පෙරදිග පිළිබඳ අවරදිග සෝ සුසුම්

 ඡායාරූපය:

පෙරදිග පිළිබඳ අවරදිග සෝ සුසුම්

ශ්‍රී ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයකු වූ විලියම් ග්‍රෙගරි ශ්‍රී ලාංකිකයන් පිළිබඳ මෙවන් සඳහනක් කළේය. "ශරීර දුර්වලතාව, බයාදුකම ඔවුන්ගේ ප්‍රධානතම දුර්වලතා වෙයි. ඔබ දන්නා පරිදි බියගුලුභාවය සුවකරන්නට අපහසු රෝගයකි. එවන් රෝගවලින් පෙළෙන ජාතියක් සමඟ ගනුදෙනු කළ යුත්තේ ඔවුන් තුළ ආත්ම විශ්වාසය ඇති කිරීම සහ ඔවුන් ධෛර්යවත් කිරීම තුළිනි. එමෙන්ම ඔවුන්ගේ යහපත් කල්ක්‍රියාව සහ පක්ෂපාතීත්වය නිබඳව වර්ණනය කිරීමෙන් ඔවුන් සමඟ පහසුවෙන් කටයුතු කළ හැකිය. "සැබවින්ම මෙවැනි සිතුවිල්ලකින් අප විසින් බටහිර ලෙස එසේත් නැතිනම් අවරදිග ලෙස හඳුන්වන ඇමරිකාව ඇතුළු යුරෝපීය බලවතුන් තුළ පෙරදිග ලෝකය පිළිබඳ පැවති සමස්ත සැලසුම සහ වැඩපිළිවෙළ හකුළුවා දක්වයි.

බොහෝ අය විසින් වහරන බ්‍රිතාන්‍ය අපට නිදහස ලබාදී අපගෙන් මිදුණා යන්න හුදු වාගාලාපයක් පමණි. 19 වැනි සියවසේදී බ්‍රිතාන්‍ය මත පටවාගත් එකී බර ලෝක බල තුලනයෙහි ප්‍රතිඵලයක් වශයෙන් විසිවැනි සියවසේදී නව ලෝක බලවතකු බවට පත්වූ ඇමරිකාව වෙත පවරා ගත්තේය. ඇමරිකාව විසින් පෙරදිග සඳහා සකස් කළේ අතීතයේ සැකසුවාට නොදෙවැනි න්‍යාය පත්‍රයකි. එය පළමු ලෝක යුද්ධයෙන් පසුව බිහි වූ ජාතීන්ගේ ලීගය විසින් සම්මත කරගත් "තවමත් තනිවම නැඟී සිටිය නොහැකි මිනිසුන් සඳහා ශිෂ්ටාචාරය විසින් අත්කර දිය හැකි පරම විශ්වාසය නම් ඔවුන්ගේ යහපැවැත්ම සහ සංවර්ධනයයි, එහෙයින් එකී ජාතීන්ගේ භාරකාරීත්වය දියුණු ජාතීන් විසින් දැරිය යුතුය." යන අදහස්වලින් නිරූපිතය. සැබවින්ම එකී භාරකාරීත්වය යනු පෙරදී බටහිර විසින් ඉතා සෘජුව කළ අපහරණය වක්‍රාකාරව සිදු කරන බවට කළ ඇඟවුමකි.

බටහිර ලොව අන් රටවල්ද බටහිර ලෙසට රූපාන්තරණය කිරීමේ තමන් වෙත පවරා ගත් වගකීම් ව්‍යාපෘතිය දෙවන ලෝක යුද්ධය අවසානයේදී නව නමකින් පෙනී සිටියේය. එය හැඳින්වූයේ 'විදේශ ආධාර' නමිනි. ප්‍රථම විදේශ ආධාර වැඩසටහන ඇරඹූ ඇමරිකානු ජනාධිපති හැරී ටෘමන් විසින් කළ සමුරු කතාවෙන්ද 'අප විසින් අවසංවර්ධිත රටවල සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක් සැලසුම් කළ යුතුය. ලොව අඩකටත් වඩා ජනතාවක් දිළිඳු බවේ වැරහැලි පොරවයි... ඉතිහාසයේ පළමු වරට මෙම මිනිසුන් එබඳු තත්ත්වයෙන් ගලවා ගැනීම සඳහා අවශ්‍ය දැනුම සහ නිපුණභාවය මනුෂ්‍ය සංහතිය විසින් හිමි කර ගෙන ඇත. ඉතිහාසයේ පළමු වරට ලොව අන් ඉතිරි කොටසට උදවු උපකාර කළ හැක්කේ කෙසේද යන්න ගැන අප දැන් දනිමු' යැයි ප්‍රකාශ කළේය.

