සම්මාන අභිමාන

 ඡායාරූපය:

සම්මාන අභිමාන

සම්මාන යනු කිසිවකු කළ සමාජ මෙහෙයක් ඇගයීමකි. ඒ වෙනුවෙන් සංකේතාත්මකව කරනු ලබන පිදීමකි. එය නිර්මාණ හරහා මෙන්ම සේවා ආයතන හරහාද කළ හැකිය. එහෙත් මේ දෙවර්ගයේම මෙහෙය අගයනු ලබන්නේ ඊට මූලික වූ පුද්ගලයන් පිදීම තුළිනි. ඉන් අදහස් වනුයේ, යමකු සමාජයේ ශික්ෂණය සහ යහපැවැත්ම උදෙසා තම නැණ පමණින් කළ,කී දේ ආයතනික ව්‍යුහයක් හරහා පොදු සමාජයේ උපහාරයට පත් කිරීමයි.

ලාංකේය ජන සමාජයට සම්මාන හෝ උත්සව ප්‍රහර්ෂයට ලක් කළ යුතු තරමේ නැවුම් හෝ විශේෂිත ඒවා නොවේ.එසේ වන්නේ එවන් උලෙළවල් අවසන කරළියට පැමිණෙන මාතෘකා නිසාවෙනි. ඒ බොහොමයකින් සංවාදයට ගැනෙන කාරණා හේතුවෙනි. සම්මාන ප්‍රධානයකින් පසුව, සම්මානයට පාත්‍ර වූ නිර්මාණය හෝ එහි සමාජ පසුබිම කෙරෙහි කථිකාවතක් ඇති විය යුතුය. නමුත් අප රටෙහි සිදුවනුයේ තමන්ට අභිමත පුද්ගල චරිත සහ දේශපාලන කාරණා පිම්බීම සහ හැකිළීමය.

එහි ආසන්න කථිකාව ඇත්තේ පසුගිය යොවුන් සම්මාන උලෙළ තුළය. එහිදී සම්මානයට පාත්‍ර වූ යොවුන් නාට්‍යකරුවන් දෙදෙනකු, දේශපාලක දෑත්වලින් සම්මාන ලැබීම ප්‍රතික්ෂේප කිරීම ගැනය. ලාංකේය දේශපාලනය හෝ කලාව කෙතරම් සුපිරිසිදුදැයි තර්ක කිරීම නිෂ්ඵලය. අපේ දේශපාලකයා හෝ කලාකරුවා කෙතරම් නිර්මලදැයි ගණනය කිරීමද තේරුමක් නැත. එහෙත් මේ "උඩඟු" ක්‍රියාකාරකම් හරහා ජනතා අවධානයෙන් ගිලිහී යන "මහඟු" නිර්මාණ පිළිබඳව අපේ කථිකාවත ඇත්තේ කොතැනද..?

ඉහත ආසන්න සිදුවීමට සාපේක්ෂ මතවාද සැලකීමේදී ඒවා බෙදිය හැක්කේ පක්ෂ සහ ප්‍රතිපක්ෂ මත යනුවෙන් පමණි. මීට දශක තුනකට පමණ ඉහතදී, මෙවැනිම යොවුන් සම්මාන උලෙළකදී රෝසී සේනානායක අතින් සම්මාන ලබාගැනීම ප්‍රතික්ෂේප කළේයැයි කියන සුනන්දා රණසිංහ කිවිඳිය ගනිමු. එමෙන්ම පසුගිය රාජ්‍ය සම්මාන උලෙළේදී හොඳම ළමා පරිවර්තනයට හිමි සම්මානය මහාචාර්ය සෝමරත්න බාලසූරිය අතින් ලබාගත් දේවිකා වඩිගමංගාව ගනිමු. සිදුවීම් දෙකක් ගැන මිස, එම නිර්මාණයන්හි ඵල පිළිබඳ සමාජ කථිකාවත ඇත්තේ කොහිද..?

