දැවැන්තයකුගෙන්  පාඩම් තුනක්

 ඡායාරූපය:

දැවැන්තයකුගෙන්  පාඩම් තුනක්

ලෝකයේ විශාලතම සහ ධනවත්ම ආර්ථිකය හිමි රට වන චීනයේ ජනාධිපති ධුරය දරනුයේ ෂී ජින්පින් විසිනි. ඔහු එක්තරා අවස්ථාවකදී තමන්ට තමාගේ පියා විසින් ඉගැන්වූ හරි අපූරු පාඩමක් ගැන කියා තිබුණා.

ඔහුගේ පියාත් කොමියුනිස්ට් පක්ෂයේ ඉතා ඉහළ නිලයක් දැරූ පුද්ගලයෙක්. දරුවන් මවුපියන්ට පාඩම් ඉගැන්විය යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙනුත් මේ කතාව පාඩමක් වෙනවා. ෂී ජින්පින් ජනාධිපතිවරයාට අනුව ඔහු කුඩා කාලයේ ඉතාමත් ආත්මාර්ථකාමී දරුවෙක්. මම පමණක්, මට පමණක් යන සිතිවිල්ලේ සිටි නිසාම, තමන්ට යහලුවන් බොහෝ සෙයින් අහිමි වූ බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මෙතැන් සිට ලියැවෙන්නේ ඔහු කියන ඒ කතාව...

“ මම ඇත්තටම අනික් දරුවන්ට වඩා ආත්මාර්ථකාමී දරුවෙක්. මගේ ජීවිතයේ මේ වැරැද්ද හදාගන්න හේතු වූයේ මගේ පියා මට කියා දෙන ලද ජීවිතය පිළිබඳ පාඩම් තුනක්. දිනක් මගේ පියා උණු උණුවේ සකසා තිබූ නූඩ්ල්ස් බඳුන් දෙකක් මේසය මත තැබුවා. ඉන් එකක් මත බිත්තරයක් දිලිසෙමින් තිබුණා. ඇත්තටම ඒ දවස්වල කෑමට බිත්තරයක් එකතු වෙනවා කියන්නේ හරිම විරල සිදුවීමක්. තාත්තා මට එක් නූඩ්ල්ස් බඳුනක් තෝරා ගන්නැයි සන් කළා. මා වහාම බිත්තරය තිබුණු බඳුන තෝරා ගත්තා. නමුත් නුඩ්ල්ස් බඳුන හිස් වෙනවිටයි මට පෙනුණේ තාත්තාගේ නූඩ්ල්ස් බඳුනේ පතුලේ සැගවී බිත්තර දෙකක් තිබූ බව. අමතර බිත්තරයක් උරුම කර ගැනීමට නොහැකි වීම ගැන මම කනගාටුවට පත්වුණා. ඒ වෙලාවේ තාත්තා මට මෙන්න මෙහෙම උපදෙසක් දුන්නා. මගේ දරුවෝ. ඔබගේ ඇස් ඔබට කියන්නේ හැමවිටම හරි දේම නෙවෙයි. ඔබ යමක් අත්පත් කරගන්නට යන්නේ ආත්මාර්ථකාමී සිතිවලිවලින් නම් ඔබට කනගාටුදායක අවසානයක් උරුම වෙන්නට පුළුවන්. ”

මෙන්න මේ පාඩම ඔහුට දැඩිව ධාරණය වී තිබුණා. හැබැයි දෙවැනි දවසේ ඔහුට මේක නිවැරදි කරගන්න අවස්ථාවක් තාත්තා ලබා දීලා තිබුණා.

“දෙවැනි දවසේත් තාත්තා අර විදියෙම නූඩ්ල්ස් බඳුන් දෙකක් රැගෙන ආවා. නමුත් එවර මම හිතුවා මම ඊයේට වඩා කල්පනාකාරී වෙන්න ඕනෑ කියලා. මම වහාම බිත්තරයක් මතුපිට නැති බඳුන තෝරා ගත්තා. ඒත් ඒකේ පතුලේ බිත්තර දෙකක් තියා එකක්වත් තිබුණේ නෑ. බලාපොරොත්තු කඩ වූ මගේ මුහුණ දිහා බලමින් මගේ තාත්තා මෙසේ කිව්වා. මගේ දරුවෝ මතක තියා ගන්න, ජීවිතයේ ලබන අත්දැකීම් හා සිදුවීම් හැමවිටම එක වාගේ වේවි යැයි අනුමානයෙන් වැඩ කරන්නට එපා. ජීවිතය විවිධ අවස්ථාවලදී අපව රවට්ටනවා. හැබැයි අප ඒ පාඩම ඉගෙන ගත යුත්තේ මේ ආකාරයෙන් මුලාවේ වැටීමෙන්ම තමයි. ඒවා පොත්වලින් ඉගෙන ගන්නට බෑ.”

