ඔබට ශුද්ධ වස්තු මට ශුද්ධ වස්තුවක් නොවිය හැක

 ඡායාරූපය:

ඔබට ශුද්ධ වස්තු මට ශුද්ධ වස්තුවක් නොවිය හැක

ගෙවල් ළඟ දරුවෙක් විද්‍යාඥයන් ගැන ලියවුනු පොතක් ඉල්ලාගෙන යන්නට පැමිණ එය පෙරලමින් බලයි. මම මගේ පාඩුවේ බ්‍රේකින් නිව්ස් ලෝක වාර්තාවක් බලමින් සිටියෙමි.

" පව් නේද අයියෙ මෙයාව හිරේ දැම්මෙ..?"

" කාවද බං මං දන්නෙත් නැතුව හිරේ දැම්මෙ..? ඔය ඔක්කොම උන් හිටියටත් වැඩිය සැපේ ඉන්නෙ.."

"මං කිව්වෙ ගැලීලියො ගැන.."

පොඩි එකා මං දිහාත් පොත දෙසත් බලමින් කියයි..

"ඔය දරුවට දන්න දෙයක් තියනවනං කියලා දෙනවා විකාර නොකර.." ඒ අපේ අම්මාය.

"ආණ්ඩුවට මොකක් කරනවද කියලා කතා කරගන්න සුමානයක් යන එකේ හොරෙක් මිනීමරුවෙක් අල්ලන්නෙ කොහොමද කියල කල්පනා උනේ.." කියා ගැලීලියෝ හොයන් ගියෙමි..

ඊයෙ (15) වගේ දවසක උපන් නූතන තාරකා විද්‍යාවේ නොමැකෙන සටහන් තැබූ විද්‍යාඥයෙකු වන ගැලීලියෝ දුරේක්ෂයේ පුරෝගාමියෙකි. චන්ද්‍රයාගේ ආවාට කඳු ස්වභාවය, බ්‍රහස්පතිගේ සිව් චන්ද්‍රයන්, සෙනසුරුගේ වළලුවල ස්වභාවය පිළිබඳව සොයාගන්නා ලද්දේ ඔහු විසින්ය. ඇලවෙන කුළුණ යොදාගෙන ඔහු කරන ලද භෞතික විද්‍යාත්මක පර්යේෂණ ද සුවිශේෂ වෙයි.

කෙසේ හෝ කොපර්නිකස්ගේ සූර්ය කේන්ද්‍රවාදය ( සූර්ය වටා පෘථිවිය ගමන් කිරීම ) පිළිබඳ මතය ඉදිරියට ගෙනයාම නිසා පල්ලියේ උදහසට ලක්වෙයි. ඒ කාලයේ වතිකානුව සිතාගෙන සිටියේ පෘථිවිය වටා සූර්‍යයා කැරකෙනවා කියාය. පාප් වහන්සේ ප්‍රමුඛ පල්ලිය විසින් ශුද්ධ දේව වචනයට අපහාස කළා කියා දේවාධිකරණයට කැඳවා බලහත්කාරයෙන් එය පිළිගැනීමට සලස්වා දඬුවම් කර වසර ගණනක් ඔහුව සිරකර තබයි .

කතාව එහෙමය. කියන්න තියෙන්නේ මේකය.

ආගමේ සංස්කෘතියේ පොතක පතක හෝ කවුරුන් හෝ ශාස්තෘන් කෙනෙක් හෝ ලොක්කෙක් කී නිසා සත්‍ය ලෙස පිළිගත යුතු නැත.

ඒ වගේම මේ ලෝකේ ශුද්ධ වස්තු කියා දේවල්ද නැත.  ඒවා සාපේක්ෂය. ඔබට ශුද්ධ වස්තු මට ශුද්ධ වස්තුවක් නොවිය හැක. පල්ලියට දේව වචනය ශුද්ධ වස්තුවක් නිසා ගැලීලියෝ එය ප්‍රශ්න නොකර සිටියානං අදටත් අපි හිතන් ඉන්නේ ලෝකෙ වටේ ඉර යනවා කියාය.

