ආදරේ වෙනුවෙන් නිදහස

 ඡායාරූපය:

ආදරේ වෙනුවෙන් නිදහස

දවසක් නිදහස් චතුරස්‍රෙ පහු කරන් ගෑනුළමයා එක්ක ඇවිදගෙන යනවා.  පාක් එකේ තණකොළ ගොඩේ පෙම්වතුන් කිහිප දෙනෙක් කතා කරකර ඉන්නවා.
ඔන්න එතන හිටියා කපල් එකක්. ගහකට හේත්තු වෙලා කෙල්ල කොල්ලට පෙන්නනවා වතුර මල උඩ කාක්කො නාන හැටි. උන් දෙන්නා හිනාවෙනවා.. හරිම ආදරණීයයි.
එකපාර එතනට ආවා සිකුරුටි උත්තමයා  විසිල් එකත් ගහගෙන. උන් දෙන්නට මොන මොනවදෝ කියලා දබර ඇඟිල්ල උඩට උස්සලා පෙන්නුවා තේජමානව සුළඟේ ලෙලදෙන බෞද්ධ කොඩිය.
ඒ මොන අපරාධයක්ද. මම දැන් යන්න හදන්නෙ බුද්ධ දර්ශනයයි කපල් එකක් ලව් කිරීමෙයි ඇති අන්තර් සම්බන්ධතාවය ගැන අහන්න. එයා මගෙ අතින් ඇදලා නවත්තගත්තා. ඕවට යන්නෙපා කියලා.
මම කල්පනා කළේ යශෝදරා දේවිය බුදුන්ගෙ කකුල් අල්ලගෙන අඬනකොට යශෝදරාට අඬන්න දෙන්න කියලා බුදුන් සඳකිඳුරු ජාතකය දේශනා කරපු කතාව. බුදුන් ආදරේ දැක්කෙ එහෙම.
ලංකාවෙ සමාජෙට කොල්ලෙක් කෙල්ලෙක් එක්ක ආදරේ කරනව කියන්නෙ අපරාධයක්..!!
ඉතින් සමලිංගිකත්වය ගැන කතා කරලා තේරුමක් නෑනෙ..
 අත් අල්ලන් යන්න ඕනෙ, හාදුවක් දෙන්න ඕනෙ බැන්දට පස්සෙ. ආදරේ කළානං ඒ සහකරුවම බඳින්නම ඕනෙ. ළමයි නැත්තං අවාසනාවන්ත කාලකන්නි මුස්පේන්තුවො වෙනවා. බස් එකක යන්න බෑ. පාක් එකක ඉන්න බෑ එලෝනවා කප්පම් ඉල්ලනවා.මහ පාර අයිනෙ මුත්‍රා කරද්දි දැක්කෙ නෑ වගේ යන මිනිස්සු කොල්ලෙක් කෙල්ලෙක් සිපගන්නව දැක්කම ඒක දකින්නෙ ත්‍රස්තවාදියො දෙන්නෙක් වගේ..
ඉස්කෝලෙක ගෑනු ළමයෙක්ගෙ බෑග් එක ඇතුලෙ රෝස මලක් තිබිලා අහුවුණාම ඒ ළමයව ගණිකාවක් කරලා දෙමව්පියො ගෙන්නලා බැනලා පන්ති තහනම් කරනවා.
උන් හින්දා අපේ අහවල් සංස්කෘතික මෙව්වා එකට හානි වෙනවලු..  බම්බුව..!!
 ඔච්චර දියුණු සංස්කෘතිය, කොල්ලෙක් කෙල්ලෙක් අත් පටලන් ගියාම.. නැතිවෙන එකක් නං තවත් ඒකෙන් ඇති වැඩක් තියනවද. තරුණ වයසෙදි මනුස්සයෙක්ට එන හැඟීම් වලට වැටවල් කොටු ගහන සමාජෙ පොදු ස්ථාන තහනම් කලාප කරලා,. අපරාධකාරයො කරලා දැම්මට පස්සෙ නිකන්ම බොක්ස් වලට රූම් වලට යනවා.. පස්සෙ  ඒකට කෑගහනවා...
