සාමාන්‍ය ළමයින් අතර විශේෂ ළමයි

 ඡායාරූපය:

සාමාන්‍ය ළමයින් අතර විශේෂ ළමයි

පාන්දර වුණත් කාස්ටක හුළං හමන මේ නිකින්න කියන්නෙ වැව්ගම්පත්තුවට හීන් වැහි තුවානක්වත් කඩා නොහැලෙන මාසයක්. හිත දිගේ යාන් වෙන බොහෝමයක් සිතිවිලි එක්ක මං ඒ උණුසුම් පාන්දර සුළඟ විඳින ගමන් ඇස් පියා ගත්තා. ඒ ආයෙමත් නිදන්න නෙවෙයි. නිකින්න එක්ක සිහියට එන මතකයක හිත දිගේලි කරවන්න.

මතක කියන්නෙ ජීවිතේ මහ බර පෙට්ටගමක තැන්්පත් කරපු සධාතුක කරඬුවක් වගේ අපි පරිස්සම් කරන දෙයක්. සමහර මතක අපේ හිත් ඇතුළේ ගැඹුරුම පතුලක අපි හංගගෙන රකිනවා. සමහර මතක අපි හැමෝටම පේන්න තියං ඉන්නවා. ඒත් දුක සතුට වේදනාව මොනතරම් වුණත් අපිි ඒ මතකවලට අප්‍රමාණව ආදරය කරනවා. ඒ හැම මතකයක්ම අපේ ඇස් තෙත් කරන්නෙ සතුට දුක හැමදේකදිම ඇස් වගේම හිතත් කඳුළට ළෙන්ගතු නිසා වෙන්න ඇති. රැස පත්තර පිටු අස්සෙ කාලෙකට පස්සෙ ආයෙමත් ජීවිතය ගැන සුන්දර පාඩම් උගන්වන මතක කන්දරාවක් සපිළිවෙළින් ලියන්න පටන් ගන්න හිතුවා. ඒ ලියමනට අපි ‘‘මතක වස්සානය’’ කියලා නමක් දාමු. ඇත්තටම මතක කියන්නෙ වස්සානයක්ම තමයි.

මේ නිකින්නෙ මට අමතක නොවෙන සුන්දරම මතක කෝඩයක් හැදුව සුන්දර පැංචියෙක් මට මතක් වෙනවා. ඒ නිලුපුලී. ජීවිතේ දහවෙනි වංගුවෙ ඉඳන් ලෝකය ඇහිඳින නිලුපුලීව මට මුණ ගැහුණෙ පහුගියදාක එයාට ටියුෂන් දෙන මගේ මිතුරිය හෂිනිකා මුණ ගැහෙන්න ගිය වෙලාවකයි. ටියුෂන් දෙනවා කියුවට ඒක ටියුෂන් දීමක් නෙවෙයි. හෂීගේ ලෝකයේ එයා ආදරය කරන දෙයක් තමයි ළමයින්ට උගන්වන එක. ඒ නිසා හැම නිවාඩුවකටම එයා උගන්වන ඉස්කෝලෙන් ගෙදර ආවම ළඟපාතක ඉන්න මේ වගේ අයට ගිහින් පාඩම් කියා දෙනවා. මං යද්දි හෂිනිකාගේ ඔඩොක්කුවටම ළං වුණ පුංචි කෙල්ල පොත උඩ නැගගෙන ‍චිත්‍රයක් පාට කරනවා. දන්නවද? හැබැයි ඒ එයාගේ අතින් නම් නෙවෙයි.

ඔව්, නිලුපුලී කියන්නෙ විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්. එයාට කතා කරන්නවත් අත් දෙකින් යමක් අල්ලන්නවත් බැහැ. ඒත් එයා එයාගේ කකුල පාවිච්චි කරලා වැඩ කරනවා.

‘‘මොන තරම් ලස්සන ජීවිතයක් ද?’’

හෂී මමත් එක්ක චුට්ටක් එළියට ඇවිත් එහෙම කියනවා. ඇත්ත. අත් දෙකම වාරු නැති වුණත් ඒ කෙල්ලට ඒක ගාණක්වත් නැහැ. එයා නිතර හිනාවෙනවා. ඒ හිනාව ඇතුළේ තියෙන්නෙත් වෙනස් ලස්සනක්. අමුතු ශබ්දයක් පිටකරං නිලූ බබා හිනාවෙද්දි එයාගේ තැනින් තැන දත් වැටුණු කට අපූරුවට පළල් වෙනවා.

මට මතක් වෙන්නෙ අමෝල් ගුප්තා ලියලා අමිර් ඛාන් අධ්‍යක්ෂණය කරපු "තාරේ සමීන් පර්" ෆිල්ම් එක. ඒකෙ කතාව යන්නෙ වචන අන්ධතාව කියන ආබාධයට ගොදුරු වුණ ඉෂාන් කියන පුංචි පිරිමි ළමය ගැන. එයා මුළු ලෝකෙන්ම ගැරහුම් ලබනවා. නින්දා විඳිනවා. ඒත් කාටවත් එයාව තේරෙන්නෙ නැහැ. අන්තිමට එයාව තේරුම් ගන්නෙ ඉස්කෝලෙට චිත්‍ර උගන්වන්න එන රාම් ශංකර්නිකුම්භි කියන ගුරුවරයා. එයා ඉෂාන්ව තේරුම් අරන් එයාට විශේෂ ක්‍රමවලින් අධ්‍යාපනය ලබාදෙනවා. ඒ ෆිල්ම් එකේ අවසාන හරියෙදි චිත්‍ර තරගයක් තියෙනවා. ඒකෙන් දිනන්නෙ ඉෂාන්. එයා කොයිතරම් දක්ෂ වුණාද කීවොත් එයාගේ නිකුම් ගුරුතුමාවත් පරද්දනවා. ඒ සියල්ලම අවසානෙදි ගෙදර යන්න ලෑස්ති වුණ ඉෂාන් ඇවිත් එයාගේ ගුරුතුමාව ආදරෙන් වැලඳ ගන්නවා. මට හෂිනිකාවයි නිලුපුලීවයි දෙන්නා එකම සෝපාවෙ තුරුල් වෙලා චිත්‍ර අඳිනවා දැක්කම ඔය ෆිල්ම් එකේ අවසාන සීන් එක ඇස් ඉස්සරා මැවිලා පේනවා.

ඇත්ත. ගුරුවරයෙක් කියන්නෙ දරුවෙකුට උගන්වන කෙනෙක් විතරක් නෙවෙයි එයා දරුවාට ජීවමාන දෙවි කෙනෙක්. හෂී කියන්නෙ තාමත් විසිහත් හැවිරිදි වියේ ඉන්න සුන්දර යුවතියක්. එයා එයාගේ ජීවිතේ තරුණ කාලේ හැමදේම කැප කරලා තියෙන්නෙ විශේෂ අවශ්‍යතා ඇති දරුවො වෙනුවෙන්. මට හෂී ගැන මතක් වෙන හැම වෙලාවෙම එයා කියන දෙයක් මතක් වෙනවා. එයා නිතරම කියන්නෙ මේ ලෝකෙ මල් ගොඩක් තිබුණට ලස්සනම මල් තියෙන්නෙ ටිකයි. ඒව තමයි විශේෂ මල්. ඒ වගේ තමයි මේ ලෝකෙ ඉන්න ළමයි හැමෝම අතරින් මෙහෙම විශේෂ ළමයි තමයි වටිනම ළමයි කියලයි.

[ගයාන් අබේසිංහ]

මාතෘකා