තැනේ හැටියට ඇණේ

 ඡායාරූපය:

තැනේ හැටියට ඇණේ

ජීවිතේ කියන්නේ කොහොමහරි ගොඩදාගන්න පුදුම කට්ටක් කන මහා තරගයක්. ඉතින් සුපුරුදු ජීවන රටාවේම ඇලිලා ඉඳලා එකතැන පල්වෙමින් ඉන්නේ නැතුව ඉස්සරහට අඩියක් තියන්න ඕන කියල දහස්වර හිතුවත් එහෙම කරන්න නොහැකිව හිරවෙලා වගේ ඉන්නේ ඇයි කියලා අපිටම හිතාගන්න නොහැකිවෙලා තියෙනවා. අන්න එහෙම වෙන්නේ ඇයි කියලා සහ එහෙම නොවෙන්න කරන්න ඕන කාරණා කිහිපයක් ගැන අවධානය යොමු කරන්න හිතුවා.

1. අපිම හදාගන්න සීමා

ආකල්ප අතින් අපි හරිම නොදියුණු පිරිසක් කියලා පෙනෙන ප්‍රධාන කාරණේ තමයි මෙය. අපි හිතනවා මෙයට වඩා අපට කරන්න බැහැ කොච්චර කරත් මෙච්චර තමයි කියලා. අපි අපේ උපරිමය ගන්න උත්සාහ කරන්නේ නැතුව හිතට බාදා ඇති කරගන්නවා. මානසික බාධාව ඇති වුණ හැටියෙම අනෙක් සියල්ල පසුබසිනවා. මුලින්ම අපි දාගන්න සීමාවන් නැති කරන්න අවශ්‍යයි. පළමු දේ තමයි මෙයට වඩා දුර යන්න පුළුවන් කියලා විශ්වාසයක් හිතේ ඇති කර ගැනීම. එහෙම නැතුව නම් කිසිම දෙයක් කරන්න ලැබෙන්නෙ නම් නැහැ.ඔබ විශ්වාස කරන්නට පටන් අරගත්තොත් ලෝකයත් ඔබව විශ්වාස කරන්න පටන් ගන්නවා. ඔබේ මුවින් එළියට එන්නේ විශ්වාසය. ඉතින් ඉන් ඔබේ ජය මාවතට පුංචි හෝ උදව්වක් ලැබෙනවා නොඅනුමානයි.

2. කවුරුන් හෝ මත අසීමිතව රඳාපැවැත්ම

කුඩා කාලයේ ඉඳන්ම අපි පුරුදුවෙලා ඉන්නේ කාගේ හරි ආරක්ෂාව යටතේ ඉන්න. ඉතින් ලොකු වෙලා ලොකු තීරණ ගන්න ඕන වයසෙදිත් අපි ස්වාධීනව තීරණ ගන්න තරම් නිර්භීත වෙන්නේ නැහැ. හේතුව අපි අවදානම ගන්න බයයි. අපි වෙනුවෙන් වෙනත් කෙනෙක් අවදානම ගන්නෙ නැහැ. අපි වෙනුවෙන් වෙනත් කෙනෙක් දෙයක් කරන්න ඉදිරිපත් වෙනවානම් එහි සැඟවුණ විශාල මී වදයක් ඇති කියලා හිතලා බලන්න. මේ යන සමාජ ක්‍රමයේ කල දුටු කල වළ ඉහගන්න පිරිස හරිම ඉහළයි. හැමෝම එහෙම පටු සීමාවකට යටත් කළා නෙවෙයි. ඔබ කියන කරන දෙයින් ඔබ පවසන දෙය තමන්ගේ වාසියට හරවාගන්න ඉඩකඩ වැඩියි. සමහරක් වෙලාවට තමන් බලාපොරොත්තු වෙන අවස්ථා තියෙන්නේ එකම එකයි. උදව්වක් ගන්න යන කෙනාම එය ඩැහැගන්නවා වෙන්නත් පුළුවන්. සුළු සුළු තීරණ තනිවම අරගෙන ලොකු තීරණ ගන්න අවශ්‍ය ශක්තිය ගොඩනඟාගන්න.

