ශික්ෂිත සමාජයක් සහ රටක්

 ඡායාරූපය:

ශික්ෂිත සමාජයක් සහ රටක්

ශ්‍රී ලංකාවේ සිටි දේවගැතිවරයකු සහ කාන්තාවක අතර ඇති වූ ප්‍රේම සබඳතාවක් පිළිබඳ සත්‍ය කතා පුවතක් අනුව නිපදවූ සිනමා පටයක් මේ දිනවල තිරගත වෙමින් පවතිනවා. එහි තේමාව වශයෙන් ගෙන ඇති ප්‍රේමය, ඝාතනය යන කාරණා පදනම් කරගෙන යමකුට මේ සිනමා පටය ගැන කථිකාවක නියැළිය හැකියි. එමෙන්ම සමාජයට වගකිවයුතු පෙරටුගාමි පුද්ලගයකු වන ආගමික නායකයකු වශයෙන් කතා නායකයා තමන් සතු සිවිල් බලය අවභාවිත කිරීම පිළිබඳ තේමාවද මෙහිදී ප්‍රමුඛ කොටගත හැකියි. සැබවින්ම මැතිව් පීරිස් නම් එම පියනම තමන්ට සමාජයට කළ හැකි යහපත පසෙකලා තමන්ගේ ධුරය ඉතා අල්ප අරමුණක් වෙනුවෙන් අවභාවිත කළා. එහි අවසන් ප්‍රතිඵලය වුණේ තමන්ද ඇතුළු පුද්ගලයන් සතරදෙනෙකුගේ ජීවිත පරිහානියට පත් වීම. ඔහු සමාජයට වගකියන්නෙක් සහ තමන් නියෝජනය කළ කතෝලිත සමාජය සහ එහි බැතිමතුන්ට වගකියන්නෙක් වශයෙන් තම රාජකාරිය පැහැර හැරියා.

බයිබලයේ එන එක් උපමා කතාවක් පදනම් කරගෙන සිදු වූ තවත් මේ හා සමානම කතාවක් තිබෙනවා. ඉහත සිදුවීමට සම්බන්ධ දෙවගැතිවරයා වගේම සමාජයේ යම් සිවිල් බලයක් හිමි කරගත් තවත් පියතුමෙක් සිටියා. ඔහු දැඩි ස්ත්‍රී ලෝලියෙක්. මොහුගේ ස්ත්‍රී ලෝලීත්වය පිළිබඳ බොහෝ අය දැන සිටියත් බලවත් පුද්ලගයකු නිසා ඔහුට කිසිවක් කීමට කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. පල්ලියේ දේශන අතර තුරදි ඔහු පවත්වන බලය සහ ඔහුගේ කථිකත්වයට කවුරුත් බය වුණා. මේ පල්ලියට නිතර යන එන සුරූපී කාන්තාවක් ගැන දේවගැතිවරයා ඇස ගසාගෙන සිටියා. දේවගැතිවරයා තමන්ට කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන බව කාන්තාවටත් අවබෝධ වුණා. එකී කාන්තාවත් ඔහු කෙරෙහි උනන්දුවක් දක්වන බව දැනගත්තට පස්සෙ දේවගැතිවරයාගේ උනන්දුව තවත් වැඩි වුණා. මේ දෙදෙනා අතර දැනහැඳුනුම්කම වර්ධනය වුණා.

දිනක් හුදකලාවෙ හමු වූ මොහොතක දෙවගැතිවරයා ඇය අසලින් වාඩි වී ඇයගේ වටොර මත අත තැබුවා. කාන්තාව ඉන් කලබලයට පත් වුණේ නැහැ. හිමින් සීරුවේ දේවගැතිවරයාගේ දෙනෙත් දිහා බලාගෙන 'පියතුමනි, ඔබට ලුක් 14:10 මතකයි නේද?' යනුවෙන් ඇසුවා. එකෙනෙහිම තම අත ඇයගෙන් ඉවතට ගත් දේවගැතිවරයා මාංශපාපය පිළිබඳ බයිබල් ඉගැන්වීම පිළිබඳ සිහි වී බියෙන් සහ ලැජ්ජාවෙන් යුතුව එම ස්ථානයෙන් නැඟිට ගියා. නැවත දිනයකදිත් මේ හා සමාන තනි වූ මොහොතක තමන්ගේ සිතැඟි පාලනය කරගත නොහැකි වූ දේවගැතිවරයා පෙර දිනයේ මෙන්ම ඇය තමන් අසල වාඩි වී සිටන මොහොතක ඇයගේ වටොර මත අත තැබුවා. ඇය පෙර දිනයට වඩා ඉතාමත් සාමකාමීව, නිසොල්මන්ව බිම බලාගෙන, ඉතා සෙමින්, 'පියතුමනි, ලූක් 14:10 අනුව ක්‍රියාකරනු මැනවි' යැයි සිහින් ස්වරයෙන් පැවසුවා. තමන් මේ තත්ත්වයට පොලඹවාවූ මේ ගැහැනිය නැවතත් තමන්ට ධර්මපාඨ මතක් කර දෙමින් තමන් වියවුලට පත් කරන්නේ යැයි විස්සොපයෙන් ඔහු එතැනින් ඉවත්ව ගියා.

