යුතුකමේ රස!

 ඡායාරූපය:

යුතුකමේ රස!

[මේනක මදුජිත්]

අපේ එදිනෙදා ජීවිතයේදී අපිට වියහියදම් එමටයි. නූතන සමාජයේ සියල්ල මිල කෙරෙන තත්ත්වයක් ඇතුළේ අපට නොමිලේ යමක් ලැබෙනව කියන්නෙම ඉතාම වටිනා දෙයක්. මෙවන් නොමිලේ ලැබෙන ඉමහත් වටිනාකමින් යුක්තමුත් එකවරම අගය කිරීමක් නොලැබෙන බොහෝ දේ තිබෙනවා. ඒ ගැන ටිකක් කතාකරන්න හිතුණා.

සමාජය කියන්නේ විවිධාකාර මිනිසුන්ගේ සුන්දර එකතුවක්. ආගමික විශ්වාස, දේශපාලන මතිමතාන්තර, සිරිත් විරිත් සහ වෙනත් සාධක මත කෙනෙක් අනෙකාගෙන් වෙනස් වෙනවා. මෙලෙස සියල්ලන් අතර තිබෙන වෙනසින් තමයි සුන්දරත්වයක් ගොඩනැඟෙන්නේ. සමාජයෙන් අපට ඉගෙනගන්න ලැබෙන පාඩම් ඉතාම වැදගත්.

"දිනෙන් දින සමාජය පිරිහෙමින් පවතිනවා කියන කතාව නිතර ඇහෙන දෙයක්. මිනිස්සුන්ගේ ස්වාර්ථකාමී ආකල්ප, අනෙකා දෙස වපර ඇසින් බලන්නට හේතු වෙනවා. අනෙකා තමා වෙනුවෙන් වැඩ කළ යුතු අතර තමා අන්‍යයන් වෙනුවෙන් කිසිවක් නොකළ යුතු බවත් විස්වාස කරන්න පටන් ගැනීම තමයි මෙහිලා විශාල බලපෑමක් ඇති කරන්නේ.

එසේ වුවත් සමාජයේ සැලකිය යුතු තරම් පිරිසක් අන්‍යයන් වෙනුවෙන් මෙහෙවර කිරීම තම වගකීමක් කොට සලකනවා. ඒ අතර ජනප්‍රියත්වය උදෙසා වැඩ කරන අයත්, කිසිවක් පෙරළා නොපතමින් කටයුතු කරන අයත් ඉන්න පුළුවන්. ඒ කුමක් වුවත් වඩා වැදගත්වන්නේ අවසානයේදී ලැබෙන ප්‍රතිඵලයයි. කිසිත් නොකරන ආත්මාර්ථකාමී බවට වඩා යමක් කිරීමයි වැදගත්.

මේ සමාජ සත්කාර කරන්නේ හදවතින්ම එන ඉමහත් හැඟීමකින් නම් එය වඩා සුන්දරයි. එවැනි යහපත් ක්‍රියාවන් සඳහා ළමා පරපුරට මඟපෙන්වූ එස්. මහින්ද හිමියන්ගේ පබැඳුම කතාන්දරයක් ලෙසින් ඉදිරිපත් කරන්නේ එය ඉතාම අපූරුවට, සමාජය වෙනුවෙන් අපෙන් විය යුතු යුතුකම් හිතට කාන්දු කරන නිසයි. තමන්ගේ සීයා ගොඩක් වෙලාවකින් දකින්නට නොලැබුණු නිසා සමන් ඔහුව සොයන්නට පටන් ගත්තා. කාමරයට එබිලා බැලුවේ සමහර දවස්වල හැන්දෑවට සීයා ඇඳට වෙලා ඉන්න නිසයි. එහෙත් නැහැ. සමන් ඉස්කෝලේ ගිහින් ආවට පස්සේ, අම්මා නාවලා කෑම කැව්වට පස්සේ සීයගේ තුරුල්ලට පනින එක පුරුද්දක්. සීය ලස්සන කතා කියාදෙන නිසා ආසාවෙන් අහන් ඉන්න සමන්ට නොදැනීම නින්ද යනවා. සීය සමන්ව ඔසවාගෙන ගිහින් ඇඳෙන් තියනවා.

