවය. අප සිතා සිටින්නේ වන සතුන්ට වඩා බුද්ධියෙන් සහ පරීක්ෂාකාරී බවින් වැඩි මනුසතුන් කියාය. නමුත් මේ සිද්ධි දෙකෙහිලා අපේ මනුසතුන් හැසිරුණු ආකාරය දෙස බලද්දී නම්, නිතැතින්ම අපට සිහියට නැඟුණේ තල් අත්තට වැටි බෙලි ගෙඩියට බිය වූ හාවාමය.

හිට්ලර් කරළියට පැමිණෙන්නේ උපන් දිනයකට ආශිර්වාද පතා අනුනායක හිමියන් කළ අනුශාසනා කතාවකිනි. උපන්දිනය හා අනුශාසනා අතරට හිට්ලර්ලා කෙතරම් දුරට ගැළපේ දැයි යන්න වෙනමම විමසිය යුතු කාරණයකි. එහෙත් ඒ පුවතට දැක්වූ ප්‍රතිචාරවලින් අපට පෙනුණේ "හිට්ලර්" යන වචනයට මිනිසුන් තුළ ඇති භීතිකාවයි. පොදුවේ අපට යම් තිගැස්මක් එන්නේ අතීත අත්දැකීම් සමඟ වර්තමාන සිදුවීම් ගළපා බලද්දීය. එවිට අප කරන්නේ අනාගතය පිළිබඳව ක්ෂණික චිත්ත රූප මනසේ මවා ගැනීමයි. ඇතැම්හු මේවාට "මනෝ විකාර" කියා කියන අතර "විකාර හීන" යැයි කියන ඇත්තෝද සිටිති. හීනද "දවල් හීන" සහ "රාත්‍රී හීන" කියා අප වර්ග දෙකකට බෙදාගෙන තිබේ. දහවලේ දකින හීන හැබෑ නොවෙතැයි ඇතැම්හු විශ්වාස කරති. කෙසේ වෙතත් අනුනායක හිමියන්ගේ ප්‍රකාශය දේශපාලන විචාරකයන්ට, ෆේස්බුක් වීර‍යන්්ට සහ බුකී ඔස්තාද්ලාට අනුව නිර්ලජ්ජ, භයානක ප්‍රකාශයකි. නමුත් හිමියන්ට අනුව එය වැරදි අර්ථකථනයකි. එය තමන්ගේ සම්පූර්ණ කතාවේ එක් කුඩා කොටසකි. උන් වහන්සේ කියන පරිදි සමස්ත කතාවේ අරුත වන්නේ රටට වඩාත් වැඩදායී යහපත් පාලනයක් සහ ශක්තිමත් නායකත්වයක් යන්න එහි අදහසයි. ඒ පාලකයා තුළ අණ සහ බණ යන දෙකම අඩංගු විය යුතු බව තමන්ගේ අදහස වූයේ යැයි උන් වහන්සේ කියා සිටියහ.

රාජ්‍ය ඇමතිනියකව සිටි විජයකලා මහේෂ්වරන් සිය කතාව කළේ දේශපාලන වේදිකාවකය. ඇය එම කතාව කළේ දමිළ බසිනි. එම වේදිකාවේ රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ හිටපු ආරක්ෂක ඇමතිවරයෙකු හිඳ තිබේ. ඇගේ කතාවේ අපට අසන්නට ලැබුණු, අපේ මාධ්‍ය පරිවර්තනය කළ කොටසින් කියවුණේ උතුරේ ගැහැනුන්, දරුවන් සුරක්ෂිතව නිවෙස් බලා පැමිණීමට නම් යළි එල්.ටී.ටී.ඊ ය නඟා සිටුවිය යුතු බවකි. ඇය සිය කතාවට එල්ලවූ විරෝධය හේතූවෙන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූවාය. ඇගේ සම්පූර්ණ කතාව කුමක් වන්නට ඇත්ද..? ඇය සිය කතාවේදී මතු කළ උතුරේ වන තිස්දහසක් වැන්දඹු පවුල්, දොළොස් දහසක් පුනරුත්ථාපනය කළ එල්.ටී.ටී.ඊ සාමාජිකයන්, රැකියා විරහිත උපාධීධාරීන්, දේශපාලකයින්ගේ වාහන වලින් උතුරට ප්‍රවාහනය කෙරෙන මත්ද්‍රව්‍ය වැනි කාරණා පරිවර්තනය නොවූයේ ඇයි..?