තමන් වැනි දෙවගැතිවරයකුටත් ධර්මය කියා දෙන්නට පැමිණන මෙම ගැහැනිය පවසන එම ධර්ම පාඨය කුමක්දැයි සොයා බලන්නට ඔහු බයිබලය පෙරළා, ලූක් විසින් දේශනා කළ ශුභාරංචිය කියවන්නට පටන් ගත්තා.

“ඔබට ආරාධනාවක් ලැබුණු විට පහත්ම ආසනය තෝරාගන්න. එහි දී ඔබට ආරාධනා කළ මිනිසා ඇවිත්, ‘ඉහළ ආසනයකට යන්න’ කියා ඔබට කියයි.”

ඔහු මෙම වාක්‍ය දෙවරක් තුන්වරක් කියවා බැලුවා. මෙහි අර්ථය කුමක්ද? එකෙනෙහිම ඔහුට ඇය වක්‍රාකාරයෙන් පැවසූ දෙය වැටහුණා. ‘තව ඉහළට යන්න’ ඔහුට තමන් ගැන විශාල ආත්මානුකම්පාවක් සහ ලැජ්ජාවක් ඇති වුණා. තමන් මීසමක් භාර ප්‍රධාන පූජකයකු වුණත් තමන්ට බයිබලය පිළිබඳ ඇත්තේ කෙතරම් පටු ඥානයක්ද? ඔහු තමන්ට හමු වූ අවස්ථාව මඟහැරගත්තා නොවෙද? එහෙයින් ඔහු කෙතරම් අඥානයෙක්ද යනුවෙන් මෙම සිදුවීම ගැන මතුපිටින් බලන්නකුට හැඟී ගියත් මින් අපිට ගත හැකි සැබෑ ආදර්ශය නම් අප විසින් අපගේ රාජකාරීය මැනවින් ඉටු කළ යුතු වීමයි.

බයිබලය නොකියවූ පියනමක් සේම ත්‍රිපිටකය නොකියවන දේශපාලන වේදිකාවල ළතෝනි තියන පවුල් සෞඛ්‍ය සැලසුම් ගැන ධර්මදේශනා පවත්වන සහ බහුජාතික සමාගම් සඳහා ආර්ථික උපදේශනය පවත්වන, භික්ෂුන් වහන්සේලාත් එක සෙක්කුවකට බඳින්න පුළුවන් අය. මේක ආගමික නායකයන්ට පමණක් පොදු ලක්ෂණයක් නෙමෙයි. රටේ ඉන්න අනෙක් වෘත්තීන් නියෝජනය කරන අයත් හැසිරෙන්නෙත් ඒ විදිහටම තමයි.

දැන් අප ජීවත් වෙමින් ඉන්නෙ බාල පෙට්ට්‍රල් ගහගෙන බාල රෝද උඩ දුවන සමාජයක. තමන්ගේ වෘත්තියට වගනොකියන මේ බාලරෝද තවත් අනාගත පරම්පරාවකට ගෙලට මාලවෙලා එම පරම්පරාවත් පුලුස්සන්න අර අඳිනවා. රටකට අවශ්‍ය අපමණ අගය ළඟාකරගත හැක්කේ එකී සමාජය ශික්ෂිත වීම හරහා පමණයි. ශික්ෂිත සමාජයක් ගොඩ නගා ගත හැක්කේ එම සමාජයට ඓන්ද්‍රීයව බද්ධ වෙච්ච වෘත්තීයවේදීන් තමන්ගේ වෘත්තීය ඇතුළේ ශික්ෂිත වීම මඟින් පමණයි.

[දිනේෂ් දේවගේ]

 

මාතෘකා