හැමවිටම එකම ආකාරයෙන් වැඩ නොකළ යුතු යැයි එවර ෂී ජින්පින් කුඩා දරුවා ඉගෙන ගත්තා. එබැවින් තාත්තා තුන්වැනි දවසේ අර විදියෙම නූඩ්ල්ස් බඳුන් දෙකක් මේසය මත තැබූ වේලේ වඩාත් කල්පනාකාරීව තීරණයක් ගැනීමට ඔහුට සිදුවුණා.

“තාත්තා ඔයා අපේ පවුලේ ප්‍රධානියා. අපි හැමටම වඩා උඩින් ඉන්නේ ඔයා. ඔයා ඉස්සර වෙන්න. මුල්ම නූඩ්ල්ස් බඳුන ඔයා ගන්න. මම ඉතුරු වෙන එක ගන්නම්. තාත්තා බිත්තරයක් උඩින් තිබූ බඳුන අතට ගත් වේලේ මගේ හිත කිව්වා මගේ බඳුනේ පතුලේ බිත්තරයක් තියෙන්න බෑ කියලා. නමුත් නූඩ්ල්ස් බඳුනේ අඩක් හිස් වද්දි මට පෙනුණා බිත්තර එකක් වෙනුවට දෙකක් ඒකේ තියෙනවා කියලා. මම හරිම ආසාවෙන් ඒක අනුභව කළා. තාත්තා ඒ වෙලාවේ තමයි මට වැදගත්ම පාඩම කියලා දුන්නේ. ඔහු මෙහෙම කිව්වා. පුතා, කොයිතරම් තරගකාරී වාතාවරණයකදී වුණත්, අනික් මිනිස්සු ගැනත් හිතලා වැඩ කළොත්, අන්න එතැනදී සොබාදහම ඔබට හොඳම දේ දෙන්න පටන් ගන්නවා.”

ෂී ජින්පින්ට ලැබුණු මේ උපදෙස් මම හිතන්නේ ලොව බලවත්ම රාජ්‍යයක බලවත්ම අසුන දක්වාම උසවා තබන්නට හේතු කාරණා වෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. අපි හැමවිටම තරගයක නිරත වෙද්දි ගොඩ බදාගන්නට යෑම හරහා අපිට උරුම වෙන ජයග්‍රහණය බොහෝ කාලයක් සැමරිය හැකි දෙයක් නොවෙයි. ඒ නිසා ජයග්‍රහණ සොයා යන ගමනේදී මවුපියන් වුණත් කළ යුත්තේ දරුවන්ට ආත්මාර්ථකාමීත්වයෙන් තොරව තමන්ගේ ජයග්‍රහණ අත්පත් කර ගැනීම සඳහා පාර කියාදීමයි කියන එක මම තරයේ විශ්වාස කරනවා.

වර්තමාන ලෝකයේදී අපි දකින්නේ යම් කිසි විෂයකට ලබා ගන්නා ලකුණු ප්‍රමාණය මත, පන්තියේ වෙනියා මත දරුවන්ගේ වටිනාකම තීරණය කරන දෙමාපියන් හා වැඩිහිටියන්. පන්තියේ පළමුවැනියා වෙන දරුවා වඩාත් වර්ණනා කරමින්, පස්වැනියා හෝ හයවැනියා වෙන දරුවා පහතට ඇද දමන දෙමාපියන් මට හමු වී තිබෙනවා. නමුත් වඩාත් වැදගත් වන්නේ යාන්ත්‍රික වෙන දරුවන්ට වඩා හැඟීම් දැනීම් ඇති, සංවේදීභාවය ඇති දරුවන් වඩ වඩාත් ලෝකයට නිර්මාණය කිරීමයි කියන එක මේ කුඩා කතාවෙන් අපූරුවට පැහැදිලි වෙනවා. සේවකයින් තලා පෙලා තමන්ගේ මඩිය තර කර ගන්නා ව්‍යාපාර, අතිරික්ත ලාභයන් වෙනුවෙන් පාරිභෝගිකයින් ගසා කන ව්‍යාපාර, තමන්ගේ කාර්යාලයේ සහෝදර සේවකයින් පසු කිරීම වෙනුවෙන් ඉහළට කේලාම් කියමින් උසස්වීම්වලට ඉණිමං හොයන සේවකයින් හරි වේගයෙන් විටෙක ඉදිරියට යන බව පේන්න තිබෙනවා තමයි. ඒත් තමන් උපයන ආදායම සේවකයින්ටත් ප්‍රතිලාභයක් බවට පත් කරවන ව්‍යාපාර, පාරිභෝගිකයාට උපරිම සාධාරණයක් කරන ව්‍යාපාර වගේම සාධාරණ මාර්ගයෙන් ඉහළට යන්නට උත්සාහ කරන සේවකයින් ලබන ජයග්‍රහණ කල් පවතිනවා කියන එකයි සොබාදහම අපට යළි යළිත් ඔප්පු කරමින් තිබෙන්නේ.

උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.

[භාතිය අර්ථනායක]

මාතෘකා