ඔහු මෙහිදී මනුෂ්‍ය සංහතිය වශයෙන් හඳුනා ගත්තේ ඇමරිකාව සහ යුරෝපීය බලවත් රටවල් කිහිපය පමණි. එම රටවලට සාපේක්ෂව ලොව තිබෙන අන් රටවල් සියල්ලම අවශේෂ රටවල් බවට පත් විය. දෙවන ලෝක යුද සමයෙන් පසුව ඒ සඳහා ඔවුහු නව බසක්ද තනා ගත්හ. 'වාර්ගික පරමත්වයක්' යන වදන් සහ 'පසුගාමී මිනිසුන්ගේ භාරකාරීත්වය' මෙන්ම 'ස්වයං පාලනය සඳහා ආත්ම විශ්වාසයක් නොමැති මිනිසුන්' යන පැරණි වාර්ගික සංකල්ප කුණු බාල්දියට දමන ලදී. 'නිර්යටත්විජිතකරණය' සහ 'ස්වයං පාලන අයිතිය' විශ්වීය ධර්මතා ලෙසට හඳුන්වන ලදී. එමඟින් එතෙක් 'අශිෂ්ට' සියල්ලක්ම 'අවසංවර්ධිත' විය. 'වනචාරී ජනයා' 'තෙවන ලෝකය' බවට පරිවර්තනය විය. වර්ගවාදී බටහිර හදවත් සමතාවය ඉල්ලා දයාර්ද්‍රව උණු වන ඊනියා හදවත් බවට රූපාන්තරණය විය.

එකී මනෝභාවයේ අඛණ්ඩතාව ඔස්සේ අප වර්තමානය කරා එන ගමන නිම වන්නේ දෛනික ආදායම ඩොලර් දෙකකටත් අඩු මිනිසුන් බිලියනයක පමණ පිරිසක් සිටින, මිලියන ලක්ෂ නවයක් දුර්භික්ෂයෙන් පෙළෙන, එපමණක් නොව ඉතා පහසුවෙන් සුව කළ හැකි රෝගවලින් වසරකට දරුවන් මිලියන දහයක් පමණ මියයන, බටහිරින් පොම්ප කළ ඩොලර් ට්‍රිලියන ගණනක ණය ගෙවාගත නොහැකිව ණය උගුලකට හසුවූ ලොවකය... මේ අතරතුර ලෝක බැංකු මූලස්ථානයේ ප්‍රවේශ ශාලාවේ 'අපගේ සිහිනය යනු දිළිඳු බවින් තොර ලොවකි' යන වැකියේ ලෝහ අකුරුවල කාන්තිය පමණක් නොවෙනස්ව පවතී. ඇමරිකානු ජනාධිපති ජොර්ජ් ඩබ්ලිව් බුෂ් විසින් වරක් පෙර සිටි ඇමරිකානු ජනාධිපතිවරයකු වූ වුඩ්රෝ විල්සන්ගේ "ඇමරිකාවට සමස්තව මානව වර්ගයා නිදහස් කරගැනීම සඳහා අන් ජාතියට නොහිමි අාධ්‍යාත්මික ශක්තියක් හිමිය" යන කියමන උපුටා දක්වමින් 'මෙම ශතවර්ෂය තුළ අප විසින් එකී අාධ්‍යාත්මික බලය සමස්ත ලෝකවාසීන්ගේ යහපත වෙනුවෙන් යෙදවිය යුතුය' යනුවෙන් පවසා එම 'ශුභාරංචියේ නාමයෙන්' ලිබියාව ආක්‍රමණය කළේය. ඉන් නොනැවතී සිරියාවට හෙළුෑ ෙබා්ම්බ මත එය ලියා යැව්වේය. ලෝක මූල්‍ය අරමුදල නියෝජනය කරමින් පැමිණි ශුද්දාත්මයන් ඒ ශුභාරංචිය ආසියාව වෙතද රැගෙන ආවේය.

සැබැවින්ම ඇමරිකාව ප්‍රමුඛ බටහිර විසින් සිදුකරණ මෙම නව යුධමය සහ ආර්ථික මැදිහත්වීම් සීතල යුද සමයේ සහ ඉන් එපිටට යටත්විජිත සමය තුළ සිදු කළ මැදිහත් වීම් සමඟ මනාව සැසඳෙයි. එපමණක් නොව මේ සියලු දෙනා විසින්ම පෙරදිග ඇතුළු අවශේෂ ලෝකය පිළිබඳ දරන මනඃකල්පිතයන් යටත්විජිත මනඃකල්පිතයන් සමඟ ඉඳුරාම සමාන වෙයි. එහෙයින් මෙකී මැදිහත්වීම් සියල්ලක්ම නව යටත්විජිතවාදී මැදිහත්වීම් ලෙස හඳුනාගත යුතුය. සැබවින්ම මෙම සියලුම ක්‍රියාකාරකම්වලින් පෙනෙන්නේ බටහිර සැකසූ සරලමතික විසඳුම් ඉන් බාහිර රටවල අභ්‍යන්තර ගැටලු විසඳීම සඳහා යෙදවූ යටත් විජිත ක්‍රියාකාරකම්වලම වර්ධනාත්මක දිගුවකි.

[දිනේෂ් දේවගේ]

මාතෘකා