තමන් ප්‍රහර්ෂයට ලක් නොවන ඌරුවේ සම්මානනීය වීම් ප්‍රතික්ෂේප කිරීම් පුද්ගල අයිතියකි. එය අභියෝගයට ලක් කිරීමටද කිසිවකුට අයිතියක් නැත. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්, හිටපු ජනාධිපතිවරයකු වූ රණසිංහ ප්‍රේමදාස අතින් සම්මාන ලැබීමට තිබූ උලෙළක් මඟහැරි බව කියැවේ. මංජුල වෙඩිවර්ධන එස්.බී දිසානායක අතින් සම්මාන ලබාගැනීම ප්‍රතික්ෂේප කළ බවද කියැවේ. එහෙත් එකී හේතූන් නිසා කේමදාසයන්ගේ පර්යේෂණාත්මක සංගීත කලාව හෝ වෙඩිවර්ධනගේ විවාදිත ලේඛන කලාවට හිමි ප්‍රේක්ෂකාගාර හෝ පාඨකාගාර ඔවුන් කෙරෙන් ඈත් වී නැත.

ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන අමීර් ඛාන් සම්මාන උලෙළවලට සහභාගි නොවන බව අසන්නට ලැබේ. එහෙත් එදා සිට අද දක්වා ඔහුගේ සිනමා භාවිතය නොදන්නා කිරිසප්පයකු මෙලොව වෙතැයි මම නොසිතමි. මොහොමඩ් අලී යනු වර්ණභේදවාදය වෙනුවෙන් ප්‍රසිද්ධියේ ක්‍රියාකළ බොක්සිං ශූරයෙකි. වරෙක සුදු ජාතිකයකු අතින් ඔහු ලද සම්මානයකට ඔහු විරෝධය පළ කළේ, එය ලබාගෙන "ඔහියෝ" නම් නදියට වීසි කිරීමෙන් බව සඳහන් වේ. තමන් පෙනී සිටිනා මතය වෙනුවෙන් ප්‍රතිපාක්ෂිකයෙකුට දිය හැකි මීටත් වඩා හොඳ "මුෂ්ටි" පහරක් වෙත්ද..?

මුළුමහත් ඉන්දියාවම දේවත්වයේ ලා සලකන සුපිරි නළු අමිතාබ් බච්චන් ලොව කඩවසම්ම නළුවා ලෙස ප්‍රකාශයට පත්වූ මොහොතක, ඔහු විජය කුමාරණතුංගගේ නම සඳහන් කළ බව පැවසේ. "ගෝඩ් ෆාදර්"සිනමා පටය වෙනුවෙන් මාලන් බ්‍රැන්ඩෝ ඔස්කාර් සම්මානයට පාත්‍ර වෙද්දී, ඔහු එම උලෙළ වර්ජනය කරයි. එහෙත් සිය නියෝජිතවරියක් මඟින් වර්ජනයට හේතුව පැහැදිලි කොට සිය රසිකයන්ගෙන් සමාව ඉල්ලා සිටියි. තමා සමඟ සිටියාට ස්තූතියද පළ කරයි. කලාකරුවකුට සිය ප්‍රතිපත්තිමය තීරණ අබියස කෙතරම් ආචාරශීලී විය හැකිද යන්නට ලෝකයේ එවන් උදාහරණ තිබේ.

ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ "තඹරුවිල" සංගීත වැඩසටහනේදී අපූරූ කතාවක් කියැවෙයි. මහා සංගීතවේදියෙකු සහ පර්යේෂකයෙකු වූ වික්ටර් පෙරේරා "මධුමත් සාරංග" නම් රාගය පිළිබඳ පර්යේෂණයක නියැළෙද්දී, ඒ ඇසුරින් එච්.එම් ජයවර්ධන සංගීතවත් කරන ලද "ඔබ හා මෙමා" ගීතය හමුවේ. එච්.එම් ගෙන් ඒ පිළිබඳව විමසද්දී, ඔහුගේ පිළිතුර වනුයේ, තමා එවන් රාගයක් ගැන දැනගත්තේ අද බවත්, හැකිනම් තමා ඒ පිළිබඳව දැනුවත් කරන ලෙසත්‍ ය. දන්නා බව හැඟවීමට වඩා නොදන්නා දෙය ඉගෙනීම වටිනා බවට එය කදිම නිදසුනකි.

කිසිදු සම්මානයකින් වීරයන් හෝ වීරත්වය ප්‍රකාශ නොවන්නේය. වීරයන් සහ වීරත්වය ප්‍රකාශ වනුයේ නිර්මාණයක සහ නිර්මාණකරුගේ සමාජීය හැසිරීමේ පිළිඹිබුවෙනි. එබැවින් පොදු සමාජ අවකාශ තුළ "චණ්ඩි පාට්" සහ "ගොන් පාට්" "කොඳු" ලෙස අර්ථ ගැන්වීම සම්මානවලට කරනා අවමානයකි.

[ධනුෂ්ක බස්නායක]

මාතෘකා