මාධ්‍යය | ඇස පාදන රැස


මාධ්‍යය

 ඡායාරූපය:

මාධ්‍යය

අපේ රටේ මාධ්‍යය ගැන මා හට ඇත්තේ පුදුමාකාර ආඩම්භරයකි. ඔවුන් දිවා රාත්‍රී මහන්සි වී කටයුතු කරන්නේ රටේ ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා ය. උදැසන කුකුළා හඬලන්නට ප්‍රථමයෙන් අවදිවන ඔවුන් මුලින්ම කරන්නේ සෙත් පිරිත් වාදනය කිරීමයි. රටේ පවත්වාගෙන යන සෑම රේඩියෝ චැනලයකම රුපවාහිනි චැනලයකම මෙලෙස වාදනය කරත් රටට සෙතක් නොවන්නේ මන්දැයි කියන කාරණය මට වැටහෙන්නේ නැත. සෙත් පිරිත් ඇසීම නිසා හෝ වාදනය කිරීම නිසා යහපතක් වෙනවා නම් මේ වන විට රට හොරකම් මැරකම් වලින් තොර මිනීමැරුම් වලින් තොර සුන්දර තැනක් වී තිබිය යුතුය. ඉන් පැය කිහිපයකට පසු අට නවයට වන විට ලග්න දොළහකට හිමිකම් කියන ග්‍රහ චාරය ගැන රටම දැනුවත් කරයි. පැය කිහිපයක ගුවන් කාලයක් ගෙන මිලියන විස්සකට අධික ජනතාවක් දොළහකට බෙදා පවසන බයිලා ටික ළහිරු පෙරේරාගේ රම්බරී සින්දුවේ මෙන් තේරුමක් ඇත. ඒවා අහගෙන ඉන්නට තරම් ආසා හිතේ. ඇතැම් විට ඒවා ප්‍රචාරය කරනවා ඇත්තේද මිනිසුන් හිනැස්සවිම අරමුණු කරගෙන බවද මා හට නොහිතුනාම නොවේ. උදාසනය ගෙදර පිරිමි පාර්ශ්වය රැකියා සඳහා පිටත් කර යැවූ පසු ඉතුරු වන ගෘහනියන්ගේ පාළුව කාන්සිය මග හරවා ගැනීමට මෙවැනි විහිළු ප්‍රචාරය කරනු ඇත්දැයි විටෙක මට සිතේ.

ඉන් පැය දෙකකට පමණ පසු උදාවන්නේ හක් ගෙඩියාගේ ධන ලක්ෂ්මී පූජා වාරයයි. හක් ගෙඩියක් තියාගෙන පැයක් පමණ එහි ගුණ වර්ණනා කරමින් ධනවත් වන ආකාරය ගැන ලොවට රටට කියා දෙන්නට උත්සාහ කරන ආකාරය දුටු විට මට ඔහු ගැන මහත් භක්තියක් ඇතිවේ. හොයාගෙන ගොස් බිම පෙරළෙමින් වඳින්නට තරම් සිත් පහළ වෙයි ඒ අන් කසිවක් නිසා නොව වැඳීමට සිත්වන තරමේ ආදරයක් කරුණාවක් ඔහු ජනතාව කෙරේ පෙන්වන නිසාවෙනි. කිහිප වතාවක් පිටකෝට්ටේ පිහිටි වාලම්පුරි මහතාගේ නිවස ඉදිරියෙන් ගමන් කර ඇති නිසා එම බිම පෙරළි පෙරළී වැඳීමේ ආශාව උපන් ගෙයිම මරා දැමීමට මම සිතා ගත්තෙමි. වාලම්පුරියක් හෝ හක්ගෙඩියක් මිලදී ගෙන දියුණු වූ කෙනෙක් ගැන මා මෙතුවක් කාලයකට අසා නැතත් ඒවා විකුණමින් පෝසත් වූ මිනිසෙක් ගැන නම් අසා ඇත. ඔබටත් වාලම්පුරියක අසිරිය දැනගැනීමට අවශ්‍ය නම් රූපවාහිනිය ඉදිරියේ නොව පිටකෝට්ටේ පිහිටි වාලම්පුරි මහතාගේ නිවස ඉදිරියට යන්නට කියා ඉල්ලීමට කැමැත්තෙමි. හක්ගෙඩියක් පෙන්වා ජනතාව ධනවත් කිරීම සඳහා මාධ්‍ය ආයතනද මහත් වූ කර්තව්‍යක් ඉටු කිරීම ගැන ජනතාවද ආඩම්බර විය යුතුය.  