‘සීයා වත්ත පහළට යන්න ඇති.‘ කියල හිතපු සමන් වත්ත පහළට දුවගෙන ගියා. හරියට හරි. සීය මොකක්හරි අලුත් වැඩක්. උදැල්ලක් අරගෙන මොකක්දෝ ලොකු වැඩක්.

"සීයේ මොනවද ඔය කරන්නේ?" (මොනවද මුත්තේ මොකද කරන්නේ)

"ඇයි සීයේ ඔතන හාරන්නේ" (මොකටද ඔබ ඔය බිම හාරන්නේ)

සීයා අතේ අඹ ඇටයක්. දවල් බත් කාලා ආසාවෙන් කාපු රසම රස අඹ ගෙඩියේ රස පුංචි සමන්ට ආයෙම සිහිපත් වුණා.

සීයා සමන්ව තමන්ගෙ ළඟට ගත්තේ හරි ආදරයෙන්.

"පුතේ මං මේ අඹ ඇටේ ඉන්දන්නයි හදන්නේ"

(ඔබටත් ළමයෝ නොපෙනෙයි නොසිතමි, අඹ ඇටයක් සිටුවන්නට හාරමි)

සමන් තේරුම් ගන්න උත්සාහ කළා. අඹ ගහක් කියන්නේ ලොකු ගහක්නේ. ඉතින් ගහ ලොකුවෙන්න ලොකු කාලයක් යනව කියලා අවබෝධයක් සමන්ට තිබුණා.

"ඉතින් සීයේ මේ අඹ ගහ ලොකුවෙලා අඹ හැදෙනකොට සීයට කන්න ලැබෙයිද" (දුකසේ සිටුවා අඹ ඇටයක් අද, එක අඹයක්වත් කන්න ලැබේවිද?)

සීයා අඹ ඇටය සිටෙව්වා. පොඩි වුණාට සමන් ඇහුවේ ලොකු ප්‍රශ්නයක්.

"පුතේ, මම මේ අඹගහෙන් කන්න අදහසකින් නෙවේ හිටෙව්වේ. ඒක මගෙන් වෙන්න ඕන යුතුකමක්."(මම ළමයෝ මින් අඹයක් නොපතමි, යුතුකම පමණක් ඉටුකොට තබනෙමි)සීයා දුන්න පිළිතුර සමන්ට එකපාරටම තේරුණේ නැහැ. ඉතින් තව විස්තර කරන්න සමන් ඇවටිලි කළා.

"ඒත් කොහොමද සීයේ ඔයාට කන්න හම්බවෙන්නේ නැති මේ ගහෙන් යුතුකමක් වෙනවා කියන්නෙ. මට තේරෙන්නෙ නැහැ" (තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට, කරන්ට හැකි දේ නොම තේරෙයි මට) දෙන්නම ළිඳ ළඟට කතාවෙන්ම ගිහින්. සීයා වතුර බාල්දියක් ළිෙඳන් ඇදලා අරන් අතපය සෝදාගත්තා. සමන්ව ඔසවලා කරේ තියාගත්තා සීයා සමන්ට ලොකු පාඩමක් කියලා දෙන්න පටන් ගත්තා.

"පුතේ අපේ ආත්තා මුත්තා ඉන්දපු ගස්වල ගෙඩි තමයි අපි අද රස කර කර කන්නේ. ඉතින් අපෙන් පස්සේ එන ඔයාලට රසට කන්න අපිත් ගස් හිටුවන්න ඕන, ඒකට තමයි පුතේ යුතුකම කියන්නේ" (පෙර උන් අය සිටුවූ අඹ ගස්වල, පලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල, අපෙන් පසුව එන අයටත් එම ඵල, ලැබෙන්න සැලසුම අපගේ යුතුකම) සීයා සමන්ට කියාදෙමින් ගෙට ගොඩ වුණා. සමන්ගේ අම්මත්, තමන්ගේ තාත්තාගේ වටිනා පාඩමට කන්දුන්නේ හරිම ආඩම්බරයෙන්. පෙර පරපුර අප වෙනුවෙන් වපුළ දෙයින් රස පල රස විඳින අපත් හෙට පරපුර වෙනුවෙන් රස පල දෙන යමක් කළයුතු නොවේද? කිසිවක් ආපිට නොපතා සමාජයට යමක් කරන්න. එයින් අධ්‍යාත්මිකව ඔබව දිනවනු නිසැකයි.

මාතෘකා