3. යමක් ඉක්මනින් එපා වීම

ලොකු බලාපොරොත්තු ඇතිව පටන්ගන්න දෙයක් යම් කිසි සුළු සිදුවීමක් නිසා අතැර දමන්න පෙලඹෙන්නෙ මෙන්න මේ නිසයි. ඉතාම සාර්ථක අදහස්වලින් පිරුණු මිනිසුන් අතර පවා මෙවැන්නන් සුලබයි. සිත් රිදීමක්, අනපේක්ශිත සිදුවීමක් මත තමන් ගොඩනඟමින් සිටි සියල්ල අතහැර දමන්නේ සියල්ලම අහිමි කර ගනිමින්. අලුතෙන් ආරම්භ කරන ව්‍යාපාර කෙටි කලකින්ම බිඳ වැටෙන්නෙත් ඇතැම් විට මෙවැනි හේතු නිසා. සිත් රිදීම්, අනපේක්ෂිත පාඩු වැනි දෙයක් මත තව තවත් ප්‍රබලව ඉදිරියට යන්න උත්සාහ කිරීමයි ඉතාම වැදගත්. අහස සිඹින උස් ගොඩනැඟිල්ලක් දරා සිටින්නේ ඉතාම ගැඹුරට සහ ශක්තිමත්ව ගොඩනඟපු පාදමක් මතයි. ඔබත් මුල් විහිදා කෙමෙන් කෙමෙන් ශක්තිමත් අත්තිවාරමක් හිමිකරගන්නට අවැසි බව ඉන් ගම්‍ය කරනවා.

4. අදහස් සහ යෝජනා

අපි කරන කියන දේවල්වල හොඳ නරක අපිටම හරියටම මැනගන්න බැහැ. සමාජයෙන් ලැබෙන අදහස් උදහස් මඟින් තමයි තමන්ගේ තරම මනින්න ඉඩක් හදලා තියෙන්නේ. මේ කියන්න හදන්නේ අනුන් කියන කරන දේවල් මත සියල්ල තීරණය කරන්න කියලා වටහාගන්න එපා. හිතන්න ඔබ හෝටලයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙක් කියලා. ඔබ රසට පිරිසිදුවට කෑම සපයනවද කියන ප්‍රතිරූපය හදන්නේ ඔබෙන් කෑම කන්න එන පාරිභෝගික පිරිස. ඔවුන් ඔබට දක්වන ප්‍රතිචාර මත ඔබට යම් යම් දියුණු කිරීම් කරන්න ඉඩ ලැබෙනවා. කිසිම විටෙක පාරිභෝගිකයෙක් කරන යෝජනාවකින් ඔබ උරණ නොවී ඉන් විපුල ඵල නෙළාගන්නට කටයුතු කළ යුත්තේ ඔවුන්ට 'ස්තුතියි ඔබේ වටිනා යෝජනාවට' සහ 'සමාවෙන්න, එය නිවැරදි කරගන්නවා' කියමින්. පෞද්ගලික ජීවිතේ ගැන පවා මෙලෙස වෙන්න. යමෙක් විවේචනයක් කළොත් ඔහුට කෘතවේදීව එය පිළිබඳව අවධානය යොමුකරන්න. එහි ගතයුතු යමක් ඇත්නම් ඔබේ දියුණුව පිණිස ඔබේ ඊළඟ සංස්කරණයෙන් එළියට දෙන්න.

ඔබ ඉහත කරුණු අවධානයෙන් යුතුව කියවා බලන්න. අපි සියල්ලම පොදුවේ මුහුණදෙන කාරණා කිහිපයක් ඉන් ගෙනහැර දක්වන්නයි අවශ්‍ය වුණේ. ඉක්මන් ප්‍රතිඵල ලබන්න තරම් තරගයක් නැහැ. ඔබට තියෙන්නේ ඔබ සමඟ තරගයක් පමණයි. ඔබේ සෘනාත්මක මනස ඔබව පසු පසට ඇද දමන්නට කරන උත්සාහයට එරෙහි තරගය පමණයි ඔබට තියෙන්නේ. ඉතින් ජීවිත තරග විභාගයට හරියට උත්තර ලියන්න නම් එය හරියට කියවා සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතු වෙනවා. කලබල වෙලා හරි පිළිතුර යටින් ඉරක් අදින්න තියෙන එකට පිළිතුර ලියලා වැඩක් නැති බව මතක තියාගන්න. අවශ්‍ය පරිදි 'තැනේ හැටියට ඇණේ ගහන්න' අවැසි කුසලතාව සහ ඉව ගොඩනඟා හැකියාව වර්ධනය කර ගන්න. කවදාවත් නොසැලි ඉඳිමින් ඉදිරියට යන්න අවශ්‍යකරන යෝධ ශක්තිය එයයි.

[මේනක මදුජිත්]

මාතෘකා