ලිංගික තෘප්තිය ලැබීමට අවයව වෙනස් කළ යුතු නොවේ

 ඡායාරූපය:

ලිංගික තෘප්තිය ලැබීමට අවයව වෙනස් කළ යුතු නොවේ

පසුගිය දිනකදී දඹුල්ල නගරයේදී අමානුෂික ලෙස පහර දී සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු මරාදැමීමේ සිද්ධියෙන් පසු මෙම ලිපිය මානව හිමිකම් වෙනුවෙන්, අපත් සමඟ කටයුතු කරන මාගේම සහෝදරියකුගේ ඉල්ලීමක් මත ලියා තැබීම සිතුවෙමි.   

පෙර මා සඳහන් කළ මරණ සිදුවීමෙන් පසු එය වාර්තා කරන ලද පුවත්පත් හා යම් යම් වෙබ් අඩවි “කාන්තා ඇඳුම් ඇඳගත් තරුණයා” යනුවෙන් එම සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයා යනුවෙන් හඳුන්වා දී තිබුණි. මේ පුද්ගලයන් කාන්තා ඇදුම් අඳින්නේ ඇයි දැයි කවුරුත් නොසිතා මෙය මානසික ලෙඩක් යනුවෙන් හැඳින්වීමට නිතරම පුරුදුව සිටි. නමුත් එහි ඇතුළත සොයා බැලීමට හෝ දැනගැනීමට කවුරුත් උනන්දුවක් දක්වන්නේ නැත. සංක්‍රාන්ති සමාජභාවය සමාජයට අලුත් මාතෘකාවක් ලෙස පෙනුණද මෙය සමාජයේ අලුත් දෙයක් නොවේ. නමුත් පුද්ගලයන් බලනා කෝණය තවමත් වෙනස් වී නොමැත.  

මෙලොව ඉපදෙන සෑම දෙනාටම ශරීර දෙකක් පිහිටනු ලබයි. එනම් මානසික ශරීරය හා කායික ශරීරයයි. බොහෝ දෙනාට මනසට සරිලන ශරීරයක් ලැබුණද සමහරුන්ට මනසට සරිලන ශරීරයක් පිහිටන්නේ නැත. ඔවුන්ව සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ලෙස හඳුන්වනවා. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය හා ඇමරිකානු මනෝ විශේෂඥ ද්‍යෛ සංගමය විසින්ද මානසික රෝග තත්ත්වයක් නොවන වගට සනාථ කොට තිබෙනවා. එහෙත් එය කිසිම අයුරකින් සුළුපටු කාරණයක් නොවන බව මා කීමට කැමතිය. සාමාන්‍ය මනසක් හිමි කෙනෙකුට කිසිම දවසක නොකළ හැකි දෙයක් වන මේ ලිංගික විපර්යාසය සිදු කිරීමට පුදුමාකාර මානසික ශක්තියක් තිබිය යුතුය. මන්ද මෙය ඉතාමත් අභියෝගවලින් පිරි ගමනක් බැවිණි. ඔහු තමා පමණක් නොව තමා අවට සමාජයද තම වෙනසට හුරු කරවීමක් සිදු කරනු ලබයි. එපමණක් නොව සමාජය තුළින් එල්ලවන බලපෑම්වලට මුහුණ දීම සඳහා මානසික සූදානමක් සිදු කරනු ලබයි. සාමාන්‍යෙයන් පිරිමියෙක්ව ඉපිද කාන්තාවක් බවට සංක්‍රමණය වන කෙනෙකුට තමන්ගේ ඇඳුම් පැළදුම් පවා කාන්තාවක ලෙස වෙනස් කළ යුතුව ඇත. ශ්‍රී ලංකාව වැනි රටක පිරිමියෙකු ගැහැනියක් ලෙස ඇඳ සිටීම කෙතරම් අභියෝගයක්ද?.. එතනින් පසු එම වෛද්‍යවරයා විසින් ඔහු හෝර්මෝන ප්‍රතිකාර සඳහා යොමු කරනු ලබයි.

එපමණක් නොව එලෙස කිරීමෙන් අනතුරුව පියයුරු සැකසීමේ ප්ලාස්ටික් සැත්කම දැනට රජයේ රෝහලෙන් නොමිලයේ සිදුකරගත හැකි නමුත් එම ප්ලාස්ටික් සැත්කම සඳහා අවශ්‍ය කරන පිරවුම් බැලූන පුද්ගලික ආයතනයකින් මිලදී ගත යුතු වන අතර ඒ සඳහා 130,000ක මුදලක් වැය වෙයි. එය පුද්ගලික රෝහලකින් සිදුකරනු ලබන්නේ නම් 300,000ක මුදලක් වැය වෙන අතර යෝනි මාර්ගය සැකසීමේ සැත්කම් ලංකාවේ දී නොකරන බැවින් ඒ සඳහා විදේශගත වීමට සිදුවේ. එම සැත්කම සඳහා ගමන් වියදමත් හා ඉදුම් හිටුම් වියදම් සහිතව රුපියල් 600,000ක මුදලක් වැය වෙන අතර මෙම පුද්ගලයා නිවසෙන් නෙරපා දමා තනියම ජීවත් වන පුද්ගලයකු නම් ඔහුට හෝ ඇයට තම කුලී නිවසේ වියදම හා තමන්ට ජීවත් වීමට ඇති වියදම් ද දැරිය යුතු වෙනවා. අප දන්නා ප්‍රාෙයා්ගික තත්ත්වය නම් ශ්‍රී ලංකාව තුළ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් රැකියා විරහිත පුද්ගලයන් වන අතර සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් ලිංගික වෘත්තියේ යෙදෙති. නමුත් පසුබිම් කාරණා කිසිවක් නොසලකමින් නිතර මෙම සමාජය විසින් මෙම පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය හෙළා දකින අතර ඔවුන් තලා පෙළා දමමින් ඔවුන්ගේ ජීවිතයටද හානි පමුණුවනු ලබයි.   

තමන්ට ලැබුණු ඇග කපා කොටා ගනිමින් අවයව වෙනස් කර ගනිමින් මොවුන් ලිංගික තෘප්තිය සඳහා හෝ මොළේ අමාරුවක් නිසා මේ දේවල් කරනවාය යන්න බොහෝ විට නැගෙන චෝදනා වෙයි. පදනම් විරහිත චෝදනා කිරීමට හෝ විනිශ්චය කිරීමට පෙර මදක් සිතන්න. ලිංගික තෘප්තිය ලැබීමට නම් අවයව වෙනස් කළ යුතු නොවේ. එය කිනම් හෝ අකාරයකට ලබාගත හැක. නමුත් මානසික තෘප්තිය, තමන්ට හිමි විය යුතු ජීවිතය ලබාගැනීම මේ තුළ වෙයි. අමානුෂීය විවේචනයන් හා විනිශ්චයන්ට පෙර ඕනෑම කාරණාවක තිබෙන සත්‍ය පැතිකඩ පිළිබඳව පරිණත හා බුද්ධියෙන් මුහුකුරා ගිය සමාජයක් ලෙස මීට වඩා අවධානයක් යොමු කළ යුතු බව පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් ලෙස මාගේ අදහසයි. 

[භූමි හරේන්ද්‍රන්]