බ්‍රිතාන්‍ය දුගියෝ සහ දෙසැම්බර් නත්තල

 ඡායාරූපය:

බ්‍රිතාන්‍ය දුගියෝ සහ දෙසැම්බර් නත්තල

මහා බ්‍රිතාන්‍යය යනු ලෝක ධනවාදයේ තිඹිරිගෙයයි. එමෙන්ම එය අධිරාජ්‍යවාදයේ පීතෘවරයාය. බ්‍රිතාන්‍යයේ අන්ත දුගී මිනිසුන්ගේ සංඛ්‍යාව එරට ජනගහනයෙන් 20%කි. මේ ලිපියට පාදක වන්නේ දුගී ජනතාවගෙනුත් අන්ත දුගී ජනතාව ගැනය. ඔවුහු නම් නිවාස අහිමි අසරණයෝය. 2016 සංඛ්‍යා ලේඛනවලට අනුව මුළු රට පුරාම නිවාස අහිමි මිනිස්සු දෙලක්ෂ පනස් දහසක් සිටිති. එය 2018 වනවිට ලක්ෂ 3 ඉලක්කමද පසුකර ඇතිවාට සැක නැත.

මේ මිනිසුන් රාත්‍රිය ගත කරන්නේ උද්‍යානවල හෝ පදික වේදිකාවන් මතය. ඔවුහු සෑම වසරකම අනිවාර්ය ඛේදවාචකයකට මුහුණ දෙති. ඒ දෙසැම්බර් නත්තල් සීතලයි. මහා මාර්ගය පුරාත් උද්‍යාන හරහාත් ඇද වැටෙන්නේ හිම වැසිය. බොහෝ මිනිසුන් මේ අධික සීතල දරා ගත නොහැකිව මිය යති. 2017 වසරේ එසේ සීතලෙන් මිය ගිය මිනිසුන්ගෙ සංඛ්‍යාව 412කි. ඉහත දැක්වූ ජනගහනයෙන් 20%ක් පිරිසගෙන් බොහෝවිට පාසල් යාමට පවා දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දෙන දරුවන්ගේ සංඛ්‍යාව මිලියන හතරකි . ඒ අතර නිවෙසක් තිබුණද කාත් කවුරුවත් නැති ජීවත් වීමට කිසියම් ආදායම් මාර්ගයක් නොමැති විශ්‍රාමිකයෝ මිලියන එකයි දශම නවයකි. මේ සියල්ලෝම එළැඹෙන නත්තල් සීතලටත් නත්තල සැමරීමට කිසිදු මුදලක් හෝ අපේක්ෂාවක් නොමැති මිනිසුන්ය.

මෙම දුක්විඳින ජනතාව වෙනුවෙන් නත්තල් ආහාර කූඩයක් පිරිනැමීමට එක්සත් රාජධානියේ සුප්‍රකට මිරර් පුවත්පත් ජාලය කටයුතු යොදමින් සිටී. මිරර් පුවත්ජාලය ඒ වෙනුවෙන් සිය මිරර් පුවත්පත හා මිරර් අන්තර්ජාල වෙබි අඩවිය ඔස්සේ ජනතාවට ආයාචනය කරති. ඔවුන් ඒ සඳහා සිය පුවත්පතේ මෙලෙස සටහනක් යොදා ඇත.

'' කුසගින්නේ සිටින දරුවන්ට මිරර් පුවත් සේවය හා එක්වී ආහාර ලබාදීමෙන් ඔවුනට හොඳ නත්තලක් ලබාදීමට ඔබට දායක විය හැකිය. මේ ආයාචනය දිළිඳු දරුවන් ලක්ෂ ගණනකට යහපත් නත්තලක් ලබාදීම වෙනුවෙනි.''

එය තවදුරටත් මෙසේ සටහන් කරයි.