වසර දෙදාස් පන්සීයක ඉතිහාසේ සිට අනාදිමත් කාලයක සිට පැවතෙන සංස්කෘතියක් නිසා හෝ එය සමාජයේ හැමෝම පිළිගන්නා ගරු කරනා එකක් කියා හෝ සම්මත දෙයක් නිසා හෝ කියා බුදුන් විසින් බ්‍රාහ්මණ මැවුම් වාදය ප්‍රශ්න නොකළානං අදටත් සුනීතලා වැසිකිලි සුද්ද කරනවාය.

මේ ලෝකේ ඉස්සරහට යන්නේ අලුතෙන් හිතන මිනිස්සු නිසා මිස හැමදාම පරණ ඒවා බදාගෙන ඉන්න මිනිස්සු නිසා නොවේය.

හඳට වැඳ වැඳ හිටියනං හඳේ ජනපද නිර්මාණය කරන්නට බැරිවෙනු ඇත.

ගින්නට වැඳ වැඳ හිටියානං ගින්නෙන් වානේ නිපදවන්නට බැරිවෙනු ඇත.

දේව වාක්‍යට වැඳ වැඳ හිටියානං තවමත් ලෝකය රොටියක් වගේ තැටියක්ය.

බ්‍රාහ්මණයන්ට වැඳ වැඳ හිටියානං බෞද්ධ දර්ශනයක්ද නැත.

ඕවා කී සියගණනක් කඩු පාරවල් වලින් දිවිතොර කරගෙන මියගොස් ඇත. ඔබ යන මාර්ගයෙන් වෙනස්ව හිතනවානං ඔබ කළු බැටළුවාය. ඉතින් ඒකට ශෝක නොවන්න. ඔබට නැගෙන ගැටළු දේශපාලනයෙන් සමාජයෙන් සංස්කෘතියෙන් ශුද්ධත්වයෙන් හෝ මොනම දේකින්වත් නොවසන්න..  ඒ ඔස්සේ ඉදිරියට යන්න. විචාරය කරන්න ප්‍රශ්ණ කරන්න.. විමසන්න..

කාලාම සූත්‍රය අසා ඇති බෞද්ධයන් වැඩිපුර සිටින ලංකාවට නිදහස් චින්තනය අමුතු දෙයක් වීම සිදුනොවිය යුත්තක් වුවත් ඇත්තටම එය අමුතුය ලංකාවට..

අපි තාම කැපුවත් කොළ ය කැපුවත් රතුය. කැපුවත් නිල්ය. අපි ඡන්දය දී අපේ වැඩ කරවාගැනීමට පත් කරගන්නා සේවකයන් වන දේශපාලන නායකයන්ට මල් පහන් තියා වන්දනාමාන කරන්නෙමු.

අලුත් ලොවක් ගැන හිතීමට පෙරමුණ ගත යුතු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කරන්නේ රැග් කිරීමය, ගෙවල් කුලියට ගෙන ඇඳුම් ගැලවීමය, විශ්වවිද්‍යාලය අසලින් කොටකලිසමක් ඇඳන් ගිය විට තග දැමීමය. වේදිකා නාට්‍යක සිප ගත් විට නරින්ට

ආවේශ වීමය. තමන්ගේ මතය නොවන වෙනත් දේශපාලන මතයක් දරන සහෝදර ශිෂ්‍යයන්ගේ ඔලු පැලීමය..

ඉතින් ඉගෙනගත් පරපුරක් නව ලොවක් නිමවයි කියා හිතන් ඉන්නා උන්ටත් ගණිත මහාචාර්ය නලින් සිල්වා මැතිඳුන්ගේ මිතුරු නාථ දෙවි පිහිටය.

පාප් වහන්සේ විසින් ගැලීලියෝට කරන ලද අසාධාරණය වෙනුවෙන් 1992 දී ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලදී..

[චමල් අකලංක පොල්වත්තගේ] [සුජිත් ප්‍රියන්ත]

මාතෘකා