පොඩි කාලෙ ඉඳන්ම විරුද්ධ ලිංගිකයා වනාහී භයානක හප්පෙකි. ඩයිනෝසරයෙකි.. ඌ සිටින්නේ ඔබව මරා කෑමටය. ඒක නිසා උන්ව හෙවීමෙන් වැලකී ඉන්නය කියා භීෂණයක්  දරුවන්ගෙ හිත් ඇතුලෙ පැළකරනවා. පස්සෙ උන් ලොකු වෙද්දි ස්වභාවයෙන් උරුම වෙන හෝමෝන වලින් පිටකරන හැඟීම් කොහොම හරි එළියට දාන්න ක්‍රම හොයනවා. සංස්කෘතියෙන් වැටකඩුළු දාලා ආදරය අපරාධයක් විදිහට දකින සමාජයක් ඇතුළෙ පෙම්වතුන්  මුණගැහෙන්නෙ හොරෙක් හිරෙන් පනිනව වගේ. ඉතින් උන් උන්ගෙ හැඟීම් ඔක්කොම අර සුළු වෙලාවෙ පිට කර ගන්නවා. ලිංගිකත්වය කියන්නෙ අමු කුණුහර්පයක් විදිහට අපේ සමාජෙ දකින්නෙ.ලිංගික අධ්‍යාපනය අතින් බින්දුවෙ ඉන්නෙ ලංකාව. ස්ත්‍රියකට අනිවාර්යයෙන් කන්‍යාපටලයක් තිබිය යුතුමය කියලා හිතන් ඉන්නෙ. ඉස්කෝලෙ ප්‍රජනනය පාඩම කරන්න පන්තියට එන ටීචර් ඇඹරි ඇඹරි ඉඳලා වෙන පිටුවක් පෙරළාගනිල්ලා කියන පහත් තැන අපි ඉන්නෙ. ලිංගිකත්වය කුණුහර්පයක් වෙච්ච සමාජෙ ඇතුළෙ ළමයින්ට ලිංගික අධ්‍යාපනය නොදීම හින්දා තරුණ පරපුරම අගාධයකට ඇදලා දාලා තියනවා..
ඒ විපාක විදිහට තමයි Sඑx සර්ච් කරලා ගූගල් එකේ කප් ගැහුවේ. අනාරක්ෂිත ගබ්සා සිය ගණනක් දිනකට සිද්ධ වෙන්නෙ. ළමුන් ගැබ් ගැනීම්. ලිංගික හිංසන,. ස්ත්‍රී දූෂණ මේ තරම් සිද්ධ වෙන්නෙ. සමාජ රෝග ව්‍යාප්ත වෙන්නෙ.  ඒවගෙන් බේරෙන්න දැනුමක් නැත්තෙ..
ලිංගික කුහකයො.. බාල අපරාධකාරයො මානසික අසහනකාරයො බිහිවෙන්නෙ..
ඉතින් සමාජයක් සංස්කෘතියක් අධ්‍යාපන පද්ධතියක් ඇතුලු සමස්ත යාන්ත්‍රණයක් විසින් කරන ලද මහා වරදකට වන්දි ගෙවන්නෙ ලංකාවෙ තරුණ පරපුර.. දැන් උන්ද වැරදි කාරයො..?? වැලන්ටයින් පියතුමා රජතුමා තහනම් කරපු ආදරය ඉල්ලලා තමන්ගෙ ජීවිතෙන් වන්දි ගෙව්වා...
මේ දූපතටත් ආදරය අවශ්‍යයි... හැම මනුස්සයෙක්ටම.. හැම සතෙක්ටම හැම ගහකොළටම ආදරය අවශ්‍යයි.. ආදරය තියන තැන තමයි මනුශ්‍යත්වය උපදින්නෙ.. දෙන්නෙක්ගෙ හදවත් වල ගොඩනැගුණ ආදරය තමයි මේ ලෝකෙ නිර්මාණය කළේ.. ඒක සෙක්ස් වලින් වියුක්ත කරන්න බෑ. වැලන්ටයින් පියතුමා ආදරේ කරන්න ඉගැන්නුවෙ නෑ.. කොයි විදිහකට හරි ආදරේ කරන්න නිදහස ඉල්ලුවා..
අන්න ඒ නිදහසයි වැලන්ටයින් පියතුමාගෙ සටනෙ පරමාර්ථය උනේ.. ලංකාවටත් ඕනෙ අන්න ඒක.. මොකක්ද.. ආදරේ වෙනුවෙන් නිදහස

මාතෘකා