මීඩියා ෆ්‍රීඩම් විතරක් ඇද්ද? | ඇස පාදන රැස


මීඩියා ෆ්‍රීඩම් විතරක් ඇද්ද?

 ඡායාරූපය:

මීඩියා ෆ්‍රීඩම් විතරක් ඇද්ද?

මාධ්‍ය නිදහස. කාලයකට අයිති නැතිව, හැම කාලයකම වගේ අඩු වැඩියෙන් දේශපාලන වේදිකාවෙත් ඉන් පිටතත් සාකච්ඡාවට භාජනය වුණු කාරණයක්. හැමෝම ඉල්ලූවේ තමන් කැමති දේවල් ලියන්න, තමන් දන්න දේවල් කියන්න, තමන් උවමනා දේවල් බෙදාගන්න අවශ්‍ය ආරක්ෂාව සහිත නිදහස. නමුත්, අපි අමතක කරපු කාරණයක් තමයි නිදහස සහ විනය කියන එක එකම කාසියේ දෙපැත්ත කියන එක. එහෙම වුණත් නිදහස පිළිබඳ කතා කරන උද්වේගකර බව හෝ උච්චස්වරය, විනය හෝ ශික්ෂණය සම්බන්ධයෙන් කතා කරන කිසිම අවස්ථාවක දකින්න ලැබෙන්නේ නෑ. විනය යට ගහලා නිදහස හෙවීම, පළමුව උප්පරවැටිටියක් ද දෙවනුව තක්කඩිකමක් ද අවසනුව ඛේදවාචකයක් ද බවට පත් වෙනවා.  

කුමන පරමාර්ථයක් අරභයා හෝ කුමනාකාරයේ හෝ අල්ලසක් දීම වැරදියි. විශේෂයෙන්ම ඒ දෙන්නේ කෙළින්ම ගණන් කරන සල්ලි වලින් නම් එතන තියනවා සාපේක්ෂ ලොකු වරදකාරී බවක්. ඔබ දැකලා ඇති ඕනෑ තරම් මාධ්‍ය ආයතන විසින් තමන්ගේ නාලිකාව බලන නිසා, තමන්ගේ නාලිකාව අහන නිසා ඍජුවම ගණන් කරලා සල්ලි දෙනවා. දාහේ පන්දාහේ කොළ වලින්. නමුත්, ඒ නාලිකාවම ඊට පස්සේ විකාශය කරන ප්‍රවෘත්තිය මගින් අල්ලස් දීමක් හෝ අල්ලස් ගැනීමක් ගැන වැඩි බර තියලා ප‍්‍රශ්න කරනවා. එක්කෝ ඒ මාධ්‍ය ආයතනයට තේරෙන්නේ නෑ, තමන්්ගේ සහ ඒ පුද්ගලයාගේ අතර වෙනසක් නැති බව. එහෙම නැත්නම් වංක චේතනාවෙන්ම ඒ තේරුම් ගැනීම මගහරිනවා. ඒ ආකාරයට එක නිදසුනක් හැටියට අල්ලස ගැන කතා කරනවානම්, මාධ්‍ය ආයතනත් දේශපාලනඥයින්ට නොදෙවෙනි වෙන්න සිමෙන්ති, ටකරං, වැසිකිළි පෝච්චි වල ඉඳලා හැම දේම බෙදනවා. ඔහුන්ගේ අපේක්ෂාව රේටින් හදාගන්න ජනතාව පාවිච්චි කරන එක වීම සහ දේශපාලනඥයින්ගේ අපේක්ෂාව එගොඩට පැණ ගන්න අවශ්‍ය ඡන්ද ටික හදා ගන්න එක වීම පමණයි මේ දෙකේ වෙනස.  

ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස වගේ මොන හෙඩිමක් ගත්තත් ඒක එහෙමම තමයි. එළියේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළාට ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය තියනවාද. කතා කිරීමේ නිදහස ගැන ආණ්ඩුවත් එක්ක හැප්පුණාට අර්ථපතීත්වය සම`ග ඒ වෙනුවෙන් සටන් කරන්න ලෑස්තිද. එහෙම කරලා තවදුරටත් එතන ඉන්න පුළුවන්ද. ශිලාචාර සමාජයක්, සාධාරණත්වය ප්‍රජාතන්ත්‍රවාදය උපරිම ජනතා සුභසාධනය වගේ මොන දහමක් වෙනුවෙන් පෙනී ඉන්නවාය කීවත් අවසාන වශනේ තියන ඇත්ත තමයි ඒ සියලු මාධ්‍ය හැසිරෙන්නේ අර්ථපතීන්ගේ අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමේ අරමුණම පමණක් ඉලක්ක කරගෙන බව. කුමන ආකාරයක සළුවකින් වසාගෙන වේදිකාවේ පෙනී සිටින්න උත්සාහ කළත් සළුවෙන් වැසුණු රූකඩ නැටවෙන්නේ අයිතිකාරයාගේ උවමනාව වෙනුවෙන්මයි.

