මුල අමතක කිරීමට ජනතාව දුන් දඬුවම

 ඡායාරූපය:

මුල අමතක කිරීමට ජනතාව දුන් දඬුවම

2018 පළාත් පාලන මැතිවරණය පසුගියදා අවසාන විය. කිසිවෙකු නොසිතූ අනපේක්ෂිත ප්‍රතිඵලයක් සමගින් පොදු ජන පෙරමුණ ජයගෙන ඇත. රැස ශ්‍රී විකාරය ආරම්භ වී දින දෙකකට පසු මා විසින් ලියන ලද ශ්‍රී විකාරය මා හට නැවත සිහි වෙන්නේ ප්‍රතිඵල නිරීක්ෂණය කරන විටය.  

පන්සලේ පෝය දවසෙ නැති වන සෙරෙප්පු දෙක බේරා ගැනීමට, ගමේ කසිප්පු පෙරන එක නවත්වා ගැනීමට, ගංජා විකුණන එක නවත්වා ගැනීමට, මාල කඩන එක නවත්වා ගැනීමට ඔවුන් සියලුම දෙනා එකතු කර නගර සභාවට ගාල් කිරීම හැර ජනතාව වෙන තීන්දුවක් නොගන්නා බව එදින පළ වූ ශ්‍රී විකාරයේ සඳහන් විය. එම ප්‍රකාශයට ගැලපෙන අයුරින් සියල්ල සිදු වී ඇති බව මා හට වැටහෙන්නේ ඇතැම් ප්‍රදේශවල සිදු වී ඇති දෑ අසන දකින විටය.   

නගර සභාව විසුරුවන විට එහි තබා ඇති බුදු පිළිමය පවා නිවසට රැගෙන ගිය පුද්ගලයින් නැවත නගරාධිපති දක්වා ඔසවා තබන ජනතාවක් දුටු විට පිටසක්වළ ජීවීන් ලංකාව වෙත නොඑන කාරණය මා හට පහසුවෙන්ම වටහාගත හැකිය.  

සිද්ධීන් කෙසේ වෙතත් බහුතර ජනතාවගේ කැමැත්තට හිස නැමීම සිදු කළ යුතුය. එය ඉතිහාසයේ පැවති සාධාරණ හා නිදහස්ම මැතිවරණයේ ප්‍රතිඵලය සැබවින්ම ප්‍රජාතාන්‍ත්‍රික එකක් නිසාවෙනි.   

කෙසේ වෙතත් ආණ්ඩුවේ හුරතලයට දැවැන්ත කනේ පහරක් එල්ල විය. රාජපක්ෂ රෙජිමය කොටි පෙන්වා ජනතාව බය කරද්දී යහපාලන රජය රාජපක්ෂ පෙන්වා ජනතාව බය කරමින් සිටිමින් පොරොන්දු ඉටු නොකිරීමේ ප්‍රතිඵලය හරවා ජනතාව විසින් ලබා දී ඇත.  

ඇමතිවරු වේදිකාවේ “ආණ්ඩුව අපේ. අපි සල්ලි දුන්නොත් තමයි පළාත් පාලන ආයතනවලට මුදල් ලැබෙන්නෙ” යනුවෙන් මෝඩ කතා කියමින් යෑමේ ප්‍රතිඵලය අද ඔවුන් භුක්ති විඳිමින් ඇත. ගුරුවරුන් දණ ගැස්සවූ මහ ඇමතිවරුන්ට දඬුවම් නොකිරීමේ ප්‍රතිඵලය අද භුක්ති විඳමින් ඇත. වංචාකාරයන්ට දඬුවම් නොදී හුරතල් කරමින් සිටීමේ දඬුවම් අද විඳිමින් ඇත. ඔවුන් ජනතාවට අසාමාන්‍ය ලෙස බදු පැනවීමේ දඬුවම් අද විඳිමින් ඇත.

සම්මුති ආණ්ඩුවේ අර්බුදය දේශපාලන වේදිකාවට රැගෙන ඒමෙන් දෙපසට බෙදී අරගල කරමින් රාජපක්ෂ රෙජිමයේ ඡන්ද පදනම වෙත කෙළ හළමින් ගමන් කිරීමේ ප්‍රතිඵලය අද විඳිමින් ඇත. නුසුදුස්සන් තමා වටේ එකතු කරගැනීමේ ප්‍රතිඵලය අද විඳිමින් ඇත.  

කෙසේ වෙතත් ජනතාව අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න ආණ්ඩුව නිසියාකාරයෙන් වටහා ගත යුතුය. එසේ නොවුණහොත් පත් වන අර්බුදය මීට වඩා විශාල වනු ඇත.   

නීතිය සාමය ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාවක් ඔවුන් හට 2015 ජනවාරි 08 බලය ලබා දුන් බව ඔවුන් තේරුම් ගත යුතුය. ඒ ජනවරම හැල්ලුවට ලක් කිරීමේ ප්‍රතිඵලය අද භුක්ති විඳින බව ඔවුන් තෙරුම් ගත යුතුය.. 

[චමල් අකලංක පොල්වත්තගේ][සුජිත් ප්‍රියන්ත]

මාතෘකා