මෙය ඉතා සංවේදී කාරණයකි. උතුරෙන් ඇසෙන හඬේත්, දකුණෙන් ඇසෙන හඬේත් ඇත්තේ එකම රිදීමකි. සමාන වේදනාවකි. අපට ඇසෙන කොටසට වඩා නෑසෙන කොටස, අසන්නට නොදෙන කොටස භයානකය. භාෂා දෙකකින් මේ උච්චාරණය වන්නේ අපේ රටේ අප පෙළන කැක්කුම් ගැනය. අප මේ හීලෑකරගෙන සිටින්නේ අපේ සැබෑ ස්වාමියන්ය බව සිතන අධි තක්සේරුවෙන් අපි බැහැර විය යුතු කාලය එළැඹ තිබේ. මේ ඔවුන් හොරා කා ඇත්තේ අපේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වියදම් කළ යුතු ධනය බව සිතට ගත යුතුය. එබැවින් වංචාකරුවන්ට, දූෂිතයින්ට මේ රටේ පාලකයන් වීමට අයිතියක් නැත. ඔවුන් මේ ආයුධ දී ඇත්තේ කැත්තට ,උදැල්ලට පෑනට,පොතට හුරුකළ යුතු දරුවන්ගේ දෑතටය. මේ අපයෝජනය වෙන්නේ මත්කුඩු උරන්නේ හෙට පීදී දළු ලා, ගස් විය යුතු අපේ අනාගත දරු පරපුරය. බෝඩ් ලෑලී උස්සාගෙන වීදී බැස සිටින්නේ ජීවත්වෙන්න රස්සාවක් ඉල්ලන, රස්සාවේ අයිතිවාසිකම් ඉල්ලන අපේ සහෝදර, සහෝදරියන්ට. බඩගින්නට, අඟහිඟකම්වලට, පිඩනයට ජාතී ආගම් නැත. කන්කසන්තුරයේ සිට දෙවුන්දර තුඩුව දක්වා කඳුළු නිවා සිනා පිපිය යුතුය.

සිය දරුවා නිරුවත් කිරීමට එරෙහිවුණු පියාව කපා මැරූ අනුරාධපුරයේ පවුලට මෙන්ම, යුද්ධයේ අමිහිරි වේදනාවන් පපුවේ දරාගෙන, වේදනාවෙන් මොරදෙන උතුරේ පවුල් වලටත් සාධාරණය ඉටු විය යුතුය. පකිස්ථානය නවාස් ෂරීෆ්ට, ඔහුගේ දියණියට, බෑනාට දුන් දඬුවම්, මේ රටේ මහජන දේපළ කොල්ලකෑ සියල්ලටම දිය යුතුය. මැලේසියාවේ මහතීර් මොහොමඩ්ලා මෙන් විනිසුරුවරයාගේ සිට සියලු වැරදිකරුවන් තරාතිරම නොබලා නීතිය ඉදිරියට පැමිණවිය යුතුය.

එදිනට නිව්යෝර්ක් ටයිම්ස්ලාට, චැනල් ෆෝ වලට ලංකාව ගැන ප්‍රවෘත්ති හිඟ වනු ඇති. එසේ වීමට නම් අනුනායක හිමියන්, විජයකලා වැනි අය කියන කතාවන්හි අපට නෑසුණ කොටස් ශ්‍රවණය කළ යුතුය. එතෙක් අපි නින්දේදී දකින ලී ක්වාන් යූ ගේ සිංගප්පූරුව අපිට දවල් හීනයකි.

[ගාමිණි බස්නායක]

මාතෘකා