මෑතක දිනයක සතිඅන්ත පුවත්පතක් මිලදී ගත්තේ රැකියාවක් සඳහා ඉල්ලුම්පත් දැමීමට අවශ්‍ය කරන දැන්වීම් ඇත්දැයි බැලීම පිණිසය. පිටු කිහිපයක් පෙරළාගෙන යන විට හැම තැනම ඇත්තේ හැර ගිය අය ගෙන්වා දෙනු ලැබේ, කනප්පු යැවීමෙන් හොරු අල්ලනු ලැබේ පන්නයේ දැන්වීම් ය. ශ්‍රී ලංකා පොලිසිය විසුරුවා හැරීමට කාලය උදා වී ඇත්දැයි මට සිතුණේ එම දැන්වීම් නැරඹීමෙන් අනතුරුවය. ඒ තරමටම පොලිස් සේවයේ සේවාවන් ලබා දීමට ඉදිරිපත් වූ පිරිස වැඩිය. මාධ්‍ය ආයතන වලින්ද මෙලෙස පිටු ගණන් වෙන් කරනු ලබන්නේ රටේ ජනතාව කෙරෙහි ඇති ආලයෙන් බව මා හට පසක් වුයේ රූපවාහිනිය නැරඹීමෙන් පසුවය. ඒ රූපවාහිනීවලද එවැනි දැන්වීම් වලට ඉඩක් ලබා දී තිබෙනු දැකීම නිසාය. මිට කාලයකට ඉහතදී පාන් ගෙඩියකින් ගුරුකම් කරන හැටි තක්කාලි ගෙඩියකින් සතුරන් නසන හැටි ජනතාවට ඉගැන්වීම පිණිස එක්තරා මාධ්‍ය ආයතනයක ෆෙන්ෂුයි සාමිවරයෙක් සිටියේය. ලක්ෂ ගණනක් මුදල් වියදම් කර යුද්ධයක් කරන සමයේ මෙවැනි විශේෂඥයන් යොදාගෙන ජීවිත හානි දේපොළ හානි අවම කර නොගත්තේ මන්දැයි කියන කාරණය තවමත් මගේ සිත තුළ වධ දෙන කාරණයකි. අනාගතයේ දිනයක ලෝකයේ කොතැනක හෝ සිදුවන යුද කටයුත්තකදී මෙවැනි පුද්ගලයන්ගේ සහාය ඔවුන්ට ලබා දී විශාල විදේශ විනිමයක්ද උපයාගැනීමට අපට හැකිවනු ඇත.  

මෙවනි පුදගලයන් සහ ක්‍රම ජනතාව අතරට ගෙනයන මාධ්‍ය ආයතන රට වෙනුවෙන් සිදු කරන කාර්යය සුළුපටු නොවේ. රට දියුණු කිරීමට නම් ජනතාව දියුණු කර සිටිය යුතුය ජනතාව දියුණු වීමට නම් ඔවුන් නිරෝගිව සිටිය යුතුය. නිරෝගීව සිටීමට නම් නිතරම සිනහමුසු මුහුණින් යුතුව කල් ගෙවිය යුතුය. මෙවැනි වැඩසටහන් නැරඹීම නිසා ජනතාව නිතරම සතුටින් සිටිනු ඇති යැයි මාධ්‍ය ආයතන විශ්වාස කර මේවා ප්‍රචාරය කරන බව මට පැවසුවේ අපේ සීයාය.

[චමල් අකලංක පොල්වත්තගේ][සුජිත් ප්‍රියන්ත]

මාතෘකා