'' ලෝකයේ පස්වැනි විශාලතම ආර්ථිකය හිමි රටේ දරුවන් තවමත් කුසගින්නේ සිටීම ගැන අපි ලැජ්ජාවට පත්වන අතරම කුසගින්නේ නිදාගත් දරුවා අවදිවන විට නත්තල් සියා ඔහුට ලබාදී ඇති නත්තල් තෑගි දෙස බැලීමෙන් හේ විශ්මයට පත් වනු ඇත. ඒ සතුටේ ගෞරවය ඔබටය.'' .

අවම වශයෙන් මිරර් පුවත්ජාලය ලක්ෂ 5ක ජනතාවකට මෙසේ නත්තල් ආහාර ද්‍රව්‍ය පාර්සල් ලබාදීමට දැඩි ලෙස වෙහෙස වේ. ඒ සඳහා ඔවුන් බලාපොරොත්තු වන භාණ්ඩ ප්‍රමාණයේ අගය ඩොලර් මිලියන එකයි දශම පහකි. එය ගිය වසරට වඩා ඩොලර් ලක්ෂයක ඉහළ යෑමකි. ගිය වසරේ මේ ආහාර කූඩවල වියදම මිලියන එකයි දශම හතරකි. මේ වසරේ මිරර් පුවත්පත් සමාගම ජනතා ආධාරයෙන් දුගියන් වෙත ආහාර ද්‍රව්‍යන්ගෙන් පිරුණු නත්තල් කූඩ එක්ලක්ෂ පනස් නවදහස් තුන්සිය අසූ අටක් සඳහා ඉලක්ක කර ඇත. ගිය වසරේ ආයතනය දුගී දරුවන් වෙත එවැනි නත්තල් කූඩ 144, 677ක් පිරිනැමීය. මේ වනවිට වෙළෙඳපොළේ ආහාර දුව්‍ය පැවති මිලට වඩා 40%ක මිල වැඩිවීමක් පෙන්නුම් කරයි.

මිරර් පුවත් සමාගමේ ආහාර බැංකුව භාර එමා රිවී මෙසේ කියන්නීය. '' අපි මේ කර්තව්‍යය සාර්ථක කර ගැනීම සඳහා ඔබගේ ස්වේච්ඡා සේවය බලාපොරෙත්තු වෙමු. එම නිසා සේවකයන්ට මුදල් ගෙවා සේවයට ගතයුතු නොවේ. ඔබ පරිත්‍යාග කරන සෑම පවුමක්ම එක් දුප්පත් දරුවෙක් නත්තල් දින උණුසුම්ව තැබීමට හැකිවනු ඇත. මෙය අප ජීවත්වන සමාජයේ ජනතාව එකිනෙකාට යුක්තිය ඉෂ්ට කරගැනීමක් සේ අපි සලකන්නෙමු. මේ දෙසැම්බරය අපට වෙන කවදාටත් වඩා ඔබගේ උදවු අවශ්‍ය වන දෙසැම්බරයකි. අපි එකිනෙකා ගැන මීට වඩා විමසිලිමත් නම් අපට ආහාර බැංකු අවශ්‍ය නොවනු ඇත. එසේ ආහාර බැංකු අවශ්‍ය නොවන අනාගතයකට අපි තල්ලු විය යුත්තෙමු. එහෙත් අපට පමණක් එය තනිව කළ නොහැකිය. ඔබගේ මේ පරිත්‍යාගය මේ මොහොතේ අර්බුදයේ සිටින ජනතාවට ආධාරකයක් විය හැකි නමුදු එසේ ආධාර නුවුමනා අනාගතයක් කරා අපි ළගා විය යුතුය."

''පහත ඇති ඡායාරූපවල මෙතෙක් අපි එකතු කළ භාණ්ඩවල සහ මෙම භාණ්ඩ කූඩා ලබාදෙන ප්‍රථමයන් වන ජෝඩි ජෙනින්ග් හා රෙබකා හැරිසන්ද ඔවුන්ගේ හය මස් වයසැති දරුවාද සිටින බව සතුටෙන් දන්වා සිටිමු.''

[උපාලි ජයසිංහ]

මාතෘකා