නායකයෙක් හරි පාලකයෙක් හරි මාධ්‍ය පමණක් නෙවෙයි, ඕනම දෙයක් සම්බන්ධයෙන් නිදහස තහවුරු කරනවානම් නියත වශයෙන්ම අදාල ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් විනයක් ඇති කළ යුතුයි. විනයක් නැති නිදහසක් කියන්නේම අවුලක්. මාධ්‍ය සම්බන්ධයෙන් මේ අවුල නිර්මාණය වෙලා තියෙන්නේ ඉහළ සිට පහළට බොහෝ තීරණාත්මක බර උසුලන්නන් මේ ඉසව්වට අත තියන්න තියන භීතිය නිසා කියන එකයි මගේ හැඟිීම. දේශපාලනඥයින්ට ‘ආචාර ධර්ම පද්ධතියක් ගෙනෙව්’ කිව්වහම අඩුම තරමේ එහෙම එකක් කෙටුම්පත් වෙලා ප්‍රසිද්ධ වෙලා දේශපාලනඥයින්ගේ ක්‍රියාකාරකම් ඒ ඒ එක එකක් වගන්ති එක්ක සන්සන්දනය කරන්නවත් මිනිස්සු පෙළඹිලා තියනවා. එහෙම නැතත්, මිනිස්සු දේශපාලනඥයින්ව ප්‍රශ්න කරනවා. නමුත්, මාධ්‍ය සම්බන්ධයෙන් එහෙම ප්‍රසිද්ධ වුණු ආචාර ධර්ම පද්ධතියක් තියනවාද. එහෙම එකක් පිළිගන්න ඒ පීල්ලේ වැඩ කරන්න මීඩියා ලෑස්තිද. එහෙම කෙටුම්පතක අකුරු ඇමිණෙනකොටම මර්දනය කියලා සද්ද කරන වෙලාවල් අපි දැක්කා. මෙකී පරමාදර්ශී මාධ්‍යවේදීන්, මාධ්‍ය ප්‍රධානීන් සහ අර්ථපතීන් තිරසාර ආචාරශිලී පැවැත්මක් ගැන තබා අවම වශයෙන් ඡන්දයක් වෙලාවක මැතිවරණ සම්බන්ධයෙන් වන උපමානවත් අවංක උත්සාහයකින් යුතුව ආරක්ෂා කරන බවක් දකින්න තියනවාද කියන එකම ප්‍රශ්නයක්.  

තොරතුරු හා ප්‍රවෘත්ති සම්බන්ධයෙන් මේ මොහොත වෙනකොට ජනතාව අතිශයින්ම ව්‍යාකූල අඩියක ඉන්නේ. එක එක්කෙනා එක එක කතා කියනවා. ඒ ඒ අයගේ වාසි කොටස. ඒ පංගුව සර්ව සත්‍යය ලෙස කියන්න උත්සාහ කරනවා. නව මාධ්‍ය, සාම්ප්‍රදායික මාධ්‍ය, විකල්ප මාධ්‍ය වගේ මේ හැම එකකම. ඒ කිසිවක් කිසිම තැනකින් නියාමනය වන්නේවත් අධීක්ෂණය වෙන්නේවත් නැති ගාණයි. එහෙම මැදිහත්වීමක් කරන්න ගියොත්, ඒක මාධ්‍ය නිදහස කප්පාදු කිරීමේ වෑයමක් හැටියට අර්ථගන්වන්න වෙර දරනවා. මාධ්‍ය නිදහස ලබා දීම, සාධකයක් වෙන්නේ ‘මාධ්‍ය ව්‍යාපාරයට’ තම තමන්ට ඕන ඕන දේවල් විකුණන්න තියන අයිතිය ද එහෙම නැත්නම් ජනතාවගේ තොරතුරු අයිතිය සම්බන්ධයෙන් ද කියන එක ගැන සැලකිලිමත් වීමේ වගකීම තියෙන්නේ පාලකයින්ට. ඒ කලාපයට බය සැක නැතිව අත ගහන්න පුළුවන් වෙන්න ඹ්නේ. ඒක හරියට මිදුලේ තණකොළ නිදහසේ වැවෙන්න හරිනවා වගේම, මිදුලත් ගෙදරත් අවලස්සන නොවෙන විදිහට සීරුවට ඒ තණ පිට්ටනිය කප්පාදු කරලා නඩත්තු කරනවා වගේ වැඩක්. එහෙම නොවුණොත්, සිද්ධ වෙන ඒ හානිය නිදහස නැතිකම නිසා සිද්ධ වෙන හානියට වඩා වැඩියි.

[භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්]

මාතෘකා