'රාජපක්ෂලා හොරු නෙමෙයි කියලා මං දන්නවා' මර්වින් සිල්වා

 ඡායාරූපය:

'රාජපක්ෂලා හොරු නෙමෙයි කියලා මං දන්නවා' මර්වින් සිල්වා

ඇමැතිතුමා කියලා කවුරුත් කතා කරන්නෙත් නැති නිසා දැන් හිතේ සන්තෝෂයක් එහෙමත් නැතුව ඇති...?
අපොයි නෑ. මං ඉතාම සන්තෝෂෙන් ඉන්නෙ. මිනිස්සුන්ට එහෙම තමයි. සැප එනවා. දුක එනවා.
ඉතාම සන්තෝෂෙන් කියන්නෙ...?
ඔය නිලතල හැමදාම තියෙන්නෙ නෑනෙ. මං මිනිස්සු හම්බ කළා. ඒ මිනිස්සු මාත් එක්ක ඉන්නවා.
හැබැයි කැලණියෙන් ගිය දවසෙ මිනිස්සු රතිඤ්ඤාත් පත්තු කළා...?
එහෙම තමයි. කාටද විරුද්ධකාරයො නැත්තෙ. ඔයාටත් ඇති, මූණට කිව්වෙ නැතුවට.
හරි. දැන් ඉන්නෙ කාගෙ පැත්තෙද...?‍
මං හැමදාම හිටියෙ ජනතාවගෙ පැත්තෙ. හෙටත් ඒක එහෙම තමයි.
මෙහෙමනෙ හිටපු ඇමැතිතුමා, කාලයක් ගෝඨාභය රාජපක්ෂට බැන බැන ගියා. දැන් ආපහු ඒ පැත්තෙ වගේ පේනවා. ඒකයි එහෙම අහන්නෙ...?
මම ගෝඨාභය රාජපක්ෂට බැන බැන ගියෙ නෑ. ඒවා දැන් ඉවරයි.
ඒක තමයි මමත් අහන්නෙ, ඒවා ඉවර වුණේ කොහොමද, සුදු වෑන් ගැන සිංහයා වගේ කතා කරපු මර්වින් සිල්වා දැන් බලු වෙලා ද...?
මට ලැබුණු තොරතුරු වලට අනුව මං අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොන්ද කෙලින් තියාගෙන ගිහින් පැමිණිලි කළා. දැන් අවුරුදු තුනක් වුණා. කෝ ඒක ගැන විමර්ශන කළාද. නෑනෙ. ඉතින් මං හැමදාම ඒ උත්තමයන්ට චෝදනා කර කර ඉන්නද. ඒක අසාධාරණ වැඩක්. මේ මර්වින් සිල්වා කවදාවත් බලු වෙලා නෑ. අදාළ වැඩේ අදාළ වෙලාවෙදි කරලා තියෙනවා.
ඒ කියන්නෙ දැන් ගෝඨාභය රාජපක්ෂ සුදු වෑන්වලට කිසිම සම්බන්ධයක් නෑ...?
ඒකනෙ මං ඉස්සරලත් කිව්වෙ. මට ලැබුණු තොරතුර මං කිව්වා. ඒක ගැන මෙච්චර කාලෙකට සීඅයිඩී එකට මොකුත් හොයාගන්න බැරි වුණා කියන්නෙ ඒ චෝදනාව පැත්තකට දාන්න වෙනවා.
ඒ කියන්නෙ ඔබ බොරු කිව්වා, වගකිවයුතු දේශපාලනඥයෙක් ඔය විදිහට ජනතාව නොමග යවපු එක හරි ද...?
මං මොකක්ද කළේ? ඔයා කියන්නෙ මං තොරතුරක් ලැබුණම අනෙක් අය වගේ හංගගෙන ඉන්න කියලද. මං එහෙම නෑ. මං කෙලින් කිව්වා. ඔප්පු වුණේ නැති හින්දා දැන් මෙහෙම කියනවා.
ඒ කියන්නෙ කාලනේ කාලටෙ එක එක කතා ...?
මෙහෙමනෙ, ඔයා කියන්නෙ පොඩි කාලෙ කරපු වැඩ කොලු කාලෙත් කරන්න කියලද. කොලු කාලෙ කරපු වැඩ වයසට ගිහිල්ලත් කරනවද. නෑනෙ.
ඒ කියන්නෙ දැන් පව් සමාකරගන්න හදන්නෙ...?
නෑ. නෑ. දෙයියනේ. මං කියන එක තේරුම් ගන්නකො. මම දැනගත්ත එක කිව්වා. පරීක්ෂණ නොකෙරුණ ඒවට මං පළිද?
කොහොමද දැනගත්තෙ...?
ඔයාට මොනවා හරි ලියන්න තොරතුරු දෙන කෙනෙක්ගෙ නම කියනවද? එහෙම කියනව නම් ඔයා ගැන හිතාගන්න පුළුවන්.
මෙහෙමනෙ හිටපු ඇමැතිතුමා, මං මොනවාහරි ලියනව නම් ඒකෙ වගකීම මං ගන්න ඕනෙ. ඔබතුමාට නිකම් කවුරුහරි කියපු දේකට ඇයි ඔච්චර කලබල වුණේ...?
මං කලබල වුණා නෙමෙයි, මං කොන්ද කෙලින් තියාගෙන වැඩ කළා. එච්චරයි.
ඔබතුමා ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා එක්ක ළඟින්ම හිටියනෙ නේද...?
ඔව්. මතක තියාගන්න මං ඒ ගොල්ලන්ගෙ තාත්තලා එක්කත් ළඟින් හිටියා.
ඒක තමයි, පහුගිය කාලෙ අපිත් ඒක දැක්කනෙ. අපිත්  පුදුම වුණා, සුදු වෑන් චෝදනා කරද්දි...?
මං කිව්වනෙ, ඒක වුණු හැටි. ඒක ගැන වෙන කියන්න දෙයක් නෑ.
හරි. අවසානෙට කියන්න, ඉස්සරහට පොහොට්ටුවෙ ස්ටේජ් එකේ ඉඳියි නේද....?
ඒවා දැන්ම කියන්න බෑ.
දැන් ඉතින් රාජපක්ෂ මහත්තයලා එක්ක අවුලකුත් නෑනෙ...?
මට කොහොමත් ඒගොල්ලො එක්ක ප්‍රශ්නයක් තිබුණෙ නෑ.
මේ ආණ්ඩුව එක්කත් කාලයක් අවුලක් තිබුණෙ නෑනෙ...?
කොයි ආණ්ඩුව වුණත් සිංහල-බෞද්ධකම අමතක කරලා ඉස්සරහට යනව නම්, ගෙදර ප්‍රශ්න රටේ ප්‍රශ්න කරගන්නවා නම් මං ඒකට විරුද්ධයි.
කැලණියෙ දේවාලෙකුත් කරපු එකේ අනාගතේ ගැන තේරෙන්නෙ නැතුවද දැන් ට්‍රැක් එක මාරු කරන්නෙ...?
මට කවුරුත් අනාගතේ ගැන කියලා දෙන්න ඕනෙ නෑ. මං හැමදාම මිනිස්සුන්ගෙ පැත්තෙ ඉඳලා ඇත්ත කතා කරනවා. එක එක තොරතුරු ආවට මං දන්නවා, රාජපක්ෂලා හොරු නෙමෙයි කියලා